ජනාධිපතිවරණය – ව්‍යාජ ජාතික ආරක්ෂාව සහ එයින් හිරි වැටුණු ජනතාව

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වන තෙක් අපේ රටේ දේශපාලන කථිකාවතේ ප්‍රධාන දිශානතිය නාභි ගත වී තිබුණේ සමාජ ප්‍රජාතන්ත්‍රීක ප්‍රතිසංස්කරණ දෙසටය. විධායක ජනාධිපති ක්‍රමය, තොරතුරු දැන ගැනීමේ අයිතිය, භාෂණයේ නිදහස, නීතියේ ආධිපත්‍ය, මාධ්‍ය නිදහස ආදී මෙකී කී නොකී බොහෝ ප්‍රජාතාන්ත්‍රීක කරුණු එවක සමාජයේ සාකච්ඡා වෙමින් තිබිණ. නමුත් තත්ත්වය මුළුමනින්ම වෙනස් වීමට ගත වුයේ නිමේෂයකි. රටේ දේශපාලනික කථිකාවත මුළුමනින්ම උඩු යටිකුරු කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ තථිකාවත සමාජයේ මතු පිටට පොළා පැන්නේය. 88/89 කාලයෙන් පසුව රටේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වු ‍සමාජ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ පිළිබදව වු සාකච්ඡාව හිටි අඩියේ වාෂ්ප විය. ඒ වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳව වන කථිකාව, අපේ සමාජය වතුර බදුනක ගිල්වා මැරෙන්න ආසන්න මොහො‍තේදී එළියට ගත් ආකාරයෙන් දිශා ගත කර තිබේ.ජනාධිපතිවරණය සහ මෙම ජාතික ආරක්ෂාව පිළිබඳ කථිකාවත අතර ඉතාම තීරණාත්මක ඓන්ද්‍රීය සහ සම්බන්ධයක් නිර්මාණය කර තිබේ. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණ සටන තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ජාතික ආරක්ෂාවයි. අන් සියළු ජාතික අවශ්‍යතාවයන් පසෙකළා සමස්ථ සමාජයට හිරි ගන්වමින් මෙම සාධකය වෙත සමාජය නාභි ගත කිරීමට මේ වන විට මෙම සාකච්ඡාව සමත් වී තිබේ.

ජාතික ආරක්ෂාව යනු කුමක්ද?  එය අත්‍යන්තයෙන්ම ජාතික රාජ්‍යයේ ආරක්ෂාව හා බැඳී පවතී. රාජ්‍යයක දක්නට ඇති ප්‍රධාන සාධක වන්නේ අර්ථ කථනය කර තිබෙන ජනතාවක් විසීම, නිෂ්චිත භූමිභාගයක් තිබීම, එකී වපසරිය තුළ දේශපාලන ක්‍රමයක් සහ නීති රීති පද්ධතියක් තිබීම සහ ඒ හා බැඳි ආයතන පද්ධතියක් තිබීම, නිෂ්චිත ජාතික ආර්ථිකයක් පැවතීම ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. ඒ අනුව ජාතික ආරක්ෂාව යන්නෙන් අදහස් කරන්නේ මේ සියල්ලටම එල්ල වන කුමන හෝ තර්ජනයන්ගෙන් මිදී සිටීමයි. මෙවැනි තර්ජනයක් භාහිරින් හෝ අභ්‍යන්තරීකව වුවද එල්ල විය හැකිය. ජාතික ආරක්ෂාව පිළිබදව වන කථිකාවත තුළ මීට පෙර අරුත් ගන්වන ලද්දේ මිලිටරිමය ආරක්ෂාව පිළිබඳව පමණක් වුවද මේ වන විට ලෝක දේශපාලන කථිකාවත තුළ එහි මානයන් වෙනස් වී මිලිටරිමය නොවන (non-military dimensions – non military or economic security of the nation) කරුණු ද අන්තර් ගත කර තිබේ. ඒ අනුව ත්‍රස්තවාදය, අපරාධ, ජාතික ආර්ථිකයේ ආරක්ෂාව, පරිසර පද්ධතියේ ආරක්ෂාව, බල ශක්ති සැපයුමේ ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආහාර ආරක්ෂාව ආදී කරුණු ද ජාතික ආරක්ෂාවට ඇතුලත් වේ. එයින් පැහැදිළි ලෙස අදහස් වන්නේ මිලිටරිමය කරුණු වළට පමණක් රටක ජාතික ආරක්ෂාව සම්පාදනය කළ නොහැකි බවයි. ඒ වෙනුවට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නේ නම් රටේ අනෙකුත් මර්මස්ථාන සහ ක්‍රියාවලීන් වල ආරක්ෂාව ද පූර්ණනය කළ යුතුය. නමුත් අපේ රටේ දේශපාලන සාකච්ඡාව තුළ ඇති ජාතික ආරක්ෂාව සහ ජනාධිපතිවරණ දේශපාලන වේදිකාව තුළ තිබෙන ජාතික ආරකෂාව පිළිබඳව වන කථිකාවත මුළුමනින්ම පාහේ වෙනත් තැනත ස්ථාන ගත කර තිබේ.

