දළදාවත් වැඳ, මහ නාහිමිවරුත් බැහැදැක, පොලිස් ලොක්කන් කීවේ ගල් පැළෙන බොරු!

තමා කළ වංචා, දූෂණ හසුවන්නට යන බව දැනෙන විට, ජනමාධ්‍යද පිරිවරාගෙන මහනාහිමිවරුන් බැහැදකින්නට යන දේශපාලකයින්ගේ දසුන සමාජයට හුරු පුරුදු ය. එහෙත් සිය වගකීම් පැහැර හැරීම නිසා අධිකරණමය ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට නියමිත පොලිස් ලොක්කන්, එය වළක්වාදෙන්නැයි නිලඇඳුම් ද ලාගෙන මහ නාහිමිවරුන්ට කන්නලව් කිරීම ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු අරුම පුදුම දසුනකි. වඩාත් අරුමය නම් උතුම් දළදාවත් වැඳ, මහ නාහිමිවරුනුත් බැහැදැක, ආපිට හැරී ගල් පැළෙන බොරු කීමය!

පාස්කු ප්‍රහාරයේ දී රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ඉවත් කර දෙන ලෙසට මහ නාහිමිවරුන් බැහැදැක ඉල්ලා සිටි උසස් පොලිස් නිලධාරීන්ගේ ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවත්, ඇතැම් ප්‍රකාශ පොලිස් නිලධාරීන්ට නොගැළපෙන ප්‍රකාශ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කරති.
ඔවුන් කළ ප්‍රකාශ සහ එම ප්‍රකාශවල ගැටලුසහගත තැන් මෙසේ පෙළගැස්විය හැකි ය.
මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය පොලිස් කණ්ඩායමේ සිටි මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා ජනමාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශයක් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහ නාහිමියන් හමුවේ කරනු ලබන ප්‍රකාශයක් ජනමාධ්‍ය වාර්තා කළේ ය.
“අවුරුදු 30ක් මේ රටේ පැවැති යුද්ධයේ දී රාජකාරි කරලා තුවාළ වෙලා, ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා, ජීවිතය බේරාගෙන අද දක්වා රාජකාරි කරන නිලධාරී කණ්ඩායමක් අපි. හැබැයි, අද මෙතැනට ආවේ 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කරලා, ඒ රාජකාරි කරපු එක වරදක් වෙලා වෙන කියා ගන්න කෙනෙක් නැතුව, අපිට එල්ලුම් ගහ හරි මහඋළුගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වළක්වා ගන්න. මල්වතු, අස්ගිරි නායක හාමුදුරුවො හමුවෙලා දළදා වහන්සේට කියලා කන්නලව් කරලා රස්සාවයි, ජීවිතයි, අපෙන් යැපෙන අයයි බේරා දෙන්න කියලා ඉල්ලන්නයි ඇවිත් ඉන්නේ.”

අමූලික බොරු

මෙම පොලිස් නිලධාරීන් පිරිස ජනගත කරන්නට උත්සාහ කරන්නේ අමූලික බොරුවකි. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරි කිරීමේ වරදට තමන්ට එරෙහිව කටයුතු කරන්නට යන බව ඔවුහු කීමට උත්සාහ කරති. නමුත්, චෝදනාව තිබෙන්නේ පාස්කු ප්‍රහාරය දිනයේ රාජකාරි කිරීම සම්බන්ධයෙන් නොව, පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව කටයුතු කර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙනි.

යුද්ධය පෙන්වා ගැලවීම

ඊ ළඟට මේ පිරිස යුද්ධය ගැන කතා කරති. යුද්ධය යනු ඕනෑම අපරාධයකින් ගැලවීමට තිබෙන පළිහක් නොවේ. යුද්ධය ගැන කතා කරන මේ මහත්වරුන්ගෙන් ඇතැමෙක් අඩු තරමේ යුද සමයේ, යුද්ධය පැවැති ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපති ධුරයක්වත් දැරුවෝ නොවෙති. එල්ලුම් ගහට හෝ මහඋළුගෙදරට යාමෙන් හෝ රැකියා නැති වීමෙන් හෝ වළක්වා ගත හැක්කේ මහ නාහිමිවරුන්ට ඇවිටිලි කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් නොව ඉහළ නිලධාරීන්ට, ඉහළ උසාවිවලට අභියාචන කිරීමෙන් බව මෙම නිලධාරීන් නොදන්නේ නම්, ඔවුන් කිසිසේත්ම පොලිසියට ගැළපෙන්නේ නැත.

