“ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඉහළින් තියෙන කිසිම අධිකාරියක්, වටිනාකමක් මම අඳුනන්නේ නැහැ”

- නොබෙල් සම්මානිත කෙන්ෂබුරෝ ඔයී

ජපන් සාහිත්‍යය ගැන සඳහන් කරන විට ලංකාව තුළ ප්‍රකට ජපන් කතුවරයන් කිහිප දෙනෙකු සිටිති. ඒ අතරින් හරුකි මුරකමි, යසුනරි කවබත, නට්සුමේ සොසෙකි, රියොනුසුකේ අකුතගාවා යන නාමයන් ඉහළින් සටහන් වෙයි. එහෙත් නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් ජපන් ලේඛකයන් සිටින්නේ දෙදෙනෙක් පමණි. (ඉෂුගුරෝ ජපානයේ උපත ලැබුවද ඔහු සැලකෙන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස ය.) එනම්, යසුනරි කවබත සහ කෙන්ෂබුරෝ ඔයී යන දෙදෙනා ය. මේ අතුරින් යසුනරි කවබත ගේ කෘති කිහිපයක්ම සිංහල බසට පෙරළී ඇත. එහෙත් ඔයී ගේ එකදු කෘතියක් හෝ සිංහල බසට පරිවර්තනය වී නැත. මෙම හේතුව නිසාම සිංහල පාඨකයන්ට ඔහුගේ සාහිත්‍යය දුරස්ථය.
ඔයී ට නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාදෙන විට එම කමිටුව විසින් ඔහුගේ සාහිත්‍ය මෙලෙස,
“ජීවිතය හා මිථ්‍යාව ඝනීභවනය වී වර්ථමානයේ අවාසනාවන්ත මනුෂ්‍ය තත්වය පිළිබඳ විස්මිත චිත්‍රයක් නිර්මාණය කරන පරිකල්පන ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන්” යන එක් වාක්‍යයකට ගොනු කර තිබිණි.

ඔයී උපත ලබන්නේ 1935 ජනවාරි 31 වෙනිදා ඔසේ නම් ඉතා පිටිසර කඳුකර ගම්මානයක වන අතර අද වන විට ඔහු උපත ලැබූ ගම්මානය පවා සිතියමෙන් මැකි ගොස් ය. එයට හේතුව වන්නේ එය උචිකෝ නම් ඊට ආසන්න නගරයකට යාකිරීම හේතුවෙනි. ඔයී ට කලාව සහ කථන අධ්‍යාපනය ලබාදෙන්නේ ඔහුගේ මිත්තණිය විසිනි. ඔහුගේ මිත්තණිය 1944 දී මිය ගියාය. ඔහුගේ පියා පැසිපික් යුද්ධයේදී මිය ගියේය. තම දිවියට බලපෑම් කළ කෘති දෙකක් ලෙස ඔයී සඳහන් කරන්නේ හකල්බරි ෆින්ගේ විස්මිත චාරිකා සහ නිල්ස්ගේ විස්මිත චාරිකා යන කෘති ද්විත්වයයි.

ඒ ගැන සඳහන් කරන ඔහු පවසන්නේ,”හකල්බරි ෆින් කියවන විට මට, රාත්‍රියේ කන්දේ පිහිටි වනයට ගොස්, නිවසක් ඇතුළත කිසිදාක ලබාගත නොහැකි ආරක්ෂිත හැඟීමක් සහිතව තුරු අතර නිදාගන්නා මගේ ක්‍රියාව සාධාරණීකරණය කරගැනීමට හැකියාව හිමිවෙනවා” කියාය.

සිය පාසල් අධ්‍යාපනයේදී හිරෝහිතෝ අධිරාජ්‍යයා ජීවත්වන දෙවියෙකු ලෙසට තම ගුරුවරුන් සඳහන් කළ බව ඔයී පවසයි. ඔහුගේ ගුරුවරයා නිතරම “අධිරාජ්‍යයා ඔබට සියදිවි නසාගන්නා ලෙස අණ කළොත් ඔබ කරන්නේ කුමක්ද?” යන පැනය විමසූ අතර, එයට “මම මැරෙනවා සර්. මම මගේ බඩ කපාගෙන මැරෙනවා” යැයි ඔයී හැමවිටම පිළිතුරු සපයයි. රාත්‍රී සයනයේදී මෙම පිළිතුර ගැන තමන් ලැජ්ජාවට පත්වූ බවත්, පසුකාලීනව සත්‍යය දැනගත් පසු තමන්ට ද්‍රෝහී වී ඇති බව ඔහු වටහා ගත්තේය. එම ද්‍රෝහීවීම පසුකාලීනව ඔහුගේ කෘති තුළින් පිටතට ආයේය.