කිසියම් පුද්ගලයෙකු ජාතික ආරක්ෂාව සම්පාදනය කරන්නේ නම් ඔහු විසින් ඉටුකළ යුතු කරුණු රැසක් තිබේ. ඒ අතුර ජනතාවගේ ආරක්ෂාව, භූමියේ ආරක්ෂාව, දේශපාලන ක්‍රමයේ ආරක්ෂාව සහ නීතියේ සහ යහපැවැත්මේ ආරක්ෂාව මෙන්ම ජාතික ආර්ථිකයේ ආරක්ෂාව ඉතා වැදගත්ය. අද වන විට මීට පෙර පැවති ආකාරයට බලවත් රටවල් භෞතිකව හමුදාමය බලය යොදවා (Military Invasions)  රටවල් අත්පත් කර ගන්නා ස්වභාවයක් ලෝකයේ දක්නට නැත. තිබුණද එය ඉතාම සීමිත ව්‍යක්තිරේඛයක් ලෙස පමණි. ඒ නිසා භාහිරින් අපේ රට හමුදාමය බලය යොදවා යටත් කර ගැනීමේ සම්භාවිතාවයක් පිළිබඳ අදහස මේ මොහොතට යථාර්ථයක් නොවේ. නමුත් භූමිය අත්පත් කර ගන්නා වෙනත් ක්‍රම අද තිබේ. විශේෂයෙන් විදේශ රටවල් සහ ඒවායේ බහු ජාතික සමාගම් විසින් සිය ප්‍රාග්ධනය සහ රාජ්‍යතාන්ත්‍රීක ත්‍රස්තවාදය යොදවා අපේ රටේ ‍භූමිය අත්පත් කර ගනිමින් තිබේ. ජාතික ආරක්ෂාව සම්පාදනය කිරීමේදී අපේ රටේ භූමියේ ආරක්ෂාවද සහතික කළ යුතු නම් මේ ආකාරයට අපේ රටේ භූමිය සින්නකරව හෝ බදු පදනම මත හෝ විදේශ රටවලට විකුණා දැමීම නතර කළ යුතුය. හමුදා මූලස්ථානය හෝ ගෝල් ෆේස් අසළ භූමිය හෝ මොණරාගල අක්කර දස දහස් ගණන් ගොවි බිම් හෝ හම්බන්තොට අක්කර 15000 හෝ විදේශිකයින් වෙත විකුණා දමන්නේ නම් එය ජාතික ආරක්ෂාව මුළුමනින්ම සැළසුම් සහගතව විනාශ කර දැමීමකි. ජාතික ආරක්ෂාව ඇත්තට සහතික කිරීමට අවශ්‍ය නම් වහාම මෙම බිම් යළි අත්පත් කර ගත යුතුය. යළි විකුණා දැමීම හෝ බදු දීම වහාම නතර කළ යුතුය. නමුත් ජනාධිපතිවරණ වේදිකාව තුළ මෙවැනිනක් ගැන අසන්නට ලැබෙන්නේ නැත.  

