අහසින් වැටුණු තරුවක් – සකී අන්වාරිගේ කතාව

තලේබාන්වරු කාබුල් නුවරට පැමිණෙද්දී සකී අන්වාරිට තමාගේ අනාගතය ගැන බියක් ඇතිවුණා. ඉන් පසුව ඔහුට සිදුවූයේ කුමක්දැයි දැන් මුළු ලෝකයම දන්නවා. සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ ඔහුගේ පින්තූර දැක ජාති ආගම් බේදයකින් තොරව බොහෝ අය කම්පා වුණා.

මුල් දින කිහිපයේ ගුවන් තොටුපළට එකතු වූ ඇෆ්ගන් වැසියන් සියළු දෙනාම හිටියේ මංමුලා වෙලා. ඇමෙරිකානු හමුදා විසින් තමන්ව මුදවාගෙන රැගෙන යන බවට සහතිකයක් කිසිවෙකුට ලැබී තිබුණේ නැහැ. සියළු දෙනාටම උවමනා වුණේ රටින් පිටව යන ගුවන්යානා වලට තම ඉරණම භාරකිරීම පමණයි. තලේබාන්වරු කාබුල්හි බලය අත්පත් කරගත් මුල් දිනයේ හමීඩ් කර්සායි ගුවන් තොටුපළෙන් පිටත්වන ගුවන්යානා වල එල්ලීමට දුවන මිනිසුන්ගේ රූපරාමු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විකාශනය වුණා.
මිනිස්සු සියගණනක් එකවර ටොන් 140ක් පමණ බර ඇමෙරිකානු හමුදා ගුවන්යානයට නැඟ ගැනීමට උත්සාහ කළා. යානයට ගුවන් ගත වීමට ඉඩ ලබාදීම සඳහා ධාවන පථයේ සිටි ජනතාව විසිරුවා හැරීමට අවශ්‍ය වුණා. ඒ සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් පහත් කර ඉදිරියෙන් ධාවනය කරන්නට බලධාරීන්ට සිදුවුණා.
දාහත් හැවිරිදි සකී අන්වාරි රගර් බෝලය රැගෙන ඉදිරියට දුවන ක්‍රීඩකයෙකු මෙන් ගුවන් යානය අසළ පොදිකමින් හිටපු පිරිසගෙන් මිදී ඉදිරියට දුවන්නට වුණා. ඔහු හැඳ සිටියේ කොළ පාට ටියුනික් කබායක්. ගුවන් යානයේ රෝද යට පැත්තේ බඳට සවිවන්නේ Landing gear නම් ආම්පන්නයකින්. මෙය යානය ගුවන් ගත වුණාට පසුව හකුලා ගන්නවා. අන්වාරි වේගයෙන් දුවගෙන ගොස් මේ Landing gear එකට ගොඩවුණා. යානය ටිකින් ටික වේගය වැඩි කළා. එය පැයට සැතපුම් 120 වේගයට ළඟා වෙද්දී ඔහු තදින්ම Landing gear එක බදා ගත්තා.
සකී අන්වාරි ඇෆ්ගනිස්තානු යොවුන් පාපන්දු කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. කාබුල් නුවර තලේබාන් පාලනය ස්ථාපිත වූ පළමු දවසේ උදෑසනම අන්වාරි තමන්ගේ වැඩිමල් සහෝදරයා වූ සකීර්ට කතා කළා. කාබුල් නුවරින් පලා යන්නට බැරි වුණොත් තමන්ට නැවත පාපන්දු ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව ඔහු තම අයියාට පවසා සිටියා.

“යන්න එපා මල්ලි. ආපහු ගෙදර යනවා. තමුසෙ දක්ෂයි.” සහෝදරයා පෙරැත්ත කළා.
“ඒත් මට උත්සාහ කරන්න වෙනවා” අන්වාරි පිළිතුරු දුන්නා.

