යාපනෙන් ලිවුමක් ! “හොඳම මිනිසුන් හමුවෙන මගේ යාපනේ හැටි එහෙමය”

මගේ යාපනය -16  (පසුගිය අප්‍රියල් මාසයේ දවසක් )
පහුගිය සතියක මගේ නමට ලියාපදිංචි ලිවුමක් ආවේය. මම ලිවුම අතට ගෙන කාගෙන් ආ ලිවුමක් දැයි බැලීමි. එහි නම දුටු මට දුකක් දැනුණි. ලිවුම ආවේ වවුනියාවේ සිටය. ඒ ලිවුමේ අයිතිකාරයා යාපනය මහජන පුස්තකාලයේ නිර්මාර්තෘ කේ එම් චෙල්ලප්පාගේ පුතාය. ලිවුම තුල ඔහුගේ තාත්තාගේ පින්තූරයක් ඇතුළු විස්තර විශාල ප්‍රමාණයක් විය. ඔහුගේ මනුෂ්‍යත්වයට මම තුති පුදන්නේ කෙසේදැයි අදටත් දන්නේ නැත. ඒත් මට ඔහුගැන උපන් ආදරය ගැන ලියා තියන්නට අවැසිය.

එදා පහුගිය අප්‍රේල් දොළොස් වනදාය. මමත් තැපැල් දුම්රියෙන් ගොස් කොකුවිල් දුම්රියපොලෙන් බසිද්දී වෙනදට වඩා දවල් වී තිබිණි. සිතු , කණි දෙදෙනා මාව ගන්නට කොකුවිල් දුම්රියපළට ආ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන ප්‍රතිභා මල්ලිද එහි ආවේ ‘’ අක්ක අපි අද පුත්තුර් යනවද අහන්නත් එක්කය.
ඒ කතාව මෙසේය. ප්‍රතිභා මල්ලිට මම යාපනය මහජන පුස්තකාලයේ නිර්මාතෘ කේ එම් චෙල්ලප්පගේ ගෙදර ඇති තැන හොයන්නට කියා බොහෝ දවස්ය. ඔහු කීප වරක් තැන තැන්වලට ගියා පමණක් නොව පුස්තකාලයටද ගොස් විස්තර සොයා දීමට කැප විය.අවසන අපි ඔහුගේ ගම පුත්තුර් වග පමණක් හොයා ගත්තෙමු. චේරන් රුද්‍රමූර්ති එංගලන්තයේ ජීවත්වන චෙල්ලප්පාගේ මුනුබුරකු සම්බන්ධ කර දීමට උත්සහ ගත්තද එය තරමක් කල් ගියේය.

යාපන පුස්තකාලය පිලිබඳ ලියවුනු කවි පොතට චෙල්ලාප්පාගේ නිවසේ චායාරූපයක් අනිවාර්යයෙන්ම ඇතුලත් කර ගැනීමට අවශ්‍යතාවක් මට විය. ඊට හේතුව ඔහු මෙම පුස්තකාලය ආරම්භ කර තිබුණේ ඔහුගේ ‘’ ලංකා හවුස්’’ නම් නිවසේ කාමරයක විවීමය.

තවත් කල් බැලූ විට පොත මුද්‍රණය කල් යනු ඇත. නොඑසේනම් පොතට මේ තොරතුර ඇතුළු කිරීමට නොහැකි වනු ඇත. සියලු උත්සාහයන් වතුරේ ගිය තැන අන්තිම උත්සාහය මේ යයි සිතා යාපනයට ගියෙමි .

