ආණ්ඩු විරෝධී රැළි සමය ඇරැඹිලා !

ආණ්ඩු විරෝධී රැළි හමන්නට පටන් අරන්. ඒ රැළි කුණාටුවක් වෙලා 2024 ආණ්ඩු පෙරළියක් ඇතිකරන්නට ඉඩ තියෙනවා, නමුත් , එය විය හැක්කේ සාමකාමි බල වෙනසක් සහතික කරන ව්‍යස්ථාපිත තත්ත්වයන් 2024 වර්ෂයේ දීත් රැකී පවතීවී යන කොන්දේසිය යටතේයි .
එසේ වේවායි ප්‍රාර්ථනා කරමු.

නමුත් ආණ්ඩු විරෝධී රැළි කියන සංසිද්ධිය ප්‍රේමදාස යුගයේ සිටම ආණ්ඩු පෙරළීමට වැඩ කළ හැටි අපි දැකල තියෙනවා. ඒ ක්‍රියාවලියේ යාන්ත්‍රනය වන ‘විවිධ පන්නයේ පක්ෂ සංධාන, ‘විකල්ප පදනම්’/වෘත්තික සංධාන’ , විවිධ සමාජ කාණ්ඩ/ සංරචක මාධ්‍ය ක්‍රියාකාරිත්වයන් හා මූල්‍ය ව්යූහයන් හා ඒ රැළිවල පිළිවෙළ, රටාවන් ගැන අපට හොඳ දැනීමක් තියෙනවා.

76 ට ඉස්සර රාජ්‍ය ආයතන ඇතුළෙ ( විශේෂයෙන්ම මාධ්‍ය ) පාක්ෂික කණ්ඩායම් හැසිරුනේ නයි පොළොංගු විදිහට ; එක පක්ෂයක් ආණ්ඩු බලයට එනකොට ඒ පාක්ෂික කල්ලිය ආයතනය ඇතුලෙ පරිපාලන බලය ලබා ගෙන මගුල් කන යුගයක් ආරම්භවෙනවා , අනෙක් පාක්ෂිකයන් කාණුවට තල්ලු කරනවා , නමුත් මේ ආයතනික පාක්ෂික කල්ලි ( දෙක) සිය දේශපාලන නායකයින්ගෙන් ඉක්මනට ඉගෙන ගත්තා මරා ගැනීමෙන් හරියට තුවාල වෙනවා , ඒ නිසා ‘බෙදාහදා ගෙන’ ජීවත් වෙන්න ඕන කියලා; මාකේස් ගෙ නවකතා ක්‍රමයට විතරක් ගෝචර වන අමුතු සහජීවන යුගයක් ඉහළම තට්ටුවේ විතරක් නෙමේ , වෙනත් පොර පිටි වලටත් ආවා.

මාකේස් පන්නයේ අමුතු ආණ්ඩු විරෝධී චරිතත් මේ බල සංක්‍රාන්තික කාල වල දකින්න පුලුවන්. සමහරු විවිධ පන්නයේ කලා සංධාන , වෘත්තීක සංවිධාන , භික්ෂූ බලවේග හදනවා. පවතින සිවිල් සංවිධාන පහසුවෙන්ම පීල්ල මාරුකරවලා ආණ්ඩු විරෝධී ලොරියට නග්ග ගන්නවා. ආණ්ඩු පෙරලියෙන් පස්සේ මේ බුහුටි සිවිල් චරිත සිය සැලසුමට අනුව ඉණිමගේ නගිමින් විවිධ දොලපිදේනි ලබා ගන්නවා අපි ඇති තරම් දැක තියෙනවා.
ඒ අතරේ , තවත් සමහරු ‘දරුණු ආණ්ඩු විරෝධයේ ඉණිමග’ පාවිච්චි කරන්නේ හුදෙක්ම දේශපාලන රැකවරණය හෙවත් Asylum ලබාගෙන පිටරටකට පැනගන්නයි. මේ කාලේ අපට පේනවා , සමහරු ලක්ෂ 40-50 මිනිස් ජාවාරම් කරුවන්ට දීලා යුරෝපයේ රටකට පැනගෙන හදිසි පූර්ණකාලීන ආණ්ඩු විරෝධීන් බවට පත්වෙනවා අසයිලම් ගැනීමේ බලාපොරොත්තුවෙන් , ආණ්ඩුව පෙරළුනොත් ඒ ගොල්ලො ආපහු එන්නෙ එහේ ඉන්නවාට වඩා සල්ලි හොයන්න පුලුවන් වර්ගයේ වරප්‍රසාදිත තත්වයක් ලබාගෙනයි.
ඔය කියූ පන්නයේ ආණ්ඩු විරෝධය ගැන පමණක් නොවේ පක්ෂ දේශපාලනය ගැනවත් මම නම් දශක තුනක් වත් තිස්සේ උනන්දු නෑ.