ඉන් පසුව සිදු වූ දේ කෝටි ගණනක් මිනිස්සු දැක්කා. 2001 සැප්තැම්බර් 11 සිද්ධිය හේතුවෙන් ඇති වූ දශක දෙකක ඇෆ්ගනිස්තාන යුද්ධයෙන් පසුව ඇමෙරිකානු හමුදාවේ ඉවත් වීම ආන්දෝලනාත්මකයි. ඒ පිළිබඳව කදිමට නිර්වචනය කරන චිත්‍රයක් තමයි එදා එහෙම කාබුල් අහසේ සිත්තම් වුණේ. C-17 හමුදා ගුවන් යානය කාබුල් නගරයට උඩින් අහස සිප ගනිද්දී අන්වාරි තිතක් වගේ පහළට ඇද ගෙන වැටී පොළොව සිප ගත්තා.

පන්දුව බොහෝ වේලාවක් තමන් සතුව තබා ගැනීමට අන්වාරි දැක්වූ සුවිශේෂ දක්ෂතාවය නිසා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ඔහුව හැඳින්වූයේ “Shield” ( පලිහ) යනුවෙන්. ඒත් තමන්ගේ ජීවිතය එසේ බොහෝ වේලාවක් රඳවා ගැනීමට අන්වාරිට නොහැකි වුණා.

අන්වාරි බිමට වැටෙන මොහොතේම තවත් අයෙකුද බිමට පතිත වුණා. මේ දෙදෙනාට අමතරව තවත් අයෙක් Landing gear එක උඩුගුවනේදී ආපසු හකුලා ගන්නා විට කුඩු පට්ටම් වී ඇති වාර්තාවෙනවා.
ගුවන් යානය අසළ තිබූ මහා ගාලගෝට්ටියෙන් බේරීමට ගුවන් නියමුවා යානය ගුවන් ගත කිරීමට හදිසි තීරණයක් ගත්තා. එය ධාවන පථය දිගේ ඇදෙද්දී වැඩිහිටි තරුණයන් බොහෝ දෙනෙකු අන්තිම තත්පරයේදී බිමට පැන ගන්නවා. එදා එසේ උත්සාහය ඇතහැරි සියළුම දෙනා පසුව ගුවන් යානා වලින් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට වාසනාව උදාකර ගත්තා.

අන්වාරි ඇතුළු මේ තරුණයන් බොහෝ දෙනා මීට අවුරුදු 20කට පෙර තිබූ තලේබාන් පාලනය ගැන අත්දැකීම් තිබූ අය නොවෙයි. අහසට නැගෙන ගුවන්යානයක රෝදයක හෝ එල්ලී රටින් පිටව යන්න සිතන පරම්පරාවක් බිහිවන තැනට වැඩකටයුතු කළ නායකයන් ඉන්න රටකට අනාගතයක් තිබේද?

ඇෆ්ගනිස්ථානය මිලියන 38 ක ජනතාවගෙන් වැඩි දෙනෙකුට මුල් තලේබාන් පාලනයේ අත්දැකීම් නැහැ.වැඩි දෙනෙකු උපත ලබා තිබෙන්නේ ඊට පසුවයි. අන්වාරි වගේම ඔහුගේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් දන්නා කාලයේ ඉඳන්ම හැදී වැඩුණේ කාබුල් නගරයේ.

තලේබාන් සංවිධානය විසින් පාපන්දු ක්‍රීඩාව පිළිකුල් කළා. නමුත් ඇෆ්ගනිස්ථානය නැවත ලෝකය තුළට එකතු වීමේ සංකේතයක් වුණේ පාපන්දුව. කාබුල්, කුන්ඩුස් සහ කන්දහාර් වැනි නගරවල පාසල් ළමුන් බාසිලෝනා, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ චෙල්සි වැනි ක්‍රීඩා සමාජ වල රසිකයන් වී හිටියා.