වයස අවුරුදු 18 වන විට තෝකියෝවට පැමිණ ප්‍රංශ සාහිත්‍ය පිළිබඳව හදාරන ඔහුට මහාචාර්ය කසුවෝ වටනාබේ හමුවෙයි. 1957 දී ඔහු තම ප්‍රථම කෘතිය ප්‍රකාශයට පත් කරයි. 1960 දී ඔහු විවාහ දිවියට එළඹෙයි. ඔහුගේ බිරිඳ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ මන්සකු ඉටාමි ගේ දියණියයි. ඒ වසරේදී ඔහු චීනයේදී මාඕ සේතුං ව සහ පැරිසීයේදී ෂෝන් පෝල් සාත්‍රේ ව හමුවෙයි.
1961 දී ඔහු සඟරාවක ප්‍රකාශයට පත් කරන Seventeen and The Death of a Political Youth යන කෘතිය පජානයේ දක්ෂිණාංශ දේශපාලන බලාධිකාරයේ දැඩි කෝපයට ලක් විය. එම කෘතිය පාදක වන්නේ 1960 වසරේදී වයස 17ක් වූ යමගුචි ඔටොයා විසින් ජපාන සමාජවාදී පක්ෂයේ නායකයාව ඝාතනය කර සති තුනකට පසුව ඔහු ද සියදිවි නසාගැනීමේ සිදුවීම පිළිබඳව ය. යමගුචි උත්කර්ෂයට නැංවූ දක්ෂිණාංශික දේශපාලනය දිගින් දිගටම සඟරාවට සහ ඔයී ට තර්ජනය කළ අතර සඟරාව සිය පාඨකයන්ගෙන් සමාව ඉල්ලා සිටිය ද, ඔයී කිසිදිනෙක සමාව ඉල්ලුවේ නැත.

ඔයී ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ ඔහුගේ පුත්‍රයායි. හිස්කබලට යාවුණු මස් වැදැල්ලක් උපත ලැබීම නිසා මොළයට හානි සිදුවූ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ ඔහුගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගනී.

නිව්යෝකර් සඟරාවට Dream Pictures නමින් ලිපියක් ලියමින් ඔයී සිය වේදනාබරිත අත්දැකීම් වචන බවට හරවයි.
“හිස්කබලට බද්ධ වී තවත් හිසක තරම් ප්‍රමාණයේ ළා රතු මස් වැදැල්ලක් සහිතව මගේ පුත්‍රයා ඉපදුණු මොහොතේ, මගේ මව හෝ බිරිඳ යන දෙදෙනාගෙන් එක් අයෙකුටවත් සැබෑ තත්වය හෙළිකළ නොහැකි බව වටහාගත් විට, විශ්ව විද්‍යාලයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට දරුවා ඇතුළත් කොට මම දොම්නසින් යුතුව රවුම් ගැසුවෙමි. මාස දෙකහමාරකට පසුව, මගේ දරුවා බලාගන්නා – ඔහුගේ උපතෙන් දැඩි ලෙස කම්පනයට පත්ව ප්‍රකෘති තත්වයට පැමිණීමේ දුෂ්කරතාවයෙන් පෙළුණ මාව ද බලාගත් – දොස්තර එම්. ගෙන් සැත්කම සිදුකරන ලෙස මම ඉල්ලා සිටියෙමි. ”

