“අපි විසින් සුණු විසුණු කරලා දාපු ලෝකයක් තමයි තරුණ පරම්පරාව උරුම කරගන්න යන්නේ”

- ඉසබෙල් අයියන්දේ

කොරෝනා වසංගතය නිසා අසමානාත්මතාව මුළුමනින්ම නිරාවරණය වී ඇමරිකාව ඇතුළු ලොවපුරා සිදුවන විරෝධතාවයන් තව තවත් අවුළුවනු ඇතැයි චිලී ජාතික ලේඛිකා ඉසබෙල් අයියන්දේ පවසයි.

ස්ත්‍රීපුරුෂභාවය සහ වාර්ගික සමානාත්මතාවය මත පදනම්ව නව සාමාන්‍යකරණය ගොඩනැංවීම කිරීම තරුණ පරපුර වෙත ඇති අභියෝගය බව 77 හැවිරිදි ඇය විශ්වාස කරයි.

‘මායාවාස’ කෘතියෙන් ලොවපුරා ජනප්‍රියත්වයට පත්වූවා යැයි සැලකිය හැකි අයියන්දේ විසින් ස්ත්‍රීවාදය පිළිබඳව රචිත ප්‍රබන්ධ නොවන ශානරයේ කෘතියක් වන ‘What women want’ නම් කෘතිය මේ නොවැම්බරයේදී පිටවීමට නියමිතය.
මනා සංයමයකින් යුත් ලේඛිකාවක් වන ඇය සතුව චිර ප්‍රසිද්ධ සම්ප්‍රදායක් ඇත. එනම් සෑම වසරකම ජනවාරි 8 වෙනිදා අළුත් පොතක් ලිවීම ආරම්භ කිරීමය.

මේ වසරේත් එහි වෙනසක් සිදු නොවුනද, ගෝලීය වසංගත තත්වය හමුවේ කාර්යක්ෂමව වැඩකිරීම අභියෝගයක් බව ඇය පිළිගත්තාය.

සැන් ෆ්‍රැන්සිස්කෝ ආසන්නයේ පිහිටි ඇගේ නිවසේ සිට වීඩියෝ ඇමතුමක් මඟින් AFP වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අයියන්දේ තමන්ගේ ලේඛන කලාව හා පශ්චාත්-වසංගත ලෝකය ගැන මෙන්ම ඇමරිකාවේ වත්මන් (කළු ජාතිකයාගේ මරණයට එරෙහි) විරෝධතා රැල්ල ගැන ඇගේ දැක්ම ඉදිරිපත් කළාය.

ප්‍ර: ඔබේ එදිනෙදා වැඩකටයුතු වලට වසංගතය බාධා පැමිණවූයේ මොන අයුරින්ද?

පි: වසංගතය, නගර වසාදැමීම, වෛරසයට ඇති බය වගේම පැතිරිලා ගිය විරෝධතා රැල්ල මිනිස්සුන්ව කොටුකරලා. ඒක දරාගන්න ලේසි නැහැ. මටත් ඒක බලපෑම් කළත් මට හොඳ සංයමයක් තියෙනවා.
හැම දවසකම එකම වෙලාවට පරිගණකය ඉස්සරහට එන එක තමයි සටනෙන් බාගයක්ම වෙන්නේ. මුළුදවසෙම කරපු දේවල් ඵලක් නැති වෙලා යන එකත් වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඒක ගැටලුවක් නෙවෙයි. ඉවසීමෙන්, ටිකෙන් ටික ලියලා තමයි පොත් ලියවිලා තියෙන්නේ.

ප්‍ර: ඔබේ වැඩකටයුතුවලට වසංගතය අනුබලයක් වුනාද?

පි: යතාර්ථය පිළිබඳ අපේ නව අර්ථකතන රළපහරකට, හිම කුණාටුවකට හරවන්න වසංගතයට පුළුවන්. කලාව විතරක් නෙමෙයි, දර්ශනය, ඉතිහාසය මේ හැමදේම. ඒත් මං ගැන කියනවනම්, යමක් දකින්න මට කාලයයි, යම් දුරස්ථ බවකුයි ඕන.
චිලීවල 1973 දී සිද්ධ වුන හමුදා කුමන්ත්‍රණය ඉවර වුණ ගමන්න මට මායාවාස ලියන්න තිබුණා. ඒත් ඒක ලියන්න මට අවුරුදු අටක් ගතවුණා. මොකද සිද්ධ වුණ දේ පිළිවෙලට සකස් කරන්න මට කාලය අවශ්‍යයි. දැන් සිද්ධවෙන දේ ගැනත් මම ඒ විදියටම තමයි ක්‍රියාකරන්න හිතන් ඉන්නේ.

ප්‍ර: ලොක්ඩවුන් කාලසීමාවේදි ඔබ යම් දෙයක් ඉගෙන ගත්තද?

පි.මේ භෞතික දේවල් අතාරින්න වසංගතය මට ඉගැන්නුවා. ඒ වගේම ජීවත් වෙන්න මට ඕන කරන්නේ කොච්චර පොඩි දේවල් ටිකක්ද කියලා තේරුම්ගන්න උදව් වුණා. හම්මෝ මේච්චර බඩු කන්දාරාවක් කියලා වටපිට බලද්දී පිඟන් දෙකකට වඩා දේවල් මට උවමනා වෙන්නේ මොන එහෙකටද කියලා හිතුනා.
ඒ වගේම මම කාලය ගතකරන්න කැමති, මගේ හොඳම යාළුවෝ කවුද කියලා මට සොයාගන්න අවශ්‍ය වුණා.

