“සහන දුන්නා, සීනි ගෙනාවා, හැංගුවා, මිල වැඩි කළා ගජමිතුරන්ට සැලකුව”

- මන්ත්‍රී විජිත හේරත්

සීනි වෙනුවෙන් අය කළ බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට දළ වශයෙන් රුපියල් කෝටි 3,500ක පමණ බදු ආදායමක් අහිමි කර ගනිමින් ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයන් හට රුපියල් කෝටි 6,000ක පමණ අසීමිත ලාභ ඉපයීමේ අවස්ථාව සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ හෙළි කරයි.

අද (03) එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ තොරතුරු රැසක් හෙළිකරනු ලැබීය. .

ආණ්ඩුව සීනි බද්ද රු. 50 ඉඳලා ශත 25 දක්වා අඩු කළා

“කොරෝනා වසංගතය මැද්දේ බඩු මිල වේගයෙන් ඉහළ යනවා. ඒ අතරේ ආණ්ඩුව විසින් 2වැනිදා රාත්‍රියේ සීනි සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කළා. සීනි, සහල් සහ වී සම්බන්ධයෙන් පසුගිය සතියේ සිට ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා. ආණ්ඩුවේ වැරැද්දෙන් කොරෝනා වර්ධනය වන තත්වයක් තුළ දැන් බඩුමිලෙනුත් බැට කනවා. පසුගිය ඔක්තෝබර් 13වැනිදා සීනිවලට තිබුණු බද්ද රු. 50 ඉඳලා ශත 25 දක්වා අඩු කළා. රු. 50 බද්දක් ගැහුවෙත් මේ ආණ්ඩුවමයි. ඒ බද්ද පනවමින් කිව්වේ දේශීය නිෂ්පාදනය වැඩිකරන්න, ආනයනය සීමා කිරීම වෙනුවෙන් මේ බද්ද වැඩි කළ බවයි. නමුත් එකවරම ශත 25 දක්වා බද්ද අඩුකර ඒ වෙනකොටත් ලංකාවට ගෙනා සීනි මෙ.ටො. 90,000කට ආසන්න සීනි තොගයට තමයි මුලින්ම ශත 25 බද්ද පැනවුණේ. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වුණා. සීනි බදු පාඩුව රජයට අත්වෙනකොට වැඩිම වාසි ගියේ ජනාධිපතිවරයාගේ ගජ මිතුරෙකුට අයෙත් විල්මා ටේ්‍රඩිං සමාගමට. ඒ වෙනකොට ඔක්තෝබර් 13වැනිදා ඉඳලා පෙබරවාරි මාසය වනතුරු මාස 04ක රජයට බදුවලින් සිදුවුණු පාඩුව රු. කෝටි 1595ක් කියලා ගණනය කර තිබුණා. මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුවම බද්ද අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබුණෙත් නැහැ.”

ආණ්ඩුවට වැඩකුත් නෑ ජනතාවට සහනත් නෑ

“සීනි විකිණීමේ උපරිම සිල්ලර මිල රු. 85ක් බවට පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළා. අඩුම ගාණේ සමුපකාරය හෝ සතොසේවත් මේ මිලට ගන්න තිබුණේ නැහැ. ආණ්ඩුවේ ආදායම් ලැබුණෙත් නැහැ. ජනතාවට සහන ලැබුණෙත් නැහැ. කොම්පැනිකාරයෝ කිහිප දෙනෙකුට අසීමිත ලාභයක් ගියා. ඒ වෙනකොට සමාගම් 67ක් සීනි ආනයනය කරමින් තිබුණා. වෙළඳ අමාත්‍යාංශය එය ආනයනකරුවන් 12 දෙනෙකුට සීමා කළා. දිගටම දැන් ආනයනය කරන්නේ මේ 12 දෙනා. මාසෙකට සාමාන්‍යයෙන් මෙ.ටො. 35,000ක් රටට සීනි අවශ්‍ය වෙනවා. ආණ්ඩුවේම දිනමිණ පත්‍රයේ හෙළිකර තිබෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් ඉඳලා මේ අවුරුද්දේ ජූනි දක්වා ආනයනය කළ සීනි ප්‍රමාණය මාස 17කට සෑහෙන බවයි. මෙ.ටො. 584,000ක් ජූනි අවසන් වනවිට ආනයනය කර තියෙනවා. ජූලි සහ අගෝස්තු මාස දෙකෙත් ආනයනය කළ ප්‍රමාණය අනුව ආසන්න වශයෙන් මෙ.ටො. ලක්‍ෂ 07ක් විතර තියෙනවා. අසීමිත ලෙස සීනි ආනයනයෙන් රජයට දළ වශයෙන් රු. කෝටි 3500ක විතර බදු පාඩුවක් සිදුවී තිබෙනවා. මේ සහනයත් ජනතාවට ලැබුණේ නැහැ. රු. 85 ගැසට් එක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් රු. 240 ඉක්මවා මිල ඉහළ ගිහින්. මේ තත්වය නිර්මාණය කළේ ආණ්ඩුවයි. මෙවැනි අර්බුදයක් නිර්මාණය වන බව රජය කලින් දැකලා තිබුණා. පාරිභෝගික අධිකාරිය කල් ඇතිව ක්‍රියා නොකළ බවට චෝදනා කර තිබුණා.”

