ලංකා‍වේ සංස්කෘතික දෙබිඩ්ඩා සහ ස්ත්‍රී පුරුෂ සිරුරේ අනුරාගයේ ආශ්චර්ය

විවිධ දේශපාලන කලබගෑනි අස්සේ ලංකාවේ සංස්කෘතික දෙබිඩ්ඩාගේ ස්වරුපය වරින් වර මතු වෙමින් උඩ-යට යනවා. මම සංස්කෘතික දෙබිඩ්ඩා කියන්නේ තමන් ලඟ ලෝකෙ තියෙන හොඳම සංස්කෘතිය තියෙනවා යයි කියමින්, අන් සංස්කෘතීන් අධම සහ නීච යයි කියමින්, ඒවා හොරෙන් රස විඳින අය ගැනයි. මෙහිදී ඕනෑම සංස්කෘතික භාවිතාවක් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කියන ව්‍යතිරේඛයට යටත් ව තමයි අපි නිර්වචනය කළ යුත්තෙ. සංස්කෘතික වූ පමණින් අතිශය පසුගාමී භාවිතාවන් පිළිගන්නට බෑ. ඒක වෙනම කතාවක්.

ලංකාවේ දිය ඇල්ලක් ලඟ යුවලක් රමණයේ යෙදීමක දර්ශන අන්තර්ජාලයට එක් කිරීම ගැන කතා බහක් සමාජ මාධ්‍ය වල යනවා. ඊට අමතරව එය රහස් පොලීසියට දක්වා ගොස් ඇති බවයි පෙනෙන්නට තියෙන්නෙ. ඒ ගැන පරික්ෂා කරන්න කියලා කවුරු හරි පැමිණිලි කරන්න ඇති. ඒ පැමිණිලි කරන අය ගේ තර්කය අශ්ලීල කාමුක දර්ශන නිසා “ අපේ සංස්කෘතිය විනාශ වෙනවා” යයි කියන තර්කය වෙන්න ඇති. නමුත් මේ අය බොහෝ දෙනා රහසින් වත් කාමුකත්වය ( Erotic ) කියන එක රස නොවිඳපු අය ද? අන්තර්ජාලයෙන්, චිත්‍රපට වලින්, රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපට වලින්, කාමුක සඟරා වලින්, පොත පතින්, එදිනෙදා ජීවිතයෙන් ස්ත්‍රී- පුරුෂ සම්භෝගය, ස්ත්‍රී-පුරුෂ අනුරාගය, ශරීර හැඩයන් දැකීමෙන්, ඇසීමෙන් සහ පරිකල්පනයෙන් කිසියම් වින්දනයක් නොලැබූ අය ද?

ගායනය, රංගනය, ක්‍රීඩාමය චර්යාවන්,වෙනත් ශාරීරික හැකියාවන් රස විඳිනවා මෙන්ම මනුෂ්‍යයාගේ ශරීරයේ හැඩ තල, චලනයන්, රිද්මයන් සහ ලාලිත්‍යයන් අනුරාගික ලෙසත් විඳින්ට හැකි දෙයක්. මනුෂ්‍ය ශරීරයේ හැඩ තල, චලනයන්, රිද්මයන්, ලාලිත්‍යයන් අනුරාගික ලෙස දැක්වීමත් කලාවක්. එය සම්ප්‍රදායික නර්ථනයේ සිට බැලේ නර්ථනයේ සිට ස්ත්‍රී පුරුෂ කායික සම්භෝගය දැක්වෙන අනුරාගී මෙන්ම කාමුක චිත්‍රපට දක්වා දිව යනවා. ඒවා කොතරම් සුන්දර ද? ඒවා කලාවක් ලෙසත්, අනුරාගික ආශාවක් ලෙසත් විඳීම මනුෂ්‍යාත්මයේ ස්වාභාවික ආශාවක් සහ පුරුද්දක්. දියුණු රටවල ඒවාට තහංචි ඇත්තේ නෑ. ඒවා නිසි නියාමනයන් හා යම් යම් ව්‍යතිරේඛයන්ට ( නීති-රීති: වැඩිහිටියන්ට පමණක් ආදී ලෙස) රඟ දැක්වීම සහ ප්‍රදර්ශනය කිරීම දියුණු රටවල සිදුවෙනවා. නිදසුනක් ලෙස නෙදර්ලන්තයේ රතු වීදිය ( Red Light Street) තුළ ඇති ස්ථාන වලට යන ඕනෑම අයෙකුට යම් මිලක් ගෙවා සජීවී ලෙස සිදුවෙන ස්ත්‍රී-පුරුෂ සම්භෝගය නරඹන්නට පුළුවන්. ඒ ලිංගික සන්තර්පනය ලබා ගැනීමට එම වීදියේ ලිංගික සතුට ලබා ගැනීමට ඇති විවිධාකාර අවස්ථාවන්ට අමතරව. මේවාට යන්නට ඇත්තේ අවුරුදු 18 න් ඉහළ අයට. මේ නිසා මනුෂ්‍යාගේ ආහාර වලට පමණක් දෙවැනි වෙන ලිංගික තෘප්තිය ලැබීමේ මනුෂ්‍ය ශරීරයේ ජීව විද්‍යාත්මක ආශාව සපුරාගැනීමට විවිධ අවස්ථාවන් උදා කර දීම නිසා එම සමාජයේ ලිංගික ආතතියෙන් පෙළෙන, ස්ත්‍රී දූෂණ වල යෙදෙන සහ සංස්කෘතික දෙබිඩ්ඩන් ලෙස පෙනී සිටින මිනිසුන්ගේ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.