ප්‍ර: වසංගතය අපි හැමෝටම කියල දෙන පාඩම මොකක් කියලද ඔබ හිතන්නේ?

පි: අපි ප්‍රම්‍රඛතාවය දෙන්න ඕනදේවල් දිහා බලන්න ඒක අපිට උගන්වනවා. ඒ වගේම අපේ සැබෑ යථාර්ථය අපිට පෙන්නනවා. යතාර්ථය කියන්නේ අසමානාත්මතාව. ලොක්ඩවුන් කාලසීමාව සමහරු කැරීබියන් මුහුදේ යාත්‍රාවක ගෙවද්දී, තවත් පිරිසක් කුසගින්නේ ඉන්නවා.

අපි හැමෝම එක විශාල පවුලක් කියලා වසංගතය අපිට උගන්නනවා. වුහාන් වල හිටපු මනුස්ස ප්‍රාණීන්ට සිද්ධ වුණු දේමයි, මුළු ලෝකෙටම, අපි හැමෝටම සිද්ධ වෙන්නේ. මිනිස්සු වෙන්කරන්න පුළුවන් කිසිම ප්‍රාකාරයක් නැහැ.
නව සාමාන්‍යකරණය කොයි වගේ එකක් වෙයිද කියලා, නිර්මාණශීලි පුද්ගලයෝ, කලාකරුවෝ, විද්‍යාඥයෝ, තරුණ කණ්ඩායම්, වැඩිපුරම කාන්තාවන් මේ හැමෝම හිතනවා. කලින් තිබුණ සාමාන්‍ය ජීවිතයට යන්න ඒ කාටවත් අවශ්‍ය නැහැ. අපේ කාලයේ වැදගත්ම ප්‍රශ්නය මේක තමයි. වෙනස් ලෝකයක් ගැන සිහිනය. අපි ඒක අත්පත් කරගන්න ඕන.

ප්‍ර: ඒ වෙනස් නව ලෝකය කොයි විදියට වෙනස් වේවිද?

පි.පීතෘ මූලික සමාජයේ අවසානය වෙන්න පුළුවන්. ලෝකෙ පාලනය කරපු කෲර පිරිමි ඉවරයක් වේවි. ඒ කියන්නේ ගැහැනු හා පිරිමි එකතු වෙලා සමානව පාලනය කරන ලෝකයක් බවට මේක පත්වේවි.

ප්‍රඡණ්ඩත්වයටයි, තණ්හාවටයි නෙමෙයි ලෝකය පාලනය කරන්න ඉඩදෙන්න ඕන එකමුතුකමටයි, කරුණාවටයි. බලාපොරොත්තුවටයි. අපට ඕන කරන ලෝකය මේකයි, පරිසරයටයි, අනෙක් ජීවීන්ටයි ගරුත්වයක් තියෙන ලෝකයක්.
අපි සුණු විසුණු කරලා දාපු ලෝකයක් තමයි තරුණ පරම්පරාව උරුම කරගන්න යන්නේ. මේ ලෝකේ බේරගන්න පුළුවන්නම් ඒගොල්ලෝ තමයි ඒක කරන්නම ඕන. ඒ අය ගාව සාධනීය පිළියමක් ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා.

ප්‍ර: ඇමරිකාවේ මෑතකදි ඇතිවුණ උද්ඝෝෂණ රැල්ල ගැන ඔබ මොකද හිතන්නේ?

පි.විරෝධතාවයන් ඇතිවෙන්නේ වාර්ගික යුක්තිය උදෙසා. ඒ වගේම ඒක දුප්පත්කමටත් කෙලින්ම සම්බන්ධයි.
මේ රටේ ඉන්න දුප්පත්ම ජනතාව කවුද? නරකම සෞඛ්‍ය පහසුකම්, අඩු රැකියා අවස්ථා තියෙන, පොලීසියේ කෲර වධහිංසාවලින් පීඩාවට ලක්වෙන, නිතරම සිරගත වෙන අය කවුද? අප්‍රිකානු-ඇමරිකානුවෝ.
මං හිතන්නේ මේ විරෝධතාවයේ පිපිරීයාමෙන් හැම දෙයක්ම වෙන්න පටන් ගනීවි. දැනටත් දැවැන්ත ගෝලීය ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ අර්බුධය රැකියා විරහිතබව, දුප්පත්කම, හා ප්‍රචණ්ඩත්වය වර්ධනය කරාවි.
තව තවත් විරෝධතා, අති දැවැන්ත විරෝධතා හටගනීවි.

කඳුළු ගෑස් හෝ වෙඩි උණ්ඩ මඟින් මේ ගැටලු විසඳන්න බැරිවේවි. හේතූ මූලය සමඟ පොරබැදීමෙන් විතරයි මේ ගැටලු විසඳන්න පුළුවන් වෙන්නේ. මේවා වහල් යුගය දක්වාම මුල් බැසගත් ගැටලු.

– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

seventeen − 2 =