“මෙලෙසින් ලියන්නා රස විඳින බව කියවන්නාට වැටහෙන බැවින්, ප්‍රමෝදය ඩබල් වේ”

කාංචනා අමිලානි, කතා ෆැක්ටේරියකි. පරිකල්පනය නම් ඉන්ධන ඇතිතාක් පිට පිට කතා වැනි චොක්ලට් නිපදවන චාලිගේ චොකලට් ෆැක්ටේරිය මෙනි. ඇගේ කතා රසවත් ය. උපහාසාත්මක ය. හාස්‍යජනක ය. මායාබරය. පුන්සාර ය. නොවක් ය. තතු ය. සියුම් ය. අල්පෝක්ති ය. ක්ෂුද්‍ර ය. මහත් ය. අරුම පුදුම ය. විකෘති ය. දැඩි ය. මුදු ය. ඕවලාකාර ය. බුබ්බුලාකාර ය. කැට කැට ය. ගෙඩි ගෙඩි ය. පෙඳ පෙඳ ය. රැළි රැළි ය. සුහුරු ය. බුරුසු ය. ඉස්කොරොප්පු ය. කැරම්කොකු ය. කපාල ඇණ ය. වීදුරු බෝල ය. මේ සියල්ලම ය.

මේ ඉන්නේ, රෝල් ඩාල් ය. ඊනිඩ් බ්ලයිටන් ය. රෝලින් ය. කෆ්කා ය. මුරකමි ය. රුෂ්ඩි ය. අයියන්දේ ය. මාකේස් ය. ජෙරල්ඩ් ඩරල් ය. කමලා දාස් ය. මේ සියල්ලන්ගේ එකතුවකින් මුසුවකින් ඇඹුමකින් උපන් අමිලානි ය. දැන් ඒ නම් සියල්ල ම වෙනුවට එක නමක් අපට ඇත.

‘ගම්මිරිස් කුරුල්ලා’ කියවද්දී කුඩා කල අප ආසා කළ ග්‍රීම් සුරඟන කතා, ටිංටිංගේ කතා, බයිබලයේ කතා, ඊසොප්ගේ උපමා කතා, ඩිස්කවරි මේ සියල්ල ඇවිත් කොතැනින් හෝ මතු වී විදුලියක් කොටා යන්නට යයි. සාම්ප්‍රදායික කෙටිකතාවක ලක්ෂණ විමසමින්, කතා වින්‍යාස, දෘෂ්ටිකෝණ, ජීවිතයෙන් පෙති වැනි දෑවලින් හිස පුරවා නොගෙන, ඒ සියලු න්‍යායන් මදක් බිමින් තබා, ප්‍රකෘති ඔබ ම වී මේ කතා කියැවිය හැකිය. එයින් ඇඟවෙන්නේ මේවා සැණින් උඩ ගොසින් පිපිරෙන සබන් බෝල කියා ද නොවන බව සලකන්න.

අප දන්නා ඇතැම් සුරඟන කතා පවා කතුවරු ඉතා කම්මැලි ලෙස ලියා ඇති බව පිළිගත යුතුය. අපව ජීවයෙන් පුරවන, ජීවත්වෙන්න ආසා හිතෙන, නැවුම්, වෙසෙස් යමක් ඇතැම් කතාවක නොවෙයි. මේ කතා එසේ නොවෙයි. ගැළපීම, නිමැවීම එක් පෙළක පිහිටයි. ඇතැම්වා පෙළ පනී. හිඩැසක් නොතියයි. අංශු මාත්‍ර වූ දෙය පවා නොකියා නොයයි. අමිලානිට කෙටිකතාවක් ලිවීමට යාපනෙන් කොල්ලක් එනතෙක් සිටිය යුතු නැත. ගේ උඩට ගහක් කඩන් වැටිය යුතු නැත. අඬන්නට තරම් හිතෙන සාධු චර්යාවක් ආරූඪ කරගත යුතු ද නැත. කොටින් ම, අමිලානි ළඟින් මැස්සෙක් යාම ප්‍රමාණවත් ය. ඒ මැස්සාව සුදුසු තැනින් අල්ලා කතාවට ගන්නා ශිල්පය ඈ දනී.

