දත්ත මකා සත්‍යය මැකිය හැකිද…?

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදු වීමට අදාළව චෝදනා ලැබූ දුමින්ද සිල්වා ගෙන් කටඋත්තර ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ට ඔහු පවසා තිබුණේ, ඒ සිදුවීමට අදාළ කිසිවක් තමාට මතක නැති බව ය. එකල ඔහු සිංගප්පූරු මවුන්ට එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගත් අතර හිසට වෙඩි වැදීම නිසා ප්‍රතිකාර ගනිමින් සිටියේ ය. එම පිළිතුර සත්‍යය ද අසත්‍යය ද යන්න දන්නේ ඔහුම පමණක් වුවත්, එය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට හැකි පිළිතුරක් වූ බව පැහැදිලි ය. මෑතක දී ජනාධිපති සමාව ලබා නිදහස් වී සිටින ඔහුගේ මතකය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව නම් දැනගන්නට නැත. ඒ කතාව මනසේ දත්ත මැකී යාම ගැන ය. ඒත් මෑතක සිට රජයේ වගකිව යුතු ආයතනවල දත්ත මැකී යාම් ගැන වාර්තා වෙමින් තිබේ. පුදුමයට කරුණ වන්නේ මේ දත්ත මැකී යන්නේ ආන්දෝලනාත්මක ගනුදෙනු, සිදුවීම් ආදියේ වීම ය.

මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධ ප්‍රශ්නයේ දී ද එම නැව සමඟ හුවමාරු කර ගත් පණිවුඩ මැකී යාමේ සිදුවීමක් වාර්තා වූ අතර, එමඟින් අප රටට හිමි විය යුතු වන්දි මුදල් ලබා ගැනීමට ප්‍රශ්නයක් මතු වූ බව වාර්තා විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ‘ටෙරා බයිට්’ දෙකක දත්ත මැකී යාමක් ද සිදුව තිබේ. එහි දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන් වී තිබේ. මෙය ද බරපතළ සැක උපදවන කරුණක් වී ඇත්තේ, කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනාධිපතිවරයා හා සමීපව කටයුතු කරන ව්‍යාපාරිකයකු  මෙරටට ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල ගෙන්වීම හා ඒ හරහා මහා පරිමාණ ලෙස රෝගීන් ගසා කන බවට චෝදනා එල්ල වී තිබිය දී ය.

කොවිඩ් ආසාදිතයන් හා මරණ සම්බන්ධයෙන් වන දත්ත පිළිබඳව බරපතළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබේ. සැබෑ ප්‍රමාණවලට වඩා අඩුවෙන් සංඛ්‍යා දත්ත වාර්තා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, වරෙක ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැඟෙනහිර පළාතේ මෙසේ පරස්පර සංඛ්‍යා හෙළි විය. ඉහළ හමුදා නිලධාරියකු සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු මෙම දත්ත වෙනස් කිරීමට සම්බන්ධ බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් චෝදනා කර තිබිණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ‘ටෙරා බයිට්’ දෙකක දත්ත මැකී යාමක් ද සිදුව තිබේ. එහි දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන් වී තිබේ. මෙය ද බරපතළ සැක උපදවන කරුණක් වී ඇත්තේ, කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනාධිපතිවරයා හා සමීපව කටයුතු කරන ව්‍යාපාරිකයකු  මෙරටට ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල ගෙන්වීම හා ඒ හරහා මහා පරිමාණ ලෙස රෝගීන් ගසා කන බවට චෝදනා එල්ල වී තිබිය දී ය.

මේ පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ, “ජාතික ඖෂධ නියාමන අධිකාරියේ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරුන් ඖෂධ ව්‍යාපාරිකයන් හා එක්ව කොවිඩ් වසංගතය ජාවාරමක් කර ගෙන ඇති බව” ය. රැපිඩ් ඇන්ටිජන් ඒකාධිකාරයක් පවත්වාගෙන යන එක්තරා ව්‍යාපාරිකයකුට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හා නිලධාරීන් යටත්ව සිටින බව ද ඔහු පෙන්වා දුන්නේ ය. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක මිල රුපියල් 2,000.00ට වඩා ඉහළ මිලක් මෙරට තුළ අය කරද්දී, ඊට වඩා ඉහළ ගුණාත්මක අගයකින් යුතු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සියලු ලාභ සහිතව රුපියල් 600.00කට කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මේ හෙළිදරවු කිරීම් නිසා මේ වන විට ඔහුට එරෙහිව අමාත්‍යාංශ මට්ටමෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මට්ටමෙන් විමර්ශන ආරම්භ කර තිබේ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම තුළ අසාදු ලේඛනගත සමාගම්වලට ඖෂධ ගෙන්වීමේ සහ අසාදු ලේඛනගත වූ ඖෂධ ගෙන්වීමේ ඉඩ විවර වීම රෝගී ජීවිත මහත් අවදානමකට ඇද දැමීමකි.

දැන් රජයේ ආයතන බොහොමයක ප්‍රධානීන් වන්නේ හමුදා නිලධාරීන් ය. රටේ සිදු වන සෑම දෙයක්ම වාර්තා කිරීමට සෑම තැනකම බුද්ධි අංශ නිලධාරීන් යොදවනු ලැබ තිබේ. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයකු ජනාධිපති වී ආරක්ෂක ඇමැති තනතුර ද දරමින් සිටී. මේ සියල්ල තිබිය දී රටේ වැදගත් මර්මස්ථානවලම මෙසේ දත්ත මැකී යාම බරපතළ ප්‍රශ්නයක් වන අතර, මේ පිළිබඳ සත්‍ය තොරතුරු සොයා ගැනීමට මෙරට ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ අසමත් වීම තුළින් එම සැකය තවත් තීව්‍ර කරයි.

වගකිව යුතු ආණ්ඩුවක් නම් කළ යුත්තේ, ජනතාව තුළ මතු වන මේ සැක සංකා දුරු කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමය●

Leave A Reply

Your email address will not be published.

three × five =