ජාතික ආරක්ෂාවට ජනතාවගේ ආරක්ෂාව සහ පැවැත්ම වැදගත් සාධකයකි. ජනතාවගේ ආරක්ෂාව පැත්තෙන් සැළකීමේදී එය රදා පවතින්නේ සමාජයේ සාධාරණත්වය සහ යහ පැවැත්ම මතයි. මෙම යහපැවැත්ම තර්ජනයට ලක් විය හැකි ආකාර රැසක් තිබිය හැකි අතර ඒ අතරින් ජාතිකත්වයන් අතර වන සමගිය ඉතා වැදගත් වේ. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාව ඇත්තට සකස් කිරීමට නම් ජාතික සමගිය ගොඩ නැගීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය වේ. සමාජය සිංහල ජාතිකත්වය වෙත හෝ දෙමළ ජාතිකත්වය වෙත හෝ මුස්ලිම් ජාතිකත්වය වෙත විනාශකාරී ලෙස ආන්ති ඩ්‍රැවීකරණයකට ලක් කිරීමෙන් ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැක. අනෙක් පසින් ජනතාව අතර පැන නගින ත්‍රස්ත්‍රවාදී ප්‍රවණතාවයන් පිළිබදව ද අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ලොව පුරා දක්නට ලැබෙන ත්‍රස්ත සංවිධාන නිර්මාණය වීමට ප්‍රධාන ලෙස පදනම් වී තිබෙන්නේ ආගම හෝ ජාතිකත්වය මුල් කර ගෙන වීම අවධානයට ලක් විය යුතුය. එමෙන්ම සමාජයක පවතින අපරාධ සහ ප්‍රචණ්ඩත්වය සමාජ සැකැස්මේ පැවැත්මට අභියෝගාත්මකය. විශේෂයෙන් ජනතාව මුහුණ දෙන සකළ විධ සමාජ අසාධාරණතා විසින් මෙවැනි පසු බිමක් නිර්මාණය කර තිබේ. ඒ අනුව ඒවා මුල් වී තිබෙන්නේ මිනිසාගේ මූලික මිනිස් අවශ්‍යතාවයන් හෝ සම්පාදනය කර දීමට අසමත් සමාජයක් හේතුවෙනි. විරැකියාව, දළිදුකම, ආදායම් බෙදී යෑමේ විෂමතා සහ අනෙකුත් සාධක රැසක් හේතුවෙන් සමාජයේ යහපැවැත්ම මේ වන විට අභියෝගයට ලක්ව තිබේ. සමාජයේ විශාල ප්‍රමාණයක් පාතාල ලෝකය දෙසට දක්කන රටක ජාතික ආරක්ෂාව සම්පාදනය කරන්නේ කෙසේද?   මෙම අභියෝග විසින් නැවතත් අවසානයේදී රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වේ. ඒ අනුව ජාතික ආරකෂාව තහවුරු කිරීමට නම් අත්‍යන්තයෙන්ම ජනතාවට සාධාරණය ඉටු විය යුතුය. අසමානතා දුරස් විය යුතුය. ජනතාව සමාජ ක්‍රමයෙන් පන්නා දැමීම වෙනුවට ආර්ථික දේහයට අවශෝෂණය කර ගත යුතුය. තමන් බලයට ආ පසුව එසේ කරන බවක් ප්‍රධාන අපේක්ෂකයින්  දෙදෙනාම පවසන්නේ නැත. එහෙයින් ඇත්තට ජාතික ආරක්ෂාව ඔවුන්ට තහවුරු කළ හැකි යැයි ජනතාව මුලාවේ වැටිය යුතු නැත.  