කැපවීම සහ නියෝගය

“2019 පාස්කු ප්‍රහාරයේ දී 300කට වඩා අහිංසක ජනතාව මිය ගියා. තවත් ඒ හා සමාන පිරිසක් තුවාළ ලැබුවා. අද මේ රැස්වෙලා ඉන්න අපි හැමෝම එදා ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ මළසිරුරු දෑතින් උස්සාගෙන රෝහල්ගත කළ කණ්ඩායමක්. එදා ඒ විදිහට කැප වීමෙන් රාජකාරි කළ කණ්ඩායමට අද කරකියා ගන්න දෙයක් නැතුව ගිහින් තියෙනවා මොනවා වෙයි ද කියලා. එවකට පැවැති යහපාලන රජය ප්‍රහාරයක් එල්ල කරනවා කියලා මේ තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු පැහැදිලි නියෝගයක් ලබා නොදී, මේ තොරතුරු හොයන්න කියලා විතරක් අපට දැනුම් දී තිබුණු අවස්ථාවක අනපේක්ෂිතව මේ ප්‍රහාරය සිද්ධ වුණා. මේ ප්‍රහාරය දවසේ මේ ඉන්න නිලධාරීන් සියලු දෙනා රාජකාරි කළා. අද ජීවිත සිය ගණනක් ජීවත් වෙනවා එදා අපි ක්‍රියාමාර්ග ගත්තු නිසා.”

ජීවිත පරිත්‍යාගය?

පාස්කු ප්‍රහාරයට කිසිවෙක් ජීවිත පරිත්‍යාග කළේ නැත. ජීවිත පරිත්‍යාග කිරීම යනු තමන්ට මරණය අත්විය හැකි බව දැන-දැනම යම් යහපත් අරමුණකින් යමක් කිරීමට ඉදිරිපත් වීමයි. ප්‍රහාරයක් එල්ල වන බව දන්නේ නම්, එම ජනතාව අදාළ ස්ථානවලට යන්නේ ද නැත. මෙය ඝාතනයකි. මරණය අත් වන බව දැන-දැනම මිය ගිය ප්‍රහාරකයන් හැර අනෙක් පිරිස් එම ස්ථානයට නොගිය ද, මරණ අත් කර දිය හැකි මෙවැනි ප්‍රහාරයක් එල්ල වන බව මෙම පොලිස් නිලධාරීන් පිරිස දැනසිටි බව නම් පාස්කු කොමිෂන් සභාවේ දී අනාවරණය විය. ඒ අනුව ඒ සා විශාල ජීවිත විනාශයක් දැන දැනම වළක්වා
නොගැනීමේ අපරාධයට ඔවුන් වගකිව යුතු බව පැහැදිලි ය.

විමර්ශන කණ්ඩායම් මඟහැරියේ ඇයි?

“යහපාලන රජය මෙම ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු දැනගෙන ඒ තොරතුර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කිසිදු නියෝගයක් නොදී මේ පිළිබඳ තොරතුරු සොයන්න කියලා විතරක් අපට දැනුම් දුන්නා යැ”යි පොලිස් නිලධාරීන් කීමෙන් ඔවුන් තම රාජකාරිය ගැන මොන තරම් දැනුම්වත් බවකින් සිටින්නේ ද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතු වේ. පළමු කාරණය මෙම ප්‍රහාරය එල්ල කරන බවට යහපාලන රජය දැනගෙන සිටියා ද යන්නයි. ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපති කොමිසමෙන් හෝ වෙනත් විමර්ශන කණ්ඩායමක් විසින් තොරතුරු හෙළි කර නැත. ඒ බව මෙම නිලධාරීන් පිරිස දන්නේ නම් කළ යුත්තේ, මහා නාහිමිවරුන් බැහැදැකීමට යෑම නොව විමර්ශන කණ්ඩායම් මුණගැසී තමන් දන්නා කරුණු ඉදිරිපත් කිරීම ය.
ආණ්ඩුවෙන් ප්‍රහාරය ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගැන නියෝගයක් නොදී, තොරතුර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සොයාබැලීමට පමණක් කී බව පොලිස් නිලධාරීහු කියති. විමර්ශන පැවැත්වීම හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ ආණ්ඩුවේ රාජකාරියක් නොවේ. එවැනි තොරතුරක් ලදහොත්, එය පොලිසියට හෝ වෙනත් විමර්ශන කණ්ඩායමකට දැනුම් දීම ආණ්ඩුවේ වගකීමකි. මේ පොලිස් නිලධාරීන් කියන ආකාරයට ආණ්ඩුව වගකීම ඉටු කර ඇත. වගකීම ඉටු කර නැත්තේ මොවුන් කියන ආකාරයට පොලිසියයි. ඒ ප්‍රහාරය ගැන යොමු කළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් නොකර පැහැර හැරීම ය. තොරතුර තමන්ට යොමු කළ බව පොලිස් නිලධාරීහු ම පිළිගනිති. එසේ නම්, ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනය කුමක් ද? ප්‍රහාරය වළක්වා ගැනීමට ගත් ක්‍රියාමාර්ග මොනවා ද?