හිතුමනාපෙට යාපනයට එන්නට දුම්රියට නැගී ටික වෙලාවකින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය සරත් චන්ද්‍රජීවයන්ගෙන් පැමිණි දුරකථන ඇමතුම අතර තුර මම යන්නේ චෙල්ලප්පාගේ ගෙදර හොයා ගන්නට යැයි ද ඒත් ඒ පිලිබඳ නිශ්චිත තොරතුරක් අප සතුව නැති බවද ඔහු පුත්තුර් වැසියකු බව පමණක් දැනගත් බවද කීවෙමි. තිස් හතලිස් දෙනෙකුගෙන්ද විමසා තොරතුරක් නොලද මට එම ඇමතුම අවසන් වී විනාඩි තිහක් ඇතුලට සරස්ත් චන්ද්‍රජීවයන් නැවත මාහට ඇමතුවේ බලාපොරොත්තුවේ ආලෝකයක් සමගය.
‘’ සඳරැසී මගේ දන්නා කෙනෙක් ඉන්නවා කබෙසන් කියල එයා ඔයාව එක්ක යාවි. මෙන්න එයාගේ නම්බර් එක.’’ මේ තරම් දවසක් නොලැබුන තොරතුර හිතුවක්කාර ගමන ආර්භයේදීම ලැබිණි. ඒ මොහොතේම මම ප්‍රතිභා මල්ලිට පුත්තුර් වලට මා රැගෙන යන ලෙස ඉල්ලමින් කෙටි පණිවිඩයක් යැවීමි.
‘’ අක්කා එන්න. හෙට හොයන් යමු’’ ඔහු පිළිතුරු ඒවා තිබිණි. ඒ අනුව ඔහු උදේම දුම්රිය පොලට පැමිණ ‘’ අක්කා අපි යන්නේ කීයටද? ඇසුවේය. ගමන් මහන්සිය නිසාම මම ඔහුට කීවේ ‘’
හවස දෙකට විතර යමු ‘’ කියාය. සුපුරුදු නවාතැනට ගොස් මද වෙලාවකින් ප්‍රතිභා මල්ලි කීවේ අක්කා දැන් යමුද? හවස මට කොළඹ යන්න වෙලා. ‘’ යනුවෙනි.

නිදි කිරා වැටෙමින් සිටි මට කණියා කීවේ අක්කා දැන් යන්න. ඇවිත් මහන්සි අරින්න. හැබැයි ඔයාට අපි එක්ක කෑමකට යන්න තියන අවස්තාව නැති වෙනවා ‘’ යනුවෙනි. මහන්සිය අමතක කළ මම චෙල්ලප්පාගේ ගෙදර දැක ගැනීමේ උමතුවෙන් ඒ ගමනට සූදානම් වුනෙමි.
ඊට විනාඩි ගණනකට පසු ප්‍රතිභා මල්ලි සමග චෙල්ලප්පාගේ ගෙදර සොයා පේදුරු තුඩුව පාරේ පුත්තුර් දෙසට ගියෙමු.
සරත් චන්ද්‍ර ජීවයන් දුන් අංකයට ඇමතු විට ඔහු කීවේ පුත්තුර්හි බටහිරට වන්නට මෙම ස්ථානය පිහිටා ඇති බවකි.
අපි බොහෝ දුරක් ගිනි අව්වේ ගියෙමු. කඩවල් කීපයකින් ඇහුවද කිසිවෙකුත් එය දැනගෙන නොසිටි අතර , අවසාන අපි පුත්තුර් බටහිර ග්‍රාම සේවක තැන හොයාගෙන ගියෙමු. ඒ අවස්ථාවේ එහි වූවේ සංවර්ධන නිලධාරිනියයි. ඇයද මේ පිලිබඳ කිසිවක් නොදත් අතර අපි ඒ කබේසන් වෙත ඇමතුමක් ගෙන කතාකරන්නට දුනිමු.

ටී. විශුවලිංගම්

ඉන්පසු ඇය අපට මං ලකුණු කියා සොමස්කන්ධ විද්‍යාලය අසලින් ඇති පාරෙන් යන්න යැයි කීවාය. අපි ඒ අදාළ තැන පසුකොට බොහෝ දුරක් ගොස් තිබිණි. කබෙසන් අපට කීවේ ඒ පාරේ ගොස් ශිවලීලා මිස් මිණ ගැහෙන ලෙසය. අපි ශිව ලීලා මිස්ස්ගේ ගේ හොයා ඇවිදින අත‍ර එක නිවසක මිදුලට වී පත්තරයක් බලන කරුණාවන්ත පෙනුමක් ඇති මිනිසෙකු දැක ඔහුගෙන් ඒ මිස්ස්ගේ නිවසට යන අයුරු ඇසුවෙමු. ඔහු නමින් ටී. විශුවලිංගම් නමැති විශ්‍රාමිකයෙකි.