සීනි වළට වුන දේමයි ගෑස් වලට කළෙත්

“පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අදත් සීනි ගේන්නේ ශත 25 බද්දට යටත්වයි. ලෝක වෙළඳපොළේ සීනි මිල අසීමිතව වැඩි වුණේ නැහැ. ආසන්න වශයෙන් රු. 79ට සීනි කිලෝ එකක් ආනයනය කරන්න පුළුවන්. අදත් සීනි කිලෝ එකක් රු. 85ට දෙන්න පුළුවන්. එහෙම තියෙද්දී ආණ්ඩුව සන්දර්ශන පවත්වමින් ඉන්නවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සීනි ආනයනකරුවන් එක්ක සීනි මිල වැඩි නොකරන බවට ගිවිසුමක් අත්සන් කළා. නමුත් අද වෙනකොට ඉබාගාතේ සීනි මිල වැඩිවෙනවා. පහුගිය කාලයේ ගෑස්වලට සිදුවුණෙත් මේක. ගෑස් හිඟයක් ඇතිකර ගෑස් මිල වැඩි කළා. අදත් සිද්ධ වෙන්නේ ඒක තමයි. හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් එකක් මගින් හමුදාවේ මේජර් ජනරාල් කෙනෙක් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොමසාරිස් හැටියට පත්කළා. ඒ පත් කරලත් සීනි මිල ඉහළ දැමීම විතරයි කරලා තියෙන්නේ. අපේ රටට ආනයන කළ සීනි ප්‍රමාණය ගැන පාරිභෝගික අධිකාරිය සතුව දත්ත තිබෙනවා. ඔත්තු ලබාගෙන වටලන්න අවශ්‍ය නැහැ. රේගුවෙත් දත්ත තිබෙනවා. ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල පරීක්‍ෂා කිරීමේ බලය පාරිභෝගික අධිකාරියට තියෙනවා. එහෙම තියෙද්දී හදිසි නීතියක් අවශ්‍ය නැහැ.”

මේ ගැසට් ගැහිල්ලෙන් ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභයක්

“හදිසි නීතියක් පනවලා යම් යම් මාධ්‍ය ආයතන සහ පුද්ගලයන්ගේ ඔත්තු මත වැටලීම් කළා කියලා රටට සංදර්ශන ඉදිරිපත් කරනවා. කවුරුවත් ඔත්තු දීලා වටළන්න ඕනෑ නැහැ. සියලු දත්ත රජය සතුව තියෙනවා. ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ ව්‍යාපාරිකයන් අපරාධයක් කර ඇති බව පෙන්වා තමන් බේරෙන්නයි. නමුත් ආණ්ඩුව ජනතා ඡන්දයෙන් පත්කරගෙන තිබෙන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්නයි. ඉහළ ව්‍යාපාරිකයන් සීනි මිලවැඩි කරන බව දැනගත් අවස්ථාවේ සීනි ආනයනය කිරීමේ හැකියාව රජයට තිබෙනවා. මෙවැනි තත්වයක් ඇතිවන බව ආණ්ඩුව කල් ඇතිව දන්නවා. නමුත් ජනතාවට සාධාරණ මිලකට සීනි ලබාදීමේ වගකීම ආණ්ඩුව පැහැර හැරියා. නමුත් ආණ්ඩුව මේකට මුළුමනින්ම වගකියන්න ඕනෑ. හදිසි නීති රෙගුලාසි පැනවූවා කියලා ජනතාවට සෙතක් නැහැ. කලින් තිබුණු රු. 85 උපරිම සිල්ලර මිල දෙවැනිදා රාත්‍රියේ ගැසට් එකෙන් රු. 122ක් කළා. මේ අනුව සීනි කිලෝ එකක් රු. 37කින් වැඩිකරලා ගැසට් එකක් ගහලා තියෙනවා. රු. 80ට තිබුණු තොග මිල මේ ගැසට් එකෙන් රු. 116 දක්වා වැඩිකළා. මේ ගැසට් ගැහිල්ලෙන් විතරක් ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභයක් හිමිවෙනවා. රු. 240ට සීනි කිලෝ එක විකුණලා ව්‍යාපාරිකයෝ රු. එකසිය ගණනක ලාභ ලබාගෙන තිබෙනවා. දළ වශයෙන් රු. කෝටි 6,000ක් ඉක්මවන ලාභයක් ව්‍යාපාරිකයෝ උපයාගෙන තිබෙනවා. මේ අසීමාන්තික ලාභය ගජමිතුරු කොම්පැනිකාරයන්ට නොදී රජයට ගන්න තිබුණා. මේ වගේ අසාධාරණ ලාභයක් නැතිව සාධාරණ ආදායමක් රජයට ගන්න තිබුණා. නමුත් එහෙම දේකටවත් ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ.”