යුක්තිය ඉල්ලන තැන

“හැබැයි, අද වෙනකොට මේ යහපාලන රජය පත් කරපු කොමිෂන් සභාව දුන්නු අසාධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලුම් ගහ හිමි වෙනවා, එහෙම නැත්නම්, හිරගෙදර තපින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහිමි වෙලා වෙනත් රැකියාවකට යන්න බැරිව ගෙදර යන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයකට අපි දැන් පාත්‍රවෙලා ඉන්නේ. ඒ දුක කියන්න කිසිම කෙනෙක් නෑ. අපි මේ වෙන කොට කියන්න තියෙන හැම තැනකට ම කිව්වා. ඒ යහපාලන රජය ගත්තු අසාධාරණ තීන්දුවෙන් සමස්ත පොලිසියම කඩාවැටිලා. අපේ පවුල්, දරුවෝ, නෑදෑයෝ, දෙමාපියෝ සියලු දෙනාම අඬාවැටෙනවා. මොක ද? හෙට දවසේ අපි සිරගතවෙයි, එල්ලුම් ගහට යයි කියලා. ඉතින් ඒ දුක කියන්න තමයි, අපි මෙතැනට ආවෙ. කන් ඇහෙන, ඇස් පේන මේ මහ නාහිමිවරුන්ට කියලා අපිට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියන්නයි අපි මෙතැනට ආවෙ.”

නීති ප්‍රතිපාදන නැද්ද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එසේ කීව ද, කොමිෂන් සභාව පත් කළේ යහපාලන රජය නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය. ජනාධිපති සිරිසේන මහතා පත් කළ කොමිෂන් සභාවේ කාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීර්ඝ කළේ ය. කොමිසමේ සභාපතිවරයා වූයේ එවකට අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකි. ජනාධිපති කොමිෂන් සභාවකින් වැරැදි නිර්දේශ ලබා දී ඇත්නම්, කළ යුත්තේ මහ නායක හිමිවරුන් ඉදිරිපිටට යෑම නොවේ. කළ යුත්තේ අභියාචනාධිකරණයට ගොස් මෙම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තීන්දුවක් ලබා ගැනීම ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් සොයන උපාලි අබේරත්න ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, රජයේ නීතිඥ ජනක බණ්ඩාර, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ගියහ. එසේ නීතිමය ප්‍රතිපාදන තිබිය දී, උසස් පොලිස් නිලධාරීන් පිරිසක් නීතිය නොතකා වෙනතක යාම බරපතළ තත්ත්වයක් නොවේ ද?

මේ කියන්නේ ඇත්ත ද?

“කාදිනල් උන්නාන්සේට අපි කිසිම දෙයක් කියන්නේ නැහැ. උන්නාන්සේ දැක්කා අපි දෑත්වල ලේ තවරාගෙන ජීවිත බේර ගන්න කටයුතු කළ ආකාරය. කාදිනල් හිමි තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කිරීම සාධාරණයි. හැබැයි, අපි වෙනුවෙන් කතා කරන්න රජය හෝ වෙනත් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අපිට මේක කියන්න කිසිම කෙනෙක් නැහැ. පොලිස් නිලධාරීන් 20ක්, 25ක් මේ අසාධාරණයට ලක්වෙලා.‘

