ගජමිතුරන්ගේ හාල්, සීනි ජාවාරම

නන්දසේන ජනාධිපතිවරයා වී, හාල් සහ සීනි මිල පාලනයට හදිසි නීති රෙගුලාසි ගැසට් කළේ ය. එයට අනුව පාලන මිලට වැඩියෙන් ඒවා විකිණීම සම්පූර්ණයෙන් ම තහනම් ය. එසේ විකුණන්නේ නම්, එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි ය. ඔවුනට විරුද්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. මේ වන විට ඒ සඳහා වූ වෙනම ම නිලධාරියකු ද පත් කර ඇත. ඔහු හමුදාවේ මේජර් ජෙනරල් නිවුන්හැල්ල ය.

ගෙවුණු දින දෙක තුන තුළ දී හමුදා ජෙනරල්වරයාගේ මැදිහත් වීම දකින්නට ලැබුණේය. නන්දසේන බලයට පත් වූ විගස ම වැඩි මිලට භාණ්ඩ විකිණීම පාලනය කිරීම සඳහා වන පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කළේ ද හිටපු යුද හමුදා මේජර් ජෙනරල්වරයකු වූ දිසානායක ය. අදටත් ඔහු එහි සභාපතිවරයා ය. එසේ නමුදු, පහුගිය කාලය පුරාවට ම හාල්, සීනි අධික මිල ගණන්වලට වෙළෙඳපොළේ අලෙවි කෙරිණි. හාල් පිළිබඳව ගැසට් පත්‍ර හයක් ම නිකුත් කෙරිණි. ගැසට් කොපමණ ගැහුව ද, හමුදා මැදිහත් වීම් කෙරුණ ද හාල් මිල පාලනය කර ගන්නට බැරි විය. වී මිල දී ගැනීම සඳහා ද හමුදාවේ බි්‍රගේඩියර්වරයකු පත් කළේ ය. ඔහු මුළු රටට ම ඇහෙන්න කයිවාරුවක් ද ගැහුවේය. අන්තිමේ දන්නෙ ම නැතිව ඒ නිලධාරියා විශ්‍රාම ද ගියේ ය. වී මාෆියාව එදා වාගේ ම අදත් ක්‍රියාත්මක වන්නේ ය.

සීනි සංදර්ශනය

ගෙවුණු දින කිහිපය තුළ විවිධ පුද්ගලයන් විසින් ලබා දෙන ලද තොරතුරු මත සීනි තොග ගබඩා කිහිපයක් ම වටලනු ලැබී ය. සමහර මාධ්‍ය ආයතන මඟින් ද ගබඩා සොයාගැනීම් සිදු කෙරිණි. ‘උකුස්සා’, ‘පැපරාසි’ මෙහෙයුම් මඟින් වත්තල, හුණුපිටිය පැත්තේ විශාල සීනි තොග ගබඩා සොයා ගනු ලැබුවේය. ඒවා ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මහා ජාවාරම් ලෙස මාධ්‍ය මඟින් හුවාදක්වන ලදී. තවමත් එසේ කරමින් සිටියි. ඒ ප්‍රවෘත්ති බැලුවා ම ජනතාව ද සිතන්නේ, දැන් ආණ්ඩුව හරි හොඳයි කියා ය. මේ ජාවාරම් කරන්නේ ව්‍යාපාරිකයන් කියා ය. ආණ්ඩුව දැන් හාල්, සීනි මිල වැඩි වීමේ වැරැද්ද පටවන්නේ ව්‍යාපාරිකයන්ට ය. මතුපිටින් බැලුවා ම ජනතාවටත් හිතෙන්නේ එහෙම දෙයක් ය. නමුත්, මෙහි සුලමුල සොයා බැලුවොත්, ඇත්තට ම වැරැද්ද කළේ කවුරුන් ද යන්න නිවැරැදිව  සොයා ගත හැකි ය.

ගුදම්වල කොතරම් ප්‍රමාණයක් තියෙනවා ද යන ඒ කිසිවක් පාරිභෝගික අධිකාරිය සොයාබැලුවේ නැත. මේ බව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ඔය කියන හමුදා නිලධාරියාගේ කටින් ම කියැවුණේ ය. එය අදටත් රෙකෝඩ් වුණු වාර්තාවක් ලෙස ඇත්තේ ය. ඒ වෙන කොට ‘විල්මා’ සමාගමේ සීනි විශාල තොගයක් ගුදම්වල තිබිණි. බදු අඩු කිරීමේ වාසිය මුළුමනින් ම සමාගම ගත්තේ ය. සමාගමේ අයිතිකරු සජාඩ් මවුසූන් හාජ්ජියාර් ය. ඒ කියන්නේ, නන්දසේනගේ ‘වියත්මගේ’ ගජමිතුරෙක් ය. ෂැංග්‍රිලා හෝටලය ඉදි කිරීමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ය.