සකී අන්වාරිට ජාතික පාපන්දු කණ්ඩායමේ ස්ථානයක් පවා වෙන් වී තිබුණා. ඊට දශක දෙකකට පෙර පැවති පළමු තලේබාන් යුගයේදී ප්‍රසිද්ධියේ මරණ දඬුවම් පැනවූ නාගරික ක්‍රීඩාංගනයක සකීලා සෑම සැන්ඳෑවකම රෑ බෝවන තෙක්ම සෙල්ලම් කළා. මේ භූමියේදී මිනිසුන්ගේ හිස ගසා දැමූ බව, ගල් ගසා හෝ වෙඩි තබා මරා දැමූ බව, සොරුන්ගේ අත් පා කපා ගෝල් කණු වල එල්ලා තිබුණු බව නගරවාසීන්ට අමතක වෙලා ගියේ අන්වාරිලාගේ සිනා හඬවල් නිසයි.

තලේබාන්වරු ආපසු කාබුල්හි බලය අල්ලා ගත් පසු බොහෝ පාපන්දු ක්‍රීඩකයන්ගේ උත්සාහය වී තිබුණේ කෙසේ හෝ පලා යෑමයි. විශේෂයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සියළු දෙනා යම් තැතිගැන්මකින් සිටියේ තලේබාන්ලාට පාපන්දු යනු නයාට අඳුකොළ වගේ නිසයි. පලා යෑමට උත්සාහ කළ පාපන්දු ක්‍රීඩකයන්ට මාර්ග බාධක වලදී පහර දීම් වාර්තා වීමත් සමඟ බොහෝ ක්‍රීඩකයන් කළබල වුණා. තවත් සමහර ක්‍රීඩකයන්ගේ නිවෙස් වලටම තර්ජණ පැමිණ තිබුණා.

සකී අන්වාරි කෙසේ හෝ පලායන්නෙමි යි අදිටන් කරගෙන සිටි බව පෙනී යනවා. ඔහු ඒ බව තම මිතුරන්ටත් පවසා තිබුණා.

ඔහු උපන්නේ පැරණි තලේබාන් පාලනය පෙරළා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් ස්ථාපිත කර වසර දෙදකටත් පසුව. ඒ වන විට කාබුල් නගරය වඩාත් නිදහස් හා ලිබරල් සමාජයකට පරිවර්තනය වෙමින් තිබුණා. අන්වාරිගේ පියා කාබුල් හි ව්‍යාපාරිකයෙක්. ඒ නිසාම කාබුල් නගරයේ ප්‍රභූන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ප්‍රංශ උසස් පාසලට ඇතුළු වීමට ඔහුට හැකිවුණා. මේ පාසලට අනුබද්ධ විශ්ව විද්‍යාලයකුත් ජනාධිපති මන්දිරය ආසන්නයේ ඉදිවෙමින් තිබුණා. අන්වාරි පාසල් පාපන්දු කණ්ඩායමේ නායකත්වය දැරුවා. 2015 වන විට කාබුල්හි ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කිරීමටත් ඔහුට හැකි වූ අතර ඒ හැම විටම අංක 10 ජර්සියේ හිමිකරුවා වීමට ඔහුට හැකි වුණා. දියාගෝ මැරඩෝනා, පෙලේ හෝ ලයනල් මෙසී මෙන් ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමේද අංක 10 ජර්සිය හිමිකර ගැනීම තමයි ඔහුගේ සිහිනය වී තිබුණේ. අන්වාරිගේ පරමාදර්ශී ක්‍රීඩකයා තමයි ලයනල් මෙසී. ඔහු නිතරම යූටියුබ් ඔස්සේ මෙසීගේ වීඩියෝ අධ්‍යයනය කරමින් සිටි බව මිතුරන් පවසනවා.