අමිලානිට අසවලා සේ ලියන්නට, කොපිකරන්නට, අනෙකා පිනවන්නට, සම්මාන ගන්නට, ගතු කියන්නට උන්මාදයක්, තරගයක් නැත. ඈ ලෝකෙ පෙරළෙන්න හෝ තමාගේ ම ක්‍රමයට ලියයි. එසේම එය රසවිඳියි ; ප්‍රීතිවෙයි. මෙලෙසින් ලියන්නා රස විඳින බව කියවන්නාට වැටහෙන බැවින්, ප්‍රමෝදය ඩබල් වේ.
‘ගම්මිරිස් කුරුල්ලා’හි කතා කිහිපයකට ගොස් බලමු.

මාළු හටන : ඩිස්නි සිනමාපටයක් සිහිවුවත්, යටිපෙළ ප්‍රබල ය. මේ අප මුහුණදුන් වාර්ගික අර්බුදය යි. තවමත් අප නිල් තීන්ත විදින බූවල්ලාගේ ග්‍රහණයේ ය. ලොකු මාළුවාගේ ආර්යාව සමෑන්තා, ‘සූරපප්පා’හි පලිහ මත සිටින නායක පප්පාගේ බිරියත්, ‘සෝර්බා’හි බුබුළිනාත්, ‘ටිං ටිං’ හි කැස්ටෆියොරෙ ආර්යාවත් සිහිකරලීය. සිප්පිකටු ඔටුන්න සංකේතීය ය. අමිලානි ‘ගුහා සටන’ක් ලීවාය. ඊට පෙර මේ ‘මාළු හටන’ ලියා තිබිණි. ගොඩබිමත්, පොළොවත් දෙකේ ම සටන් ලියා ඇති නිසා ඉදිරියේ දී ඇයට අහසේ හටනක් වෙත යා හැකිය.
චිත්‍ර : සීගිරිය අරුම ගුලාවකි. කතා තෝතැන්න්නකි. නිබඳ කුහුල දනවන්නකි. අමිලානි අප දන්නා දෙයින් නොදන්නා දෙයක් මවයි. ඉතිහාස කතාවක් එහි බර ද සමඟ පරිකල්පනය කර ඇති ආකාරය රසවති. කාශ්‍යප ගැන මෙතරම් උපහාසයෙන් කියැවූ ලිවීමක් මතකයට නොඒ. ලූෂන් බුලත්සිංහලගේ ‘රතු හැට්ටකාරි’ පිටපතේ රජු සිහිවිය. ආරම්භය, මධ්‍යය, අවසානය පෙළට පිහිටයි. කතාව ඉල්ලා සිටින කෲර බව, අමිලානි ලබා දෙයි. අවසානයේ කසුබ්ගේ හිසත් කඩයි.

පොකුණට ආ පාත්ත මෙණෙවිය : රුසියාවෙන් ද, එංගලන්තයෙන් ද, ප්‍රංශයෙන් ද, පාත්තයන් ගැන කියවන්නට ලැබුණු කතා ලංකාවේ කියන පාත්තයන්ට වඩා එහේ මුල් අලවයි. වසිලිස්සා පොතේ නපුරු පාත්‍තයෝ, අක්කාගේ මල්ලිව උදුරා ගෙනගියහ. මේ කතාවේ පාත්තයා අනුෂ්කාට මදන විසෙන් බැල්ම හෙලන අතර, අවසානේ ලොකු කඩදාසි බෝට්ටුවක නැගෙන ඈ පාත්ත මෙණෙවියක් වේ. මාලිංගගේ චරිත නිරූපණය හාස්‍යජනකය. නමුත්, මේ කතාව සෙසු කතාවලට වඩා පරිකල්පනය ඉක්මන් බවක් පෙනේ. සිදුවීම් පට පට ගා අනෙකට පනින්නට ගනී. ඒ ඉක්මනින් අපි කූරුවල් වී යන්නෙමු.