ඔහු තමන්ගේ බයිසිකලයේ නැගී අපිට මග පෙන්වමින් ලීලා මිස්ගේ ගෙදරට ආවේය. ලීලා මිස් යනු විශ්‍රාම ගිය පාසල් ගුරුවරියකි. මිස් අපිව පිළිගෙන සංග්‍රහ කොට අපේ අවශ්‍යතාවය අසා එම නිවාස පෙන්වන්නට බයිසිකලයට නැගී ආවාය, අපිට මග පෙන්වන්නන් දෙදෙනෙකු විය.

ශිවලීලා මිස්

ටික දුරක් විවිධ පාරවල් ඔස්සේ ගිය අපි විශාල නිවසක් ළඟ නතර විය. ඒ නිවාස අවුරුදු හතළිහක් පනහක් පරණ එහෙත් තවමත් හොඳ සවි ශක්තිය ඇති නිවසක් වූ අතර , ඒ නිවාස සතු ගෘහ නිර්මාණ ලක්ෂණ සතු විශේෂත්වය වූයේ එහි ඉදිරිපස හා පිටුපස සමාන ලස්සන සහිත පෝටිකෝවකින් හා දොරවල් වලින් යුක්තව ඉදිකොට තිබීමය.

අපි ඒ නිවසේ පිටුපස දෙසට ගියෙමු. එක් පුද්ගලයකු එලියට ආ අතර අපේ මග පෙන්වන්නන් ඔහුට යමක් කී අතර අප දෙසට හැරී ‘’ මේ චෙල්ලප්පාගේ බාල පුතා කුමාරන් ‘’ යයි කියන්නට විය. චෙල්ලප්පාගේ කියා කිසිවකුත් දකින්නට ලැබෙයි හීනෙකින්වත් හිතා නොහිටි මට උඩ පැන නටන්නට සිතුණි. ඔහු අපිට සංග්‍රහ කළ අතර ඔහු සතුව තිබූ බොහෝ ලිපි ලේඛන අපිට ලබා දුන්නේය. ප්‍රතිභා මල්ලි ඒවා පිටපත් කරගෙන ආවේ ප්‍රධාන මාර්ගය අසල වූ කඩයකිනි.

‘’ අද මම මෙහෙ ආවේ කෝවිලේ උත්සවේ නිසා. නැත්නම් මම ඉන්නේ වවුනියාවේ’’ කුමරන් මහතා කියන්නට විය. මම මෙදා යාපනයට ආ නැකත සුබය. මම අප්‍රමාණව සතුටු වූනෙමි.
ඉන්පසු අපි පස් දෙනාම චෙල්ලප්පා ජීවත් වූ නිවස සොයා ගියෙමු. කැලෑවට ගොස් තිබූ නිවසේ පාදම හා බිමට පෙරලුනු බිත්ති කොටස් කීපයක් දැකගත හැකි විය. කටු පඳුරු පීරමින් අපි චායාරූප ගත්තෙමු . එම නිවස පිහිටා තිබුනේ පුත්තුර් තැපැල් කන්තෝරු පාරේය. දැන් තැපැල් කන්තෝරුව එහි නැතත් ඒ පාරේ නම අදටත් වෙනස් වී නැත.

අපේ පින්තූර ගැනීමේත් අවිදීමේත් ඉවරයක් නැති තැන ලීලා මිසුත් විසුවලිංගම් මහතාත් කුමාරන් මහතාට කීවේ ‘’අපි දැන් යමු. වෙලාව දොළහත් පහුවුණා ‘’ කියාය.
‘’ පොඩ්ඩක් ඉන්න මොකද හදිසිය මේ ළමයට මාතර ඉඳල යාපනේට එන්න පුළුවන් අපි ගැන හොයන්න. අපිට බැරිද පොඩි වෙලාවක් ඒ වෙනුවෙන් ඉන්න’’ කුමාරන් මහතා තම මිතුරන් දෙදෙනාට කීවේය.
පුදුමයත් දුකත් සියල්ල දැනෙන්න ගත්තේ ඉන්පසුවය. ගන්නා තරමක් පින්තූර ගෙන් අවසන මම කුමරන් මහතාගෙන් ඇසුවේ’’ මේ කියන ගෙදර නම ලංකා හවුස් නේද? මෙහෙ කාමරයක නේද ඔබතුමාගේ තාත්තා පුස්තකාලේ පටන් ගත්තේ’’ ලෙසය.

