“ජිනදාස මහත්තයට හමු වුණොත් එස්.බී.ට කියන්න – අපේ ගෙදර ඉන්නේ හොරු කියලා බැංකුව හිතනව ඇති”

එස්.බී. හෙවත් සුමනවීර බණ්ඩා දිසානායක ගැන අපූරු කතා කීපයක් මා අසා තිබේ.
බොහෝ දෙනා අසා නැති මේ කතා හුදී ජන පහන් සංවේගය පිණිස මෙසේ සටහන් කරමි.

එස් බී අංක 1 .

මේ කතාව මා ඇසුවේ 2001 දී කොට්ටාව හංදියේ පැවති මහජන එක්සත් පෙරමුණේ සභාවක්දීය. කථිකයා ජිනදාස නියතපාලය. අපි ඔහුගේ හඩින්ම එය අසමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී   ජිනදාස නියතපාල.

” මම හා හා පුරා මැතිවරණයක් දිනුවේ 1989 දි එජාපයෙන්. දැන් ඔන්න හෙට තමා මුලින්ම පාර්ලිමේන්තු යන දවස. අපි නෝනත් මමත් අපේ ආලින්දයේ කතාකරමින් හිටියා.

අපේ අල්ලපු වත්තේ ඉන්නවා අපට බොහෝම හිතවත් ගුරු ජෝඩුවක්. අපේ ඉඩම ටිකක් විශාලයි. මම දැක්කා ඈත ගේට්ටු වෙන් ඇතුල් වෙලා අර ගුරු ජෝඩුව අපේ නිවසට එනවා. ඔවුන් ඇවිත් තිබුණේ මට සුබ පතන්න.

ඒ අය ආගිය තොරතුරු කතා කරන ගමන් මා සමග කිව්වා ඒ ඔවුන්ගේ දුර නෑයෙක් වන තරුණයෙකුත් මෙවර නුවරඑළියෙන් තේරී සිටින බවත්, ඔහු ඊයේ රෑ හගූරන්කෙත සිට පැමිණ සිටින බවත් කිව්වා. ඉතින් මම සතුට පලකළා.

අපි කතාවෙ වැටිලා ඉන්න අතරේ අපේ ඉඩමේ දකුණු පැත්තේ වැට කඩා වැටෙනවා වගේ ලොකු සද්ද යක් ඇසුණා. හරකෙක් පැන්නා වත්ද කියලා අපි තුන්දෙනාම නැගිටලා බැලුවා.

කොට කලිසමක් ගහපු කොල්ලෙක් කැලේ කඩාගෙන මෙන්න දුවගෙන එනවා. මහත්තයා හොරෙක් ද දන්නෙ නෑ කියල අපේ නෝනා මගේ පිටුපසට වෙමින් කිව්වා. නෑ නෑ අනේ සමාවෙන්න මේ අපේ අර මන්ත්‍රී ලමයනෙ කියලා ඉස්කෝලෙ මහත්තයා වත්තට පැනපු හාදයා හදුන්වා දුන්නා.

මිනිහ “කොහොමද අංකල්” කියාගන ගෙට ගොඩවෙලා අර ගුරු ජෝඩුවට බොන්න තියපු දොඩන් වීදුරු දෙකෙන් එකක් අරගෙන බොන ගමන් වාඩිවෙලා කියවන්න ගත්තා.

“අංකල් මම ෆස්ට් ටයිම් පාර්ලිමේන්තු ආවේ. සෑහෙන ෆයිට් එකක් දුන්නා. මට හැප්පෙන්න වුණේ u n p එක්ක නෙවේ. S l f p එක එක්කමයි.”

“මේ මහත්මයාගෙ නම.”

“මම සුමනවීර බණඩා දිසානායක. එස්. බී. කිව්වාම කඩුගන්නාවේ ගල විදපු තැනින් උඩ ඕනෑම කෙනෙක් මා ගැන දන්නවා”

කතාව දික් වෙද්දී අර දෙන්නා යන්තම් මේ හාදයාත් අරං ගියා. අපි දෙන්නා මූණට මූණ බලාගත්තා. අර හාදය වැට කඩාපු තැන හදන්න වැඩ කරන කෙනෙකුට කිව්වා.

පහුවෙනිදා උදේ මම හා හා පුරා කියල පාර්ලිමේන්තු යන්න ගෙයින් එළියට ආවා. අපේ නෝනා සුබ ගමන් කියල වතුර වීදුරුවක් අරං ඉස්සරහට ආවා. ගමන පිටත් උනා විතරයි. මෙන්න අර ඉලන්දාරියා පාරට පැන්නා. කාරෙක නවත්වන්නත් කලින් දොර ඇරගෙන මාත් එක්ක පස්සේ සීට් එකේ වාඩි වුණා. වැස්සක් වහිනවා වාගේ එකදිගට කියවන්න ගත්තා. පාර්ලිමේන්තුවට ගියා විතරයි මිනිහා බැහැලා මාරු වුණා.

