ගුරුවරුන් 25 ක් මියගියැයි සිළුමිණ අසත්‍ය පුවතට ඇමතිට පැමිණිලි

ඊයේ එනම් පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ලිපියෙන් ගුරු සංගම් පෙන්වා දී ඇත්තේ ජාතික පුවත්පතක් වන සිළුමිණ පුවත්පතෙහි ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 25 ක් මරණයට පත්ව තවත් 400 ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවට මුල් පිටුවේ පුවතක් පලකර ඇති බවයි.

මේ අතර පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකළ බව පවසා පලකර ඇති මෙම පුවතේ මියගිය බවට සඳහන් කර ඇති ගුරුවරුන් 25 දෙනාගේ නම් හෝ සදහන් නොවන අතර සෞඛ්‍ය අංශ මගින් තහවුරු කළ යුතු කරුණක් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය උපුටා දක්වමින් වාර්තා කිරීම කුමන මාධ්‍ය සදාචාරයක්දැයි ගුරු වෘත්තීය සංගම් ප්‍රශ්න කරයි.

ගුරු සංගම් නියෝජිතයෙක් අප වෙත පැවසුවේ වගකීමකින් කටයුතු කළ යුතු රජයේ ජාතික පුවත්පතක් මෙලෙස වගකීමක් නොමැති සමාජ මාධ්‍යක් ලෙස කටයුතු කිරීම කනගාටුදායක බවයි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසදීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කරමින් සිටින අතරතුරදී ඔහුගේ යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනයක මෙවැනි පුවතක් පලකරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන බව එම ලිපියෙහි සඳහන්.

පදනමක් නොමැති මෙම පුවත මගින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිළිබදව වෛරී හැඟීමක් ජනතාව තුළ ඇතිකරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලිපිය මගින් ගුරු වෘත්තීය සංගම් ඉල්ලා සිටිනවා.

Leave A Reply

Your email address will not be published.

nine + 3 =