දියණිය මගේ බෝනික්කා විසි කළාය

 අහුමුළු පීරා
මා දියණිය සොයා ගත්තාය
ඒ දුර්වර්ණ බෝනික්කා.
එක පයක් කැඩී ගිය
නිල් ඇසක් වපර වුණ
annabelle බෝනික්කෙකු සේ
ඇය මගේ මතක පසුපස ආවාය
අම්මට කිව්වොත් ” උඹලා ඔක්කොම මරනවා …”
පෙති සැලුණ කාමරයක
සිනි ගඳට
අපුල ඔක්කාරෙට එයි
බෝනික්කාගේ පාදයක් බිඳී නිල් ඇසක් වපර විය..
“තාත්තා හිටියා නම් අපි දුක් විඳින නෑ පුතේ
තනියම ඉන්න වෙලාවට සීයා ලඟට යන්නෙපා “
අම්මගේ දකුණු අතේ නිල් පැහැති පැල්ලමකි
උරහිසේ ඉතා තද සීරුමකි…
” නිස්සද්ද ළමයෙක් , වැඩිපුර ඉන්නෙ තනියම “
මිතුරුකම් අසමත්ව ඇතුළු හදටම එබුණ
තනියට බෝනික්කාට තුරුළු වුණ
” තමුසේ කිසි දේකින් නොසෑහෙන ගෑනියෙක්
කිසිම සන්තෝසයක් නැති “
” අම්මේ….
මේ බෝනික්කා කැතයි ..
අපි එයා විසිකරමු ….”
නින්ද නොආ දිගු රැයකින් පසු
සුදු කවරෙක බහා
කුණු ලොරියට විසි කළෙමි
බෝනික්කා …..
උදෑසන රන් එළිය
සෙමෙන් විත් වැතිරෙයි
මා දියණි කොපුල් සිඔ ….

අනූපමා ගනේගොඩ .

ගිය මාසෙ මුලදී තිඹිරි ගෙදර දී එළි දැක්වුණු ” හරස් වීදියේ සිට ” අනූපමා ගනේගොඩ තරුණ කිවිඳියගේ නිර්මාණ සංග්‍රහයක් . මම මේ වසරේ කියපු කවි පොත් වලින් නම් නිසැකවම මේ කවිපොත තමයි මගේ හිතේ ඒ තරම්ම කම්පනයක් , අපූර්වත්වයක් , තැතිගැන්මක් දැනෙවුවෙ .

ඔය කවියක තියෙන්න ඕනෑ කියනවා epiphany කියලා ගුණයක්. මේ එපිෆනි කියන්නේ කවිය විදීමෙන් පසු ක්ෂණික ව ඇතිවෙන අවබෝධයක් . හෙළිදරව්වක් . කාංචනා අමිලානි වාගේ කිවිඳියකගේ කවියක අග භාගයේ එන කවි පදයකින් මේ පුපුරායාම සලකුණු කරනවා.

ටිම්රාන් කීර්තිගෙ නම් ඇති..ද කියන කාව්‍යයේ මට මතක විදියට මදිකම කියන අවසාන පදයෙන් මේ එපිෆනි එක සලකුණු වෙනවා . ඒ කියන්නේ යොවුන් වියේ ගැහැණු ළමයෙක් බොහෝවිට වචන වලින් පවසන්නෙ ඇයට හැඟෙන දේ නෙමෙයි ඊට විරුද්ධ අර්ථය කියන එක .

අනුපමාගේ මේ කාව්‍ය සංග්‍රහයේ එන බොහෝ කවි කියවීමෙන් පසු අපට ක්ෂණික ව යම් දැනුමක් ප්‍රඥාවක් පහළ වෙනවා . ඉහත සඳහන් කවිය ඔබ සමීපව හා විවේකයෙන් කියෙව්වොත් මේ දැනුම ක්ෂණිකව එක මොහොතක පහළ වේවි . ඊට පස්සේ නැවත කවියට ප්‍රවේශ වෙද්දි එහි මාතෘකාව ම මේ සිදුවීම පිළිබඳ දැනුමක් ගෙනේවි . ඊට පස්සේ නිහඬ, මනසින් හැකිලුනු , සමාජයට බියෙන් ඉන්න , තනිකම ට ඇලුම් කරන ගෑනු ළමයා පසුපස සැඟවුණු ඛේදවාචකය හදවතට දැනේ වි . පපුව හිර වෙලා ඇසට කඳුළක් නැගේවි .
ඉන්පසු ඔබේ කාර්යාලයේ දී , පාසලේ දී හෝ වෙනත් තැනකදී හමුවන එබඳු ළමයින් දෙස බැලීමට පෙර නොවුණු සදය දෑසක් ලැබේවි .

මේ කවි පොතේ එන බොහෝ කවි වල තිබෙන පොදු ලක්ෂණයක් තමයි ඒවා පාදක වෙලා තියෙන ප්‍රබල, ශක්තිමත් වස්තුබීජය නැත්නම් ප්ලොට් එක . ඉක්බිති ඇය කවිය තුළ ගන්වන අන්තර්දෘෂ්ටිය කියාපෑමට භාවිතා කරන ප්‍රබල සංකේතාර්ථ . ඉහත කවියේ එක් පයක් කැඩීගිය නිල් ඇසක් වපර වුණු බෝනික්කා මුළු කවියම හකුළුවා පෙන්නන ඉතාම ප්‍රබල සංකේතාර්ථයක් . අනුපමා කියන්නේ ව්‍යාජ කවි ලියන කෙනෙක් නෙවෙයි. ඒ වාගේම ඒ කවි තුළ එය ඇය ඇගේ ගැහැනුකම ගන්වන්නෙ ඉතාම ළගන්නා අයුරින්. මට හිතෙන්නේ ඇය ඇයවම සොයායන කෙනෙක්. විටක ඇය එම සොඳුරු නගරයේ ඇවිදින ගමන් නගරාභ්‍යන්තරයේ වූ විවිධ ප්‍රභාමත් මෙන්ම අඳුරු ස්ථාන ද අපිට ගෙනහැරපාන්නේ සිත්තරාවියක පරිද්දෙනි.

– ජයන්ත කහටපිටිය

Leave A Reply

Your email address will not be published.

five × one =