ලංකාවේ පෙම් යුවලක් ප්‍රසිද්ධියේ සිප ගත්තත්, ඇතැම් විට උද්‍යානයක අත් අල්ලාගෙන සිටියත්, බස් රථයක පසු පසම ආසනයේ තුරුළු වී ගියත්- සිපගත්තත්, චිත්‍රපට ශාලාවකට ගියත්, හෝටලයකට ගියත් , ඒ දෙස කෝපයෙන්, වෛරයෙන් සහ කුහක ලෙස බලන්නේ මේ සංස්කෘතික දෙබිඩ්ඩාය. ඒවාට පොලීසිය පැන්න විට ඒවා රස කර කර දක්වන ගමන් ඒවා මේ රටේ ඇති දරුණුම අපරාධ ලෙස සලකා පතුරුවා හරින්නෙ ඒ සංස්කෘතික දෙබිඩ්ඩාය. ඔහු වැනි අය ඒවා දෙස ‍එලෙස බලා නවතින්නේ නැත. ඒවා ගැන වෛරී අදහස් පතුරුවා නවතින්නේ නැත. ඊළඟට ඔහු යෝජනා කරන්නේ නීති නැත්නම් ඒවා හදා හෝ ඒ නිදහස් මනුෂ්‍යයින්ට දඬුවම් කිරීමටය.

අප මෙවන් සංස්කෘතික දෙබිඩ්ඩන්නට ( පූජ්‍ය සහ ගිහි පක්‍ෂයේ) යෝජනා කරන්නෙ කිසිවෙකු අනුරාගී ලිංගික හැසිරීමක යෙදුනත්, ඒවා රූගත කොට ප්‍රදර්ශනය කළත් ඒවා ඔවුන්ගේ කැමැත්තෙන් කර ගත් දෙයක් නම්, මහජනයා ගැවසෙන තැනක සිදු නොවී නම්, කුඩා ළමුන්ට දකින්නට ඉඩ සැළසෙන්නේ නැතිනම් මනුෂ්‍යයින්ගේ ලෞකික නිදහස මැදට පැන එය විනාශ නොකරණ ලෙසය. අනෙක් අතට ඒවා යම් යම් සීමාවන් ඉක්මවා කළත් තලේබාන් ක්‍රමයට ගල් ගසා මරා දැමිය යුතු අපරාධ වන්නේ ද නැත. යම් හෙයකින් මේවා “සංස්කෘතිය කන” දේවල් යයි මොහොතකට සිතන්නේ නම් ඔවුන් පළමුවෙන්ම කළ යුත්තේ තමන්‍ රහසින් ඒවා අත්විඳින්නේ ඇයි ද යන්න තමන්ගෙන්ම ප්‍රශ්න කරගැනීමය. එලෙස තමන්ගේ ආත්මය පරික්ෂා කරගන්නේ නම් තමන්ට ඇත්තෙ ලිංගික කුහකත්වය සහ ඊර්ශාව මිස අන්කිසිවක් නොවන බව තේරුම් යනු ඇත. එවිට ඔබ කළ යුත්තේ හැකි තරම් සුදුසු ලෙස ලිංගික තෘප්තිය ලැබීම පිණිස කටයුතු කිරීමය. එවිට සංස්කෘතික දෙබිඩි කමේ රෝගය අහෝසි වී යනු ඇත.

ස්ත්‍රී පුරුෂ සිරුරේ අනුරාගයේ ආශ්චර්ය විඳීම කාලාවකි. ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකි. ඊට නිදහසක් තිබීම, ඒවාට බාදා නොකිරීම දියුණු මානව සමාජයක ලක්ෂණයකි.
– අතුල දිසානායක (තවත් ලිපි: සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

14 + 5 =