දේශපාලන පක්ෂයක අරමුණ ආණ්ඩු බලය ගැනීම..ලංකාවෙ සන්දර්භය අනුව ආණ්ඩු බලය ගැනීමේ තර්කනය කෙක්කෙන් හෝ කොක්කෙන් චන්ද එකතු කර ගැනීමයි..

එහෙත් අවශ්‍ය වෙන්නේ සමාජ විඥානය ඉහළට ඔසවන , සමාජ සම්භාෂණයට හා විකල්ප – ඉහළ සමාජ ජීවිතයකට/සමාජ සබඳතාවන් ගොඩනගා ගන්නට උදව් කරන වගේම ඒ සදහා විවිධ දියුණු ප්‍රජා ව්‍යූහයන් ගොඩනගන දේශපාලන – සංස්කෘතික- අධ්‍යාපනික මහජන ව්‍යාපාරයක්. අද අපට විශේෂයෙන් අවශ්‍යයි ආචාර -ධාර්මික පෙරළියක් සඳහා වූ දේශපාලන -ආධ්‍යාත්මික ක්‍රියාකාරිත්වයකුත්….මේ ව්‍යාපාරය කිසියම් මධ්‍යගත , ඒක-කේන්ද්‍රීය වැඩක් වෙන්න විදිහක් නෑ…හාත්පස ආලෝකය පතුරන කුඩා පහන් වැනි කේන්ද්‍ර වලින් හෙබි සංවිධිත හා අසංවිධිත කලාප සහිත පුලුල් ජාලයක් වෙන්න/ පත් වෙන්න පුළුවන්. මේ යුග පෙරළිය ස්වභාවිකව ඇතිවිය යුතු සමාජ මෝරා යෑමක් වගේ පෙනුනත් , එහි සංරචක සංවිධිත ලෙස සැලසුම් කිරීමටත් නිල ඇල්ලීමටත් බැරිකමක් නෑ…

සමාජ පෙරළියක් නැතුව රාජ්‍යයේ සැබෑ පෙරළියක් වෙන්නෙ නෑ…ලංකාවේ රාජ්‍ය ක්‍රියාකාරිත්වය කියන්නෙ ඇත්තටම ලක්ෂ 15 ක් විතර වන රාජ්‍ය සේවකයන් ගෙ හැසිරීම විනා වෙන මොකක්ද ? ව්‍යවස්ථාව හා නීති නෙමෙයි සැබෑ රාජ්‍ය ව්‍යූහය ..ඒවා වෙනස් කළ පමණින් රාජ්‍යයේ හැසිරීම වෙනස් වෙන්නෙ නෑ…
සමහර ආර්ථික විද්වතෙක් කියනවා කොරියාවෙ වගෙ වේගයෙන් , අවුරුදු 5 ක් ඇතුළත , ඉහළ සංවර්ධන මට්ටමක් කරා ලංකාව අරගෙන ගිහින් දෙනවා , හොඳ ආණ්ඩුවක් හැදුනොත් කියලා . මම එවැනි මිතුරෙක් ගෙන් ඇහුවේ , ඔබ කොරියාවෙන් මෙහාට මිනිස්සු ගේනවාද ඒ වැඩේ කරන්න කියලා .