ජාතික ආරක්ෂාවට ඉතාම වැදගත් තවත් කරුණක් වන්නේ ජාතික ආර්ථිකයේ ආරක්ෂාවයි. ජාතික ආර්ථිකයේ ආරක්ෂාව ඇති කිරීමට නම් ජාතික ආරක්ෂාවට කෙළින්ම බලපාන ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂාව තහවුරු කළ  යුතුය. එහිදී උපක්‍රමික වැදගත්කම් සහිත වරාය, ගුවන් තොටුපළ. බල ශක්ති සම්පාදනය, සංනිවේදන තාක්ෂණය, ජලය, විදුලිය, මහා මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් වල ආරක්ෂාව තහවුරු විය යුතුය. මෙම ආර්ථිකයේ මර්මස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීමට නම් ඒවායේ පාලනය ජාතික රාජ්‍යය සතු විය යුතුය. ජනතාව සතු විය යුතුය. ඒ අනුව වරාය, ගුවන් තොටුපළ, බලශක්තිය ආදිය විදේශ රටවල් වලට විකුණා දැමන අයෙකුට කිසි විටෙකත් ජාතික ආරක්ෂාව සැපිරිය නොහැක. අද වන විට ලෝකයේ බලවත් රටවල් දුබල රටවල් සහ සම්පත් බහුල රටවල් මෙන්ම වෙළදපළ අත්පත් කර ගැනීම සඳහා හමුදා එවන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් යොදා ගන්නේ ප්‍රාග්ධනයයි. ඒ අනුව අද ජනාධිපතිවරණ වේදිකාවේ ජාතික ආරක්ෂාව ගැන සහතික වන දේශපාලකයින් විසින් වහාම ඉටු කළ යුතු වන්නේ ජාතික දේපළ විකුණා දැමීම නවතා එකී ජාතික ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂාව තහවුරු කරන බවට ජනතාව ඉදිරියේ සපත කිරීමයි. දැනටත් විකුණා දමා ඇති එවැනි ආර්ථික මර්මස්ථාන නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දීමයි.  නමුත් ප්‍රධාන ‍ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනාම මෙම ආර්ථික මර්මස්ථාන වල අයිතිය ආරක්ෂා කරන බවට කිසිදු පොරොන්දුවක් ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් පවසන්නේ හුදෙක් මිලිටරිමය ආරක්ෂාව පමණක් තහවුරු කරන බව පමණි. ජාතික ආරක්ෂාව පිළිබඳව අබමල් රේනුවක හෝ අවබෝධයක් නොමැති රටේ සාමාන්‍ය ජනතාව මෙම ව්‍යාජයෙන් ඇන්ඳී අමන්දානන්දයට පත්ව සිටින ආකාරයක් දැකිය හැකිය. එමෙන්ම මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ත්‍රස්තවාදී වේශයෙන් කටයුතු කරමින් ජාතික ආරක්ෂාව යනු හුදෙක් හමුදාමය පාලනයක් පමණක් බවට වන ව්‍යාජ කථිකාවක් ගොඩ නගමින් තිබේ. එය ඉතාම නරක ලෙසත්, සිදු නොවිය යුතු ලෙසත් ජාතිවාදී ස්වභාවයකින් කුළු ගන්වා ජනතාව හිරි වට්ටවා තිබේ. එබැවින් ජනතාව වහාම මෙම සිහි මුර්ජාවෙන් අවදි විය යුතුය. ඇත්තට ජාතික ආරක්ෂාව යනු කුමක්දැයි තේරුම් ගත යුතුය. අනෙකාට තේරුම් කර දිය යුතුය. ඇත්ත ජාතික ආරක්ෂාව ඇති කළ හැකි ආකාරය තේරුම් ගත යුතුය. එමෙන්ම ඇත්ත ජාතික ආරක්ෂාව ඇති කළ හැකි සැබෑ ජන බලවේගයක් වෙත අවධානය යොමු කළ යුතුය. එසේ නොවන්නේ නම් සිදු විය හැකි හානිය ඉතාම විශාල බව පමණක් සටහන් කරමු.  

අනුහස් බංඩාර       

Leave A Reply

Your email address will not be published.

three × 3 =