පහුගිය අවුරුද්දේ ජුනි මාසයේ දී හිටපු ගමන් රුපියල් පනහට තිබුණු සීනි කිලෝ එකක බද්ද ශ විසිපහට අඩු කළේ ය. මෙය සිදු කරන ලද්දේ පාරිභෝගික හා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන නොවේ ය. එතුමාත් මෙය දැනගත්තේ මාධ්‍ය මඟින්ය. මෙම හදිසි තීරණය ගනු ලැබුවේ, ජනාධිපති නන්දසේන විසිනි. ඔහුගේ මාධ්‍ය ඒකකය මඟින් ඉන් පසුව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කළේ ය.

‘විල්මා’ මෙහෙයුම

එහි තිබුණේ, සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අසූපහක් විය යුතු බව ය. ඒ නිවේදනය නිකුත් වු පසු හමුදාවේ මේජර් ජෙනරල් දිසානායක මහතා පාරිභෝගික අධිකාරියේ ගැසට් එක නිකුත් කළේ ය. ඒ වෙලාවේ කොතරම් සීනි ප්‍රමාණයක් රටට ගෙන්වා තිබේ ද? ගුදම්වල කොතරම් ප්‍රමාණයක් තියෙනවා ද යන ඒ කිසිවක් පාරිභෝගික අධිකාරිය සොයාබැලුවේ නැත. මේ බව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ඔය කියන හමුදා නිලධාරියාගේ කටින් ම කියැවුණේ ය. එය අදටත් රෙකෝඩ් වුණු වාර්තාවක් ලෙස ඇත්තේ ය. ඒ වෙන කොට ‘විල්මා’ සමාගමේ සීනි විශාල තොගයක් ගුදම්වල තිබිණි. බදු අඩු කිරීමේ වාසිය මුළුමනින් ම සමාගම ගත්තේ ය. සමාගමේ අයිතිකරු සජාඩ් මවුසූන් හාජ්ජියාර් ය. ඒ කියන්නේ, නන්දසේනගේ ‘වියත්මගේ’ ගජමිතුරෙක් ය. ෂැංග්‍රිලා හෝටලය ඉදි කිරීමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ය. නන්දසේන අසනීපව සිංගප්පූරුවේ බෙහෙත් ගන්න නැවතිලා ඉන්න වෙලාවේ අදාළ නවාතැන සපයා දුන් යහළුවා ය.

පහුගිය කාලය පුරාවට ම ලෝක වෙළෙඳපොළේ අසීමාන්තික ලෙස සීනි මිල ඉහළ ගියේ ද නැත. ඒ නිසා ම ශත විසිපහේ සොච්චම් බද්දට මහා පරිමාණ සීනි තොග ලංකාවට ගෙන්වූයේ ඔය කියන ගජමිතුරා ය. වත්තල, හුණුපිටියේ, කැලණියේ ගබඩාවල මෙටි්‍රක් ටොන් දහස් ගණන් ගොඩගහ ගත්තේ එකී යාළුවා ය.

සහල් මාෆියාව

හාල් පිළිබඳව කොච්චර ගැසට් ගැහුවත්, මිල තීරණය කරනු ලබන්නේ, ‘අරලිය’ සහ ‘නිපුණ’ වැනි හාල් මෝල් හිමියන් විසින් ය. ඒ මාෆියාව කාලයක් තිස්සේ පවතින්නකි. නන්දසේන බලයට ආවේ ම හාල් මාෆියාව මෙල්ල කරන බව කියමින්ය.

ඉන් එක්කෙනෙක් මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී ය. අනෙක් කෙනා ආණ්ඩුවේ ම වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ය. අදටත් වෙළෙඳපොළේ හාල් මිල ඉහළ දමන්නේ මේ දෙදෙනා ය. දැන් ඉතින්, හමුදාව මැදිහත් වෙලා වී ගබඩා වට කරන සෙල්ලම් ජනතාවට පෙන්වන්නේ ය. ජනතාවත් ඒකට අහුවෙලා ව්‍යාපාරිකයන්ට බැණ බැණ ආණ්ඩුවට හොඳ කියන්නේ ය. “හොඳ වැඩේ… හදිසි නීතිය දාලා හරි ඕවා වටලලා, මිල අඩු කරන්න ඕනෑ යැ”යි සිතන්නේ ය.