තලේබාන් සංවිධානය තමන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාවට කළ දේ ගැන බිය උපදවන කතන්දර අන්වාරිලාට අසන්නට ලැබුණා. 2017 වන විට යුද්ධය වැඩි වැඩියෙන් ඔවුන්ගේ ලෝකයට ඇතුළු වෙමින් තිබුණා. ඒ වසරේ ගිම්හානයේදී මරාගෙන මැරෙන තලේබාන් බෝම්බකරුවෙකු පාසල අසල මංසන්ධියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. අන්වාරිට එදා පන්තියේ මිතුරන් සමඟ බියෙන් පලා යාමට සිදු වුණා.
“ඊට පස්සේ සතියක්ම පාසල වසා තිබුණා. සකී එදා ගොඩක් බය වුණා.” අන්වාරිගේ මිතුරෙකු වූ අබ්දුල්ලා පවසනවා.

“2018 අවුරුද්දේ දවසක සකී එයාගෙ බෑග් එකේ දාගෙන ආපු දේ නිසා අපි පුදුම වුණා. ඇෆ්ගනිස්ථාන National Youth Team එකේ අලුත්ම රතු ජර්සිය එයාට ලැබිල තිබුණා. එදා ඒක සමරන්න සකී අපි ඔක්කෝටම බර්ගර් අරන් දුන්නා.”

අන්වාරි තමන්ගේ ජර්සියෙන් සැරසී ඡායාරූප අරන් මුහුණුපොතේ පළකළේ දැඩි අධිෂ්ඨානයකින්. “ඔබේ ජීවිත චිත්‍රයක් නම් එහි චිත්‍ර ශිල්පියා ඔබමයි. කිසිදවසක වෙනත් කිසිවකුට ඔබේ පින්සල දෙන්න එපා” අන්වාරි තමන්ගේ ඡායාරූපයට පහළින් එහෙම ලියල තිබුණා.

අගෝස්තු මාසය වන විට ගම් නියම් ගම් හරහා තලේබාන්වරු ඉදිරියට ආවා. අන්වාරි දැඩි මානසික ආතතියකට පත්ව හිටියා. කැරළිකරුවන් නිසා තමන්ගේ පාපන්දු සිහිනය බොඳ වෙන බව ඔහු තම සහෝදරයා වූ සකීර්ට නිතරම පැවසුවා. “මල්ලි ගොඩක් පොඩියි. එයා කවදාවත් තලේබාන්ලා දැකල තිබුණෙ නෑ. ඔහු හරිම බයෙන් හිටියේ” සකීර් කියන්නේ එහෙමයි.

සකී අන්වාරි තම වැඩිමහල් සහෝදරයා වූ සකීර් අන්වාරි සමග

අගෝස්තු මාසයේ දිනක සැන්ඳෑවේ තලේබාන්වරු කාබුල් නගරයේ දොරකඩටම පැමිණ සිටියා. එදා රාත්‍රියේ අන්වාරි පාපන්දු කණ්ඩායමේ තම මිතරකු වූ ෆ්‍රෝටන්ට දුරකථනයෙන් කතා කර “අපි දැන් ෆුට්බෝල් ගහන්නේ කොහොමද?” යනුවෙන් ඇසුවා. රාත්‍රිය පහන් වූ පසු අන්වාරි පවුලේ කාර් රථය පිරිසිදු කිරීමට යන බව සහෝදරයාට පවසමින් නිවසින් නික්ම ගියා. හරියටම උදේ 10.57 ට සහෝදරයාට අන්වාරිගේ ඇමතුමක් ලැබුණා. එන්ජින් වල ඝෝෂාවකුත් මිනිසුන් කෑකෝගසන හඬත් නිසා සකීර්ට ඒ ඇමතුම පැහැදිලිව ඇසුණේ නැහැ.

“අයියේ මම දැන් ඉන්නේ එයාර් පෝට් එකේ” අන්වාරි කළබලෙන් පැවසුවා.
“තමුසෙට වීසා එකක්වත් ටිකට් එකක්වත් නැහැනේ. පණ්ඩිතකම් නැතිව වහාම ගෙදර එනවා, ”සකීර් බැන වැදුණා.
“මම දැන් ඉන්නේ ප්ලේන් එක ගාවමයි,” අන්වාරි පැවසුවා. ” මේ වෙලාවෙ දෙවියන් වහන්සේව විශ්වාස කරන එක විතරයි තියෙන්නේ.”

