රට වහනවද? යටගම්පිටි යනවාද? “අපට මාසේ පඩි පතට වංචාකාරයන් වීමට ඇවැසි නැත”

රට වැහුවම ආර්ථිකයට කෙලවෙනවා. ආර්ථිකය බේර ගන්න රට ඇරියම මිනිස්සු යටගම්පිටි යනවා. මේ වර්තමානයේ වාද පිටියයි. ඒ අතර දේශපාලකයන් කියා සිටින්නේ රට වහනවා නම් ජනතාව විශේෂයෙන්ම රජයේ සේවකයන් කැප කිරීම් සඳහා සූදානම් වියයුතුය කියාය. ඒ අතර දේශපාලකයන්ගෙන් සමහරු මේ වනවිට සිය පඩිපත කෝවිඩ් අරමුදලකට දිය නොහැකිවීමට හේතු ලෙස ණය පොත් දිගහරිති. ඔවුන් කියනා ආකාරයට තමන්ගේ වැටුප සියයට සියයක්ම ණයට කැපෙයි. එහෙත් අපි දන්නා ඇත්ත නම් ණය දීමේදී යමකුගේ වැටුපෙන් අවම වශයෙන් සියයට හතලිහක් ඉතුරු වන සේ ණය දෙනු ලබනා බවයි. එයට අප කියන්නේ සියයට හතලිහේ සීමාව කියාය. ඉදින් එයත් ඉක්මවා මේ දේශපාලකයන්ට ණය දී තිබේ නම් එසේ දුන් බැංකු වල අදාල නිලධාරීන් හට දඬුවම් කළ යුතුය. මන්ද යත් එසේ කිරීමෙන් දේශපාලකයාගේ අවම ජීවන මට්ටමද අහිමි කර ඇති හෙයිනි. එය මානව හිමිකම් උල්ලංඝණයකි.

එහෙත් මේ ලිවීමේ අරමුණ ඒ ගැන කතා කිරීම නොවේ. ලොක්ඩවුන් කිරීමත් සමග රජයේ සේවකයා ගෙදර සිට පඩි කනවාය එහෙයින් ඔහුගේ පඩිය අරමුදලට ගත යුතුය යනුවෙන් කෙරෙනා ගෝසාව ගැන යමක් කීමටය. පසුගිය කාලය පුරාම කෝවිඩ් හේතුවෙන් රජයේ කාර්යාල වලට සේවකයන් කැඳවීම සීමිත වූ බව රහසක් නොවේ. එහෙත් බොහෝ කාර්යාල වල මාර්ගගත ක්‍රමයට වැඩ අරඹනු ලැබිණි. එසේම කැඳවනු ලබනා දිනවල පයිල් මිටි පිටින් ගෙවල ගෙනගොස් වැඩ කළ රජයේ සේවක සේවිකාවෝද සිටිති. එසේම සමහරු දුර සිට එන අයට නිවෙස්හී සිටින්නට ඉඩ දී තමන් ස්වේච්ඡවෙන් සේවයට ආ බවද ඇත්තය. ඒ දුර අයට නගරයේ බෝඩිම් පහසුකම්වල පවත්නා ගැටළු හේතුවෙනි. මේ සියල්ල අතරේ මග හැරීමේ කලාව ප්‍රගුණ කළ අයද සිටින බව බොරුවක් නොවේ.

රජයේ කාර්යාලවල ලැප් ටොප් එකක් යනු අධි සුඛෝපභෝගී භාණ්ඩයක් 

එහෙත් මෙහි ඇති ගැටළුව අනෙකකි. පුරා වසර එකහමාරකට වැඩි කාලයක් කෝවිඩ් කරුමය කරතබාගෙන ගියද අපට තවමත් කාර්යාල මාර්ගගත ක්‍රමයට උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිලිවෙලක් නැත. රජයේ මෙන්ම පුද්ගලික අංශයෙහිද මාර්ගගත ක්‍රමයට වැඩ කළ හැකි රාජකාරි තිබෙන අතර ඒවා සඳහා උපරිම බරක් තවමත් යෙදෙන්නෙ නැත. ඊට එක් හේතුවක් වනුයේ සේවකයා කාර්යාලයෙහි සිටිය යුතුය යන ආකල්පයයි. එසේම කාර්යාලයන්හී මෙසේ මාර්ගගත ක්‍රමයට  වැඩ පවත්වා ගැනීම සම්බන්ධව ආණ්ඩුවටද වැඩ පිලිවෙලක් ඇති බවක් පෙනෙන්නේ නැත. එහෙයින් දැන්වත් අප ඒ ගැන උනන්දු විය යුක්තනය. එවිට උපරිම සේවා සංඛ්‍යාවක්  මාර්ගගත ක්‍රමයට පවත්වා ගනිමින් අනෙක් අය සේවයට කැඳවිය හැකිය. එමගින් අවදානමද අඩුකරගත හැකිය. තවමත් රජයේ කාර්යාලවල ලැප් ටොප් එකක් යනු අධි සුඛෝපභෝගී භාණ්ඩයකි. ආණ්ඩුව අවධානය යොමු කළ යුතු කරුණු මේවාය.

