තැපැල් ඡන්ද විමසීම අද ඇරඹෙයි – විශේෂ පොලිස් ආරක්ෂාවක්

2019 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම අද (31) දිනයේදී ආරම්භ වේ.

මෙවර තැපැල් ඡන්ද විමසීම අදියර තුනක් යටතේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව පොලීසිය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතනවල සේවකයන් සඳහා අද සහ හෙට දිනවල තැපැල් ඡන්දය භාවිතා කළ හැකිය. පොලීසිය සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රජයේ සේවකයන් සඳහා නොවැම්බර් 04 වැනිදා සහ 05 වැනිදා වෙන්කර තිබේ.

මෙම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දිනයක් ලෙස නොවැම්බර් 07 වැනිදා තැපැල් ඡන්ද සළකුණු කළ හැකි බව ද මැතිවරණ කොමිසම පවසයි.

අද සහ හෙට තැපැල් ඡන්ද සළකුණු කරන ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ අනුව පොලිස් ඡංගම, යතුරුපැදි සහ පාමුර සංචාර සූදානම් කර ඇති අතර ඒ පිළිබඳව දිවයින පුරා සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

ගැටලු ඇතිවේ යැයි සලකන ඡන්ද මධ්‍යස්ථාන සහ විශේෂ ආරක්ෂාවක් ඉල්ලා ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කරයි.

මේ අතර මැතිවරණයට අදාලව පොලීසිය වෙත පැමිණිලි 32 ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 48 ක් වාර්තා වී තිබේ. ඒ අනුව පුද්ගලයන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ‍රුවන් ගුණසේකර පවසයි.

Leave A Reply

Your email address will not be published.

1 × 4 =