‘’ නෑ මේ ගෙදර නම ලංකා හවුස් නෙවි’’ මම නිරුත්තර වීමි . එතෙක් මා විඳි සතුට වාෂ්ප වූවා සේ විය.
මේ තරන් සොයල මෙච්චර දුරක් ගෙවන ආවේ ඒ ගෙදරට නෙවිද? මගේ හිත දුකින් පිරිණි. අවසාන හිත හදා ගත්තේ කමක් නෑ අඩු තරමේ චෙල්ලප්ප වගේ උතුම් මිනිහෙක්ගේ ගමට ඇවිත් ඔහුගේ පුතෙක් මුණ ගැහෙන්න හරි ලැබුණා නේ ‘’ යන්න සිතාය.
අවසාන අපි ඔවුන් තිදෙනාට සමු දුන්නෙමු. ආදරය මනුෂ්‍යත්වය මුසු සිනහවෙන් හා ආශිර්වාදයෙන් යුක්තව ඔවුන් අපිට සමුදුන්හ.

එන ගමනේදී ප්‍රතිභා මල්ලි කීවේ ‘’ අක්කේ ඔයා නිසා ඔය විස්තර හෙව්වා කොහොමහරි. මම ආවා නම් මෙච්චර හොයන්නේ නැතිව යනවා’’ ලෙසය. නැවත අපි කොකුවිල් එනවිට මහා වැස්සකට හසු විය. දරාගන්න බැරි බඩ ගින්නකි. අපි තෙමි තෙමී තිරුනේල්වෙලියට ආවෙමු. ‘’ වේල් මුරුගන්’’ හෝටලයෙන් කන්නට ගිය විට එහි තිබුනේ පරාට පමණකි. පරාට කෑම මට අසනීප වීමට හේතුවක් නිසා තව දුරටත් කුස ගින්න උහුලන් සිටියෙමි. මම නිසා ප්‍රතිභා මල්ලිටද දුක සේ දවල් ආහාරය ලෙස පරාටවලින් සෑහෙන්නට විය.
මහා වැස්සේ තෙමී නවාතැනට ගිය මට දුරකථන ඇමතුමක් පැමිණි අතර ඒ කුමරන් මහතාගෙනි.
‘’ ලංකා හවුස් ‘’ කියන්නේ තාත්තා හිටපු නිළ නිවාසේ නම. ඒක තිබිලා තියෙන්නේ පරණ දිස්ත්‍රික් උසාවිය ගාව. දැන් ඒ ගොඩනැගිලි එකක්වත් නෑ’’ ඔහු මගේ හිත සනසුවේය. එතෙක් වෙලා ඔහු මේ තොරතුර සොයන්නට උත්සහ ගන්නට ඇත. මේ මිනිසුන්ගේ කැපවීමට, මනුෂ්‍යත්වයට තවත් සාක්ෂි අවශ්‍ය නැති වුවද පහු ගියදා ගෙදරට පැමිණි ලිවුම නැවත ඔහු කෙරෙහි වූ ගෞරවය ආදරය මෙලෙස අකුරු වලට පෙරලන්නට මට බල කරන්නට විය. පොත ප්‍රකාශකර මාසයක් සම්පූර්ණ වීමට ආසන්නය. ඔහු තවත් ඒ වෙනුවෙන් යුතුකම් කරමිනි හිදී.
හොඳම මිනිසුන් හමුවෙන මගේ යාපනේ හැටි එහෙමය.


මම
යාපනේ පෙම්වතිය
සඳරැසී සුදුසිංහ  (fb)
මාතර ඉඳන්
sandaraseepriyathma@gmail. com

චෙල්ලප්පා ජීවත් වූ  කැලෑවට ගොස් තිබූ නිවස

Leave A Reply

Your email address will not be published.

1 × 4 =