එසේම මාර්ගගත ක්රීමයට වැඩකිරීමේදී දැන් මතුව තිබෙනා බරපතල ගැටළුවක් ගැන ඊට මැදිව සිටින කෙනෙක් වශයෙන් තවත් යමක් සඳහන් කළ යුතුය.

ඒ අන් කිසිවක් නොව ‘සිග්නල් මන්දපෝෂණයයි”. මා දැන් සති ගණනාවක සිට සෙල්ලමට වගේ කරනුයේ කොම්පියුටර් තිරයේ දිස්වන කැරකෙන කවය දෙස බලා සිටීමයි. මෙලෙස සිග්නල් මන්දපෝෂණයට හේතුව ලෙස කියනුයේ සිග්නල් කනුවලට දරාගත නොහැකි තරම් සම්බන්ධතා තිබීම යයි කියනු ලැබේ. එසේ නම් විය යුත්තේ ඒවායේ ධාරිතාව වැඩි කිරීමයි. එහෙත් ඒ සඳහා අවශ්‍ය ආම්පන්න ගෙන ඒමට ණයවර ලිපි විවෘත කිරීමට අදාල ආයතන වලට වර්තමාන ආනයන සීමා යටතේ නොහැකි ය යන කියමන අසන්නට ලැබේ. මේ තර්ක විතර්ක වැඩ කරන හුදී ජනයා වන අපේ පාලනයෙන් බැහැරය. අපට කීමට ඇත්තේ අප වැඩ කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම බලධාරීන්ගේ වගකීම බවත්ය. ඉදින් ආණ්ඩුව කළ යුත්තේ පඩි කපන්නට වෙනවා කීම හෝ කැප කරන්නට වෙනවා කීම නොව තාක්ෂණයේ පිහිටෙන් රජයේ සේවකයාගෙන් උපරිම සේවය ලබාගැනීම මාර්ග විවෘත කිරීමය. එමගින් සේවක මෙන්ම බහුජන ආරක්ෂාවද සලසන ගමන් ආර්ථිකය දුවවන්නටද ඉඩ විවර කරගත හැකිය.

පොලිතින් කවරයක අවසන් ගමන් ගිය සමීපතමයින් 

ශ්‍රම බලකායෙන් වැඩ ගැනීමට නම් පාලකයන්ට මානවවාදී දැක්මක් කළමණාකරන කුසලතා සහ නිර්මාණශීලීබව තිබිය යුතුය. එහෙත් දේශපාලකයන්ගේ කතා සාප්පු දකින අපට නම් සිතෙනුයේ ඒ හීනය හුඟක් දුර බව පමණි. අපට මාසේ පඩි පතට වංචාකාරයන් වීමට ඇවැසි නැත. අපට ඇවැසි ආරක්ෂිතව සේවය කිරීමට පරිසරයක් සහ පහසුකම් පමණි. මන්ද යත් අපට අර දෙන්නට පඩියක් නැතැයි කියනා ගමන් මට නම් දේපල තියෙනවා යයි කියනා එස් බී හට මෙන් මහ බක්කක් නැති බැවිනි. එසේම පොලිතින් කවරයක බැස පී එච් අයිගේ සෙවණේ ආදාහනාගාරයට නොගොස් අඩුම ගනනේ අප මල දවසට දරුවන්ට අපේ මිනී කරගසාගෙන කනත්තට යන්නටවත් ඉඩ ඉතිරි කරන්නට ඇවැසි බැවිනි. එසේ දරුවන් හඬවමින් පොලිතින් කවරයක අවසන් ගමන් ගිය සමීපතමයන්ගේ කටුක අත්දැකීම අප හොඳටම විඳ ඇති බැවිනි. යළිත් කියමි. අප වැඩ කරන්නට සූදානම්ය. එසේම අප වැඩ කළ යුතුමය. එය රට වෙනුවෙන් අපේ වගකීමයි. විවාදයක් ඒ ගැන නැත. එහෙත් ඊට පෙර ඒ සඳහා අපට පරිසරය සැකසීම පාලකයන්ගේ වගකීම බවද අමතක නොකල යුතුය.

– චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

ten − ten =