මේ අතර ඊට මඳක් ඈතින් වූ ගුවන් තොටුපළේ හමුදා ප්‍රදේශයට C-17 මිලිටරි යානයක් ගොඩබැස්සා. ඊට කළින් දවසේ එවැනිම වෙනත් මිලිටරි ගුවන් යානයකට බලහත්කාරයෙන් රිංගා ගත් ඇෆ්ගන් ජාතිකයන් 827 ‍දෙනෙකු රැගෙන එකී ගුවන් යානය කටාර් වෙත පිටත්ව ගොස් තිබුණා. ඒ නිසා කෙසේ හෝ ගුවන්යානයක් ඇතුළට රිංගා ගැනීම ගුවන්තොටුපළේ රැස්කමින් හිටපු ජනතාවගේ එකම බලාපොරොත්තුව වී තිබුණා. මේ සෙනඟ අතර සකී අන්වාරිත් දිළිසෙන දෑසින් බලාගෙන හිටියා.

ගුවන්යානය අවට කළබල කරන මහා ජනකාය දුටු ගුවන් නියමුවාද කළබල වුණා. කාගෝ ගුවන්යානයක නියමුවා විදියට ඔහු ගුවන්යානයේ කාර්ය මණ්ඩලය හා උපකරණ පිළිබඳව වගකිව යුතුයි. ඔහු ක්ෂණික තීරණයක් ගත්තා. එය ඒ මොහොතේ හොඳම විකල්පයක් වුණත් නරකම තීරණයක්. ගුවන්යානයේ ඇන්ජිම ක්‍රියාත්මක වුණා. එය ධාවන පථය දිගේ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වුණා. තම වේගය වැඩි කළ ගුවන්යානය ඉමක් කොනක් නොපෙනෙන ඈත අහසට නැඟී වළාකුළු අතර සැඟව ගියා.
තවත් හෝරා දෙකකට පසු අන්වාරිගේ සොහොයුරා වන සකීර්ගේ දුරකථනය නාදවුණා.
“ඔබ සකී අන්වාරිව දන්නවාද?” යමෙකු ඔහුගෙන් විමසා සිටියා.
“ඔව්. ඒ මගේ මල්ලි” සකීර් විමසිලිමත් වුණා.
“කොල්ල ගැන අපට කණගාටුයි.” දුරකථනය විසන්ධි වුණා.

මේ තරුණයාගේ මරණය ලොව පුරා සංවේදී ජනතාවගේ හදවත් බර කළා. ඔහු ජීවත් වුණානම් ඇෆ්ගනිස්තානයේ පාපන්දු තරුවක් වන බවට සැකයක් නැහැ. ඇත්තටම සකී අන්වර් යනු පායන්නටත් පෙර කඩා වැටුණු තරුවක්. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු පෙන්ටගනය වඩාත් නම්‍යශීලී වුණා. තලේබාන් සංවිධානය පවා අඩියක් පසුපසට ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. ඉන් පසුව ගුවන්තොටුපළේ රැඳී සිටි ලක්ෂ ගණනාවකට අරගලයකින් තොරව හා නිරුපද්‍රිතව ගුවන්යානා වලට ගොඩවීමට හැකියාව ලැබුණා.
සකී අන්වාරිගේ ඇද වැටීමෙන් කම්පා වූ කාබුල්හි වෙසෙන කිවිඳියක වන ෂෆිකා ඛපල්වාක් මෙහෙම ලියනවා.
මේ වැටෙන්නේ කාබල් පුරය පමණක් නොවේ. වඩා යහපත් රටක් පැතූ ඒ වෙනුනේ වැඩ කළ නව පරම්පරාවක්. සකී අන්වර් ලෝකය විශ්වාස කළා. දීප්තිමත් අනාගතයක සුබ සිහින දුටුවා.

Wall Street Journal හි පළ වූ ලිපියක් ඇසුරෙනි.

– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

fourteen + 2 =