කන්තලේ වැව විනාශ කළා මතකද?

කන්තලේ වැව ඉදිකරවන ලද්දේ දෙවන අග්බෝ රජු (ක්‍රි.ව.604 – 614 ) විසිනි. වැව් බැම්ම මීටර් 2514 ක් වූ අතර බැම්මේ උස මීටර් 16 කි. ජලාශය අක්කර 15200 කි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ එය යළි ප්‍රතිසංස්කරණය කරනු ලැබූ නමුත් අදටත් පවතිනුයේ පැරණි කන්තලේ වැවමය.
1986 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව කන්තලේ නගරයට කන්තලේ වැවෙන් පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ජල සම්පාදන මණ්ඩලය විසින් එහි ඉදිකිරීම් කටයුතු විදේශීය සමාගමකට පවරන ලදී.

එවකට සිටි දේශීය ඉංජිනේරු වන්ට හෝ විදෙස් සමාගමේ ඉංජිනේරු වන්ට පුරාණ වාරි සම්ප්‍රදාය ගැන අවබෝධයක් තිබුණේ නැත. ඔව්හු වැව් බැම්ම මත ජල පොම්පාගාරයක් ඉදිකිරීමේ හිතුවක්කාර තීරණයක් ගත්හ.
ගණ අඩි ලක්ෂ ගණනක ජලකදෙහි බර දරා සිටින වැව් බැම්ම අඩිය අගලට තලා සවිමත් කොට රකිනුයේ බැම්ම වැවේ හදවත නිසාය. හය හතර තේරෙන කිසිවකු වැවක බැම්ම ට රිදවන්න හිතන්නේ නැත.
පොම්පාගාරය හැදීමේ වැඩ ආරම්භ විය. කන්තලේ වැවේ බැම්ම මැද මාර්ගය අයිනේ අධික කම්පන තෙරපුමක් යොදවමින් යකඩ ෆයිල් බස්සවන ලදී.

සිදු වියහැකි බිහිසුණු විනාශය වැටහුණු ගැමියෙකු හිසේ අත් ගසා ගන්නට ඇත. ඒත් ඔහුට කන්දෙන්නේ කව්ද.
දිනය 1986 අප්‍රේල් මස 20 වනදා. වේලාව අලුයම 2.00 වන්නට ඇත. පහත ගම්මානවල ගැමියෝ අවදි වූයේ ඉතා පහතින් පොළොව මට්ටමේ ගමන් කරන ගුවන් යානාවක හඩ බදු විශාල ශබ්දයකිනි. නමුත් ඔවුන්ට කිසිවක් සිතන්නටවත් ඉඩ නොලැබිණි. වියරුවූ මහා ජලකදක් ගම්බිම් ගේදොර උගුළුවා දමමින් අන්ධකාරයේ ඇදී ගියේය.
ගෙවල් 1600 ක් තිබූ තැන් සොයා ගත නොහැකි වූ අතර මළවුන්ගේ ගණන 126 කි. පොම්පාගාරය සදහා තුවාලකල තැනින් වැව් බැම්ම බිදී ජලකද ගලා ගොස් කන්තලේ වැව සිදී තිබුණි.
ඇස් ඉදිරිපිට වැවට කළ විනාශයේ සහ දැන දැනම මරු වසඟයට යැවූ මිනිස් ජීවිත වල වගකීම බාර ගන්නට කිසිම වගකිවයුත්තෙකු ඉදිරිපත් වූයේ නැත.

කන්තලේ වැව් බැම්ම පුපුරුවන ලද්දේ කොටි සංවිධානය විසිනැයි රජයේ මාධ්‍ය ලෝකයට කීවේය. පුපුරණ ද්‍රව්‍ය තැවරුණු පත්තර පිටුවක් බැම්ම උඩ තිබී හමුවූ බව පොලීසිය කීවේය.
ත්‍රස්තවාදී න් ඉන්දියාවේ සිට වැව් බැම්ම පිපිරවීමේ වගකීම බාරගෙන ඇති බවටද අසත්‍ය ප්‍රචාර ගෙන ගියේය. ආණ්ඩුව තමන් සිදුකල අපරාධය එල්ටීටීඊ ගිණුමට බැර කොට අත පිසදා ගත්තේය.
පරාක්‍රම සමුද්‍රයට මේ ආණ්ඩුව කරන්න හදන්නේත් එවැනිම විනාශ යකි. වැව් බැම්ම බැකෝ යන්ත්‍ර මගින්
හාරා තුවාල කරන්නේ මොන ඉංජිනේරුවාගේ උපදෙස් උඩ දැයි අපි නොදනිමු. පලුදු කල තැනින් ජලය කාන්දුවී අවසානයේ බැම්ම බිදී යන බව එහි ගමන් කරන පාසැල් දරුවෝ ද දනිති.

මහා විපතක් සිදු වුව හොත් එය නිසැක ලෙසම පොළොන්නරුවේ ගොවි ජනයාට ම බැර කරනු ඇත. ඒ නිසා ඇවිදින මංතීරු වැව් බැම්ම මත හදන මාරක යෝජනාවට විරුද්ධව මුළු රටම නැගී සිටිය යුතුය. සංවර්ධනය මුවාවෙන් කරන සෑම ව්‍යාපෘතියක්ම පාලකයින් මහජන මුදල් කොල්ල කෑම් සදහා කරන තවත් උප්පරවැට්ටියක් පමණි.
ජාතිය සතු මහරු නිධානයක් වූ පරාක්‍රම සමුද්‍රය වියලි ගම් බිම් වලට සිසිල සදමින් චිරාත් කාලයක් පැවතිය යුතුය.
– උදේනි සමන් කුමාර (fb)

මහ පැරකුම්බා නිරිඳුන් ලියු කවිය …

අහසින් වැටෙන දියබිඳු අපතේ.. නොයනු
සිරිලක පුරා වැව් බැඳ දියවර……….රකිනු
පැරකුම් සයුර බිඳිඋන් අල්ලා….ගෙනෙනු
වැව ඉදිරියේ ඒ පරයින් උල………….තබනු

– පාලිත සේනාරත්න

Leave A Reply

Your email address will not be published.

11 − four =