බෝතලේ : අති සරල සිදුවීමකින්, නිර්මාණාත්මක ආහ්ලාදයක් වඩවන කතාවකි. කකුළුවන්ගේ හැසිරීම්, අඬුපඬු දිගහැරුම්, මුහුණු නිරූපණ, භාව මොඩල, ඉදිරිපත්කිරීම්, බස වාග් චිත්‍ර මවයි. එයින් උපුටන දෙකක් මෙහි හොවමි.

‘ඒ එක්ක ම ඇම්බියුලන්ස් එකක් ආවා. කකුළුවො හතර දෙනා ම හරිම නුවණක්කාර විදියට අයින් වෙලා සිමෙන්ති තීරුව උඩට නැග්ගා”’
”වැඩිමහල් කකුළුවා ටිකක් ගරුසරු විදියට ආයෙමත් ඉස්සරහට ආවා. ඇවිත් මළ ගෙයක පවුලේ ඥාතීන් වෙනුවෙන් කතාවක් පවත්වනවා වාගෙ ඔළුව බිමට නමාගෙන කතාව පටන් ගත්තා.”
පෙම් කතා දහයක් : සීත යුගය සහ දඩයක්කාර යුග අතර දෙදෙනෙකුගේ ප්‍රේමයක් ගැන කියැවේ. ඓතිහාසික යුග දෙකක දෙන්නෙක් ඒ ඒ යුගවලට අනන්‍ය ලක්ෂණ දරාගෙන පෙම්කරති.

ආදම්ගේ සඳලුතලය : තහනම් ගහේ ඇපල් කෑ කතාව අපි දනිමු. බයිබලයේ එන කතා කිහිපයක ඇසුර ලබමින්, අමිලානි කියන මේ කතාවේ ඇත්තේ, අසෝක ගසකි. මට අසෝක ගස මතක, සද්ධර්මාලංකාරයේ සාලිරාජ වස්තුවේ, සාලියත් අසෝකමාලාත් පෙම්කරන්නට මුල් වූ ගස ලෙසිනි. කතුවරිය ඇපල් ගස උදුරා කතාවේ අසෝක ගස සිටුවා, චරිත ඒ යට තබා පංච කෙළවයි. මේ හයිබ්‍රිඩ් බව නැවුම් ය. මෙහි කඳ මහත සර්පයෝ මට අපුලක් නොදනවයි. ඩිස්කවරියේ, ටාසන්ගේ, පිඹුරෝ මෙන් උන් ගැන ආදරයක් උපදී.
ගම්මිරිස් කුරුල්ලා පණ ලැබීමට බුද්ධිමා හර්ෂණී පෙරේරා ඇඳි ‘කැරම්කොකු’ කාටුන් චිත්‍ර පිටුබලයක් සපයා තිබේ. මේ චිත්‍රත් කතාත් තකට තක පෑහෙයි. කතාව කියවාගෙන යද්දී කාටුන් චිත්‍ර බලමින් පොඩි ළමයෙකු සේ පිරෙන්නට ඔබට හැකි ය.
කතුවරියගේ මේ ආරෙන් මිදුණු, තරමක් සංකීර්ණ කතාවකුත් කියවන්න ඕනෑ ය.

– ඩිල්ශානි චතුරිකා දාබරේ

: ගම්මිරිස් කුරුල්ලා
කාංචනා අමිලානි කරුණාමුනි 
සයුර ප්‍රකාශන

(ප.ලි. : මුල් මුද්රණය 2015 ය, පොත ගත්තේ 2019 ය, කියැවූයේ දැන් ය. )

Leave A Reply

Your email address will not be published.

eighteen − 17 =