ඒ කාලේ අපේ දුව හිටියේ ලන්ඩන් වල. අපි දෙන්නා දුව බලන්න යන්න හිටියත් චන්ද වැඩහින්දා බැරිවුණා. දැන් යන්න පුළුවනි. ඒත් පහුගිය දිනවල වියදම් වැඩිවූ නිසා මුදල් මදි පාඩුවකුත් තිබුණා.

ලංකා බැංකුවෙන් පොඩි ලෝන් එකක් ගන්න ඩී. බී. විජේතුංග අගමැති තුමා හමුවෙලා කතාකලා නම් හොඳයි කියල මම හිතුවා. පාර්ලිමේන්තු වැඩ ඉවර වූ ගමන් මම අගමැති තුමාගේ කාර්යාලයට යමින් සිටියා.
” අංකල්… අංකල්…” කියලා කෑගහනවා ඇහිලා පස්ස හැරුණා. මෙන්න අර හාදයා දුවගෙන එනවා.

“අංකල් කොහෙද යන්නෙ. දවල්ට කෑවනෙ, දැන් ගෙදර යමු.”

“මට විජේතුංග අගමැති තුමා හමුවෙන්න ඕන කමක් තියෙනවා. එන්න පමා වෙයි.”

“ඒකට මොකද මාත් කැමතියි අගමැති තුමා හමුවෙන්න යමු යමු. ”
මෑන් ආයෙත් එල්ලුනා.

දැන් අපි දෙන්නා ම ඩී.බී. විජේතුංග අගමැති ගාව. මෙයා අපේ පාටියෙත් නෙවෙයි. මගේ කාරණේ කියා ගන්නත් බෑ. අන්තිමට මම යාන්තම් මගේ උවමනාව අගමැති තුමාට කිව්වා.

“ජිනදාස මන්ත්‍රී තුමා ලෝන් එක කීයක් ද ගන්න අදහස.”
“මා අතේ සල්ලි තියෙනවා. ලන්ඩන් යන නිසා අතේ කීයක් හරි වැඩිපුර තිබුණොත් හොදනෙ. ලක්ෂයක් ඇති.” මම කිව්වා.

අගමැති තුමා රයිටින් පෑඩ් එකෙන් කොලයක් කඩලා ලංකා බැංකුවේ සභාපති තුමිය ට මිනිට් එකක් දාලා යටින් මගේ නම ලිව්වා. එතකොට මෙයත් පැනල කිව්වා ,

“සර්, මගේ නම දිසානායක මුදියන්සේලාගේ සුමනවීර බණඩා දිසානායක මටත් ලක්ෂයක් ඇති.” කියලා.

මට මොනවත් කියාගන්න බැරි වුණා. මම බලා හිටියා.
අගමැති තුමා හිතුවේ මම මෙයා එක්ක ආවේ එයාටත් ලෝන් එක අරන් දෙන්න කියලා.
අපි ලංකා බැංකුවට ගිහින් පැයක් විතර රස්තියාදු වෙලා එදාම සල්ලි ගත්තා.

දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු ගාණක්. ඊට පස්සේ ඔය ඇස්. බී. දිසානායක ඇමති කෙනෙකුත් වුණා. අර ගුරු තුමිය පැන්ෂන්. ගොඩක් වයසයි. ළගදි දවසක් මා හමුවෙන්න ආවා.

ජිනදාස මහත්තයා අර මන්ත්‍රී ළමයා අපේ ඇඩ්‍ර්ස් දාල ලංකා බැංකුවෙන් ණයක් අරන් දැන් අවුරුදු ගාණක් තිස්සේ අපේ ගෙදරට ලියුම් එනවා ඒක ගෙවන්න කියලා. අපේ මහත්තයා බැංකුවටත් ලියුම් දැම්මා එයා මේ ලිපිනයේ නෑ කියලා. ඒයාටත් පණිවිඩ ඇරියාම ඒත් සද්දයක් නෑ.

ජිනදාස මහත්තයාට හමු වුණොත් අපි මතක් කළා කියන්න. අපේ මහත්තයා විස්සෝප වෙනවා අපේ ගෙදර ඉන්නේ හොරු කියලා බැංකුව හිතනව ඇති කියල.

මම කිව්වා ඒ ඇමති තුමා මට උත්සව කීපයකදි හමුවුණා. හැබැයි මාව හදුනන පාටක් නම් පෙන්නුවේ නෑ කියලා.

– කසුන් විතානගේ

Leave A Reply

Your email address will not be published.

1 + nine =