එහෙත්, මේ ජාවාරම් දෙක ම ගජරාමෙට පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ ම දේශපාලන බලය පාවිච්චි කර ගනිමින් ය. මිල ඇත්තට ම පාලනය කළ යුතු නම්, ජනතාවට පෙනෙන්නට බොරු වැටලීම් අවශ්‍ය වන්නේ නැත. හරි පහසුවෙන් පසුගිය කාලය තුළ ලංකාවට ගෙන්වන ලද සීනි ප්‍රමාණය පිළිබඳ දත්ත රේගුවෙන් ගත හැකි ය. මාසික සීනි පරිභෝජනය දැනටමත් දන්නා දෙයකි. ගෙන්වපු සමාගම් කොතරම් ගෙන්වූවා ද, කොතරම් වෙළෙඳපොළට නිකුත් කළා ද යන්න පහසුවෙන් සොයා ගත හැකි ය. කළ යුතුව තිබුණේ, විල්මා සමාගමේ සජාඩ් හාජ්ජියාර්ව ගෙන්වා දත්ත ටික පෙන්නලා, ඉතුරු ටික වෙළෙඳපොළට මුදාහරින්න කියලා කට වචනයෙන් කියන එක විතරක් ය. එය හරි පහසු දෙයකි.

පැපරාසි පන්න පන්න ඉන්න අවශ්‍යතාවක් නැත්තේ ය. වැඩි මිලට සීනි තොග වශයෙන් මුදාහැර ඇත්තේ, ඔය කියන සමාගම් ය. එසේ නම්, කළ යුතුව තිබුණේ. ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ය. විල්මා සමාගමේ අයිතිකරු, සජාඩ්ව අත්අඩංගුවට ගැනීම ය. එහෙත්, ඒ ගැන හාංකවිසියක්වත් කතා කරන්නේ නැත. මේවා දැන දැන පාරිභෝගික රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න අසරණව නන්දොඩවයි. “සීනි රුපියල් දෙසිය හතළිහට විකිණීම සම්පූර්ණයෙන් ම අසාධාරණයි, ඒත් මට කරන්න දෙයක් නැහැ” යැයි කිව්වේ ය. ඒ විසිවැනි සංශෝධනයෙන් ඇමැතිවරුන් අසරණ වී ඇති තරම ය. හාල් මිල බස්සන්න කළ යුතුව ඇත්තේ, නිපුණ හාල් මෝල් අයිතිකාර රාජ්‍ය ඇමතිව ගෙන්වලා කට වචනයෙන් නියෝග දීම පමණ ය. මේ දෙක ම ඉතා පහසුවෙන්, සරලව කළ හැකි දේවල් ය.

හදිසි නීතිය කුමටද?

ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දමමින්, හදිසි නීති රෙගුලාසි පාවිච්චි කළ යුතු නැත. හමුදාවේ මේජර් ජෙනරල්ලා මෙහෙයුම්වලට කැඳවිය යුතු නැත. කළ යුත්තේ, ගජමිතුරන්ට අසීමිත ලාභ උපයන්න ඉඩ දී බලා සිටීම නතර කිරීම ය. බදු අඩු කරමින්, ඔවුනට අවශ්‍ය සේ ලාභ ලබන්නට ඉඩ දී දුප්පත්, අහිංසක ජනතාවගේ රීරි මාංශ උරා බීම නතර කිරීම ය. කෙටියෙන් ම කියනවා නම්, හදිසි නීති රෙගුලාසි පනවා තවත් පියවරකින් හමුදාමය මැදිහත් වීමකට යනවා වෙනුවට දේශපාලන රැකවරණය ලබා දීම වහා නතර කළ යුතු ය. ඔහ සහල් සහ සීනි ජාවාරම් දෙක ම පවත්වාගෙන යන්නේ දේශපාලන හයිය මත ය. නැති කළ යුත්තේ එයයි. එය කළ හැකි වන්නේ නන්දසේනට ය. එය එසේ නොකොට ජනතාවට සංදර්ශන පෙන්වා ප්‍රශ්නයේ සැබෑ මූලය වෙන පැත්තකට හැරවීම වහා ම නතර කළ යුතුව ඇත●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

3 × five =