සමහරු ස්කැන්ඩිනේවියානු රටවල වගේ දියුණු සමාජ -ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අපට හොඳයි කියනවා . හොදයි නම් තමා , ඒත් අර ප්‍රශ්නෙම වගේ දෙයක් ඒ ගොල්ලන්ගෙන් අහන්න තියෙන්නෙ.. ෆින්ලන්තෙ , ස්වීඩනයේ, ඩෙන්මාර්කයේ , ස්විස්ටර්ලන්තයේ මිනිස්සුන්ගේ සාමුහික විඥානය ගුණාත්මක සංවර්ධනයකට ගිය හැටි ගැන මේ සමාජ -ප්‍රජාතන්ත්‍රවාදීන් ටිකක් හෙව්වොත් හොදයි . එතනදී සමාජ චින්තකයින් , විවිධ ප්‍රජා නායකයින් , අධ්‍යාපනඥයන් , කලා -සංස්කෘතික පර්ෂද නොකඩවා වැඩ කරමින් සමාජ විඥානය හා සාමුහික පරිකල්පනය ඉහළට එසවූ හැටි , නොකඩවා එසේ කරන හැටි ගැන හෙව්වොත් හොදයි වගේ .
මේ කියන්නෙ ආණ්ඩු විරොධී සංවාදයක් අවශ්‍ය නෑ කියලා නෙමේ; හුදු සීමිත දේශපාලන සංවාදයක් වුනත් යා යුතු දිශාව ගැනයි මේ කතාව.

සෝවියට් දේශයේ , ස්ටාලින් ගෙ මරණෙන් පස්සේ , කෙටිකාලීන සමාජ -සංස්කෘතික පුනරුද සමයක් ඇරඹුනා ‘හිම දියවීම’ කියලා විද්වතුන් විසින් නම් කළ; එය මැද්දේ 1958 බරීස් පස්තර්නාක් කවියා ලියූ මේ සමග පහත ඇති කවියේ ලා සැබෑ සමාජ පෙරළිය ගැන ඉතා ගැඹුරු අන්තර්ඥානයක් අඩංගුවෙන බවයි මම හිතන්නේ; අවාසනාවට පස්තර්නාක් වැනි අයගේ ප්‍රාර්ථනාව ඉටුවෙන්නේ නෑ , සෝවියට් ආණ්ඩුව 1960 ගනන් මැද වෙනකොට ආයිමත් සමාජය අඩස්සියට යට කරනවා. ඒ පක්ෂ අධිකාරයේ පියවරවල ප්‍රතිපලය වුනේ 1989 සෝවියට් දේශය අරාජික ආකාරයට බිද වැටීම. ඒ බිද වැටීමෙන් තහවුරු වුනේ නිතරඟ රාජ්‍ය බලයක් තිබුණත් ,සාමුහික විඥානය අවුල් නම් සැබෑ යථාර්ථය අවුල් බවයි.
ඉතින් රාජ්‍ය බලය කුමටද ?

-සුනිල් විජේසිරිවර්ධන  (fb)

වැහි කුණාටුවෙන් පසු

ලොවේ පෙනහලු පුරවලා රැයේ වැහි කුණාටුව
පණ පිබිද හැමදේක පාරාදීස දසුනක් ව .
දම් පැහැ අත් පසුරු දිගුකර උරා බොති
ලිලැක් මල් පොකුරු වට පිටේ නැවුම් බව.

කාලගුණ පෙරළියෙන් පණ පුරා ඇත ලොවම,
වැසිකඳ තුරුළු කොට පීලි සහසක් උතුරයි.
වඩ වඩා එළිවෙයි අහසේ හිදැස් තැන් ,
කළුම වලාවට උඩින් නිල යළිත් මතුවෙයි .

කලාකරු දෑත් සවිබල ගැනෙයි දින දින,
මුණගැසෙන හැම දෙයින් සෝදා හැරෙයි කිලි කුණු ;
කලාකුටි ඇතුළේ පෙරළියට බඳුන් වෙයි
සත්තාව දිවියේ , අතීතය සේම වත්මන.

අඩ සියවසක මතකය කුණාටුවෙන් ඇවිලුන
හැරී යයි ආපසු ගැජුම් නද නිවෙනු විලසින් .
සියවසේ ඉරණම ගැලවී ඇත මිටින් දැඩි ,
සියමග යන්න ඉඩ දෙමු ඇයට දැන් යහතින් .

බල පෙරළි , කුමන්ත්‍රණ නොවේ මේ පොළොව මත
ඉදිකළේ නව මං යහ දිවිය කරා යන ;
හෙළිදරව් , කුණාටුව සහ විසල් ආදරය
දැවි දැවී මතු කරන ගිනිවැදුණු හදවත්ය.

1958

Leave A Reply

Your email address will not be published.

thirteen + 9 =