ඔහුගේ පසුකාලීන ලේඛන කලාවට බලපෑ ප්‍රධානතම කාරණය බවට එතැන් සිට එය පත් විය. ඔහුගේ නවකතා කිහිපයකම ඔහුගේ පුත්‍රයා වූ හිකාරි ගේ චරිතය දකින්නට ලැබෙයි. 1964 දී ඔහු විසින් ලියන ලද A personal matter නම් කෘතිය පාදක වන්නේ මොළයට හානි වූ පුතෙකුගේ උපත භාරගන්නා පියෙකුගේ මානසිකත්වය විස්තර කිරීම සඳහා ය. මීට අමතරව ඔහුගේ Father, Where are you Going?, Teach Us to Outgrow Our Madness, and The Day He Himself Shall Wipe My Tears Away යන කෘති ත්‍රිත්වය සඳහා ද පාදක වන්නේ මෙකී කාරණාවම ය. 1994 දී නොබෙල් සම්මානය ඔහුට ප්‍රධානය කරන විට නොබෙල් කමිටුව මේ කාරණය සඳහා වැඩි අවධානයක් ලබාදුන් බව සඳහන් වෙයි. එම වසරේදීම ජපානයේ Order of Culture සම්මානයට ඔහුගේ නම යෝජනා වුව ද, එය ප්‍රතික්ෂේප කළේ එය පිරිනමන්නේ අධිරාජ්‍යයා විසින් බව පවසමිනි. එහිදී ඔහු,
“ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඉහළින් තියෙන කිසිම අධිකාරියක්, වටිනාකමක් මම අඳුනන්නේ නැහැ” පැවසුවේය. නැවත් වරක් ඔහු ට ජීවිත තර්ජන එල්ල වන්නට පටන් ගත්තේය.

2005 දී විශ්‍රාමික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඔහුට එරෙහිව නඩු මඟට පිවිසියේ ඔහු විසින් 1970 දී ලියන්නට යෙදුණු ‘ඔකිනාවා සටහන්’ නම් ලියවිල්ලේ ව්‍යාජ තොරතුරු අඩංගු වන බව පවසමිනි. මෙම ලියවිල්ලේ අඩංගු වූයේ 1945 දී ජපන් හමුදාව විසින් ඔකිනාවා දූපත යටත් කරගන්නා මොහොතේ ඔකිනාවා ජන සමූහය සියදිවි නසාගැනීම සඳහා හමුදාව විසින් බලපෑම් කළ බව ය. 2008 දී ඔසාකා දිස්ත්‍රික් අධිකරණය එම චෝදනා නිෂ්පභ්‍ර කළ අතර විනිසුරුවරයා පැවසුවේ “මෙම මහා සියදිවිනසාගැනීමට හමුදාව ගැඹුරින් සම්බන්ධ” බවය.

පරමාණු බෝම්බ වල අත්දැකීමට මුහුණ දුන් ඔයී සිය ලේඛනය පරමාණුක අවි වලට එරෙහිව යොදාගත්තේය. එයින් නොනැවතී ඔහු පරමාණුක බලයට එරෙහි සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස නිරන්තරයෙන් එක් විය. 2013 දී ඔහු පරමාණුක තාක්ෂණය භාවිත කිරීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළේය.

ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වැය කොට ඇත්තේ ඔහුගේ පුත්‍රයා සමඟ සන්නිවේදනයට මඟක් සාදා ගැනීම සඳහා ය. වයස 31 දීත් ඔහුට වයස තුනක ළමයෙකුගේ ප්‍රමාණයට එහා සන්නිවේදනය කිරීමේ හැකියාවක් නොතිබිණි. ඔහු ඒ සඳහා ගත් උත්සාහයන් ඔහුගේ කෘති ලෙස ලෝකයට දායාද විය. නොබෙල් සම්මානය සැබවින්ම දින්නේ හිකාරි බව ඔයී වරක් පවසා තිබුණේය. නොබෙල් සම්මානය දිනාගැනීමෙන් වසර දෙකකට පසුව 1996 දී ඔහු විසින් පළකළ ප්‍රථම කෘතිය The healing family, ඔවුන්ගේ පවුලේ මේ ජයග්‍රහණය පාදක කරමින් ලියවුණකි.

සිය ජීවිතය තුළ ලද්දා වූ කටුක අත්දැකීම් තුළින් ලබාගත් පන්නරය සාහිත්‍ය ලෝකය වෙත විහිදුවමින් ඔයී විසින් සිදුකරන ලද සාහිත්‍ය සේවය සැබවින්ම විශිෂ්ඨය. ජපානයේ පශ්චාත් යුධ ලේඛකයන්ගේ අවසන් පුරුක කෙන්ෂබුරෝ ඔයී විය හැකිය.
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

19 − fifteen =