සහන දුන්නා, සීනි ගෙනාවා, හැංගුවා, මිල වැඩි කළා

“අද වෙලා තියෙන්නේ ජනතා ද්‍රෝහී වැඩ කරපු ගජ මිතුරු ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව සල්ලි දීලා සීනි තොගය මිලදී ගන්න එක. මෙ.ටො. ලක්‍ෂ ගාණක් ශත 25 සොච්චම් බද්දට ගෙනල්ලා ගුදම්වල තිබුණු සීනි ටික ආණ්ඩුව සල්ලිවලට ගත්තාම ඒ ව්‍යාපාරිකයන්ට ගජ වාසියි. ගැසට් එකෙන් කරලා තියෙන්නේ තවත් වාසියක් ගජමිතුරන්ට ලබාදීම පමණයි. සතොසෙන් දෙන බව ආණ්ඩුව කියනවා. පාරිභෝගික අවශ්‍යතාවයෙන් සතොසෙන් සපයන්න පුළුවන් 5%යි. ෆුඞ් සිටිවලින් 12%ක් විතර. ඉතිරි වෙළඳපොළම තියෙන්නේ සාමාන්‍ය අනෙකුත් වෙළඳපොළවල්. 83%ක පාරිභෝගික අවශ්‍යතා ඉටුකරගන්න වෙන්නේ පොදු වෙළඳපොළවලිනුයි. ඒ නිසා අද සතොස ඉදිරියේ පෝලිම් ගැහිලා ඉන්නවා. ඒ තුළින් තවත් කොරෝනා පැතිරෙනවා. පැය ගාණක් පෝලිමේ ඉඳලා කොරෝනාත් හදාගෙන ගන්න හම්බ වෙන්නේ සීනි කිලෝ එකයි. සමහර තැන්වල පෝලිමේ ඉඳලා සීනි නැතිව එන්න වෙනවා. මේ පීඩාව ආණ්ඩුව හිතාමතාම ජනතාව මත පැටවූ එකක්. ගජමිතුරන්ට හම්බ කරන්න සියල්ලම අයාලේ යන්න ඉඩ දීලා තියෙන්නේ. ඇත්තටම සිද්ධ කරලා තියෙන්නේ ‘සහන දුන්නා, සීනි ගෙනාවා, හැංගුවා, මිල වැඩි කළා, ඇල්ලුවා, දැන් ආණ්ඩුව මිලදී ගන්නවා.’ ආණ්ඩුවයි, ගජ මිතුරු ව්‍යාපාරිකයොයි දෙගොල්ලම එකතු වෙලා අන්දරේ සීනි කෑවා වගේ වැඩක් කර තියෙනවා. ආණ්ඩුවයි ගජ මිතුරොයි දෙගොල්ලම ගජරාමෙට සීනි කනවා. ජනතාවට අල්ලට සීනි ටිකක්වත් නැතිව කහට බොන්න වෙලා තිබෙනවා. මේ තත්වයට ආණ්ඩුව මුළුමනින්ම වගකියන්න ඕනෑ. මේ තත්වය වළක්වන්න කිසිම දෙයක් ආණ්ඩුව කළේ නැහැ. මේ නිසා ජනතාවට පහර පිට පහර වැදිලා තිබෙනවා. සහල් මාෆියාව නිසා සිද්ධ වී තිබෙන්නේත් මේ තත්වය. හාල් මැස්සෝ, කරවල, උළුහාල්, සබන්, දත් බෙහෙත් හැම දේකමත් මිල වැඩි වෙලා ජනතාවට දරාගන්න බැරි ජීවන වියදමක් තියෙන්නේ. කොරෝනා වසංගතය නිසා බැටකන ජනතාවට බඩු මිලේ පීඩාවත් පටවා තිබෙනවා. ඒ වැරැද්ද පුද්ගලික අංශයට පවරලා ආණ්ඩුව ඇඟ බේරා ගන්න හදනවා. නමුත් මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ගත යුතුයි. වහාම ආණ්ඩුව මැදිහත් වී සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබාදිය යුතුයි. වැඩි කළ සීනි මිල අඩුකර සාධාරණ මිලට ලබාදීමට ක්‍රියාකළ යුතුයි. එසේ නොකර ගැසට් පිට ගැසට් ගහලා ජනතාව පීඩාවට පත් කිරීම වහාම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.”

Leave A Reply

Your email address will not be published.

17 − fifteen =