තවත් බෙදා වෙන්කිරීමක්

කාදිනල් හිමියන් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කතා කරන බව කියමින් බෙදීමට උත්සාහ කිරීම ද පොලිස් නිලධාරීන්ට තරම් නොවේ. මේ පොලිස් නිලධාරීහු තමන්ට වූ අසාධාරණය කුමක් දැයි නොකියා රජය හෝ වෙනත් කෙනකු තමන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම ගැන කතා කරති. තමන්ට මෙය කියන්න වෙන කිසිම තැනක් නැතැයි ඔවුහු කියති. හැබැයි, ඔවුන්ට මෙය කියන්නට තැනක් තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී කියන්නට තිබිණි. විමර්ශන කණ්ඩායම්වලට කටඋත්තර දෙමින් කියන්නට තිබිණි. නීති විරෝධී යමක් සිදු වන්නේ නම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් සිදු වීමට යන්නේ නම් ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමේ හැකියාව තිබිණි. නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම්ට පැමිණිලි කිරීමට තිබිණි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නට තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දමන්නට තිබිණි. මේ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට මහ නාහිමිවරුන් බැහැදැකීමට ගියේ ඇයි? නීති විරෝධීව වැඩ තහනමකට ලක් කරනවා නම්, රාජ්‍ය සේවා කොමිසමේ අදාළ නියෝගවලට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරයට ද අභියාචන කිරීමේ හැකියාව තිබේ.

ලෝකයේ නැති දේ

“දළදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැති වුණා. ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප්‍රහාරවලින් ජීවිත නැතිවෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරි කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ. අසාධාරණයක් කරලා නැහැ. මේක කියන්න කෙනෙක් නෑ.”

ලංකාවේ උදාහරණය

බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවල අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ අවස්ථා තිබේ. හොඳම උදාහරණය අකුරැස්ස, ගොඩපිටිය පල්ලියේ ආගමික උත්සවය අවස්ථාවේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. එදා පොලිසියෙන් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද, එම උත්සවයට පැමිණි එවකට අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, මහින්ද විජේසේකර, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු ඇතුළු දේශපාලනඥයන් පිරිස ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එවකට අදාළ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා ය.

ස්ථානාධිපතිගේ දැනුම

පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබුණා සේ මෙම ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබුණේ ද නැත. එසේ තිබිය දී ඉහළ නිලධාරීහු පොලිස් ස්ථානාධිපති තිස්ස සේනානායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්හ. ඔහුගේ වැඩ තහනම් කෙරිණි. උසස්වීම් අහිමි කෙරිණි. අවසානයේ විනය නියෝගය ලබා දෙමින් ඔහු සේවයෙන් පහ කරනු ලැබී ය. තිස්ස සේනානායක පොලිස් නිලධාරියා මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක හඬාවැටීමට ගියේ නැත. ඔහු විනය නියෝගයට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරයට අභියාචන කළේ ය. මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කළේ ය. අවසානයේ ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ගය නීති විරෝධී බව අභියාචන ක්‍රියාවලියේ දී තහවුරු විය. ඔහුට රැකියාව ලැබිණි. අධිකරණ සහ අභියාචනා ක්‍රියාවලි මඟින් අහිමිව තිබූ උසස් වීම් ද ලබා ගත්තේය.

ස්ථානාධිපතිවරුන් එලෙස කටයුතු කරද්දී, මෙම නිලධාරීන් මහ නාහිමිවරුන් බැහැදැකීමට යාමෙන් පෙන්නුම් කරන්නේ ස්ථානාධිපතිවරුන්ට තරම්වත් නීතිය පිළිබඳ දැනුමක් උසස් පොලිස් නිලධාරීන්ට නැතිකම ද?

සාධාරණ විනිශ්චයක් ?

“මේ අසාධාරණ තීන්දුව වෙනස් කරලා අපිට විරුද්ධව නඩු පවරනවා නම්, ඒක නවත්වන්න කියලා අපි ඉල්ලන්නේ. සාධාරණ විනිශ්චයක් දෙන්න. අපිට මේ ගැන දැනුවත් බවක් තිබුණේ නැහැ. දැනගෙන හිටියා නම් කවමදාවත් වෙන්න දෙන්නේ නැහැ. අපේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා තිබුණේ, මේක සම්බන්ධව තොරතුරු සොයන්න කියලා විතරයි. එහෙම කියලා දවසක්, දෙකක් වගේ කාලයක දී අනපේක්ෂිත ලෙස ප්‍රහාරය එල්ල වුණා. වසර 30ක් පැවැති යුද්ධය ඉවර කරලා, රට සාමකාමී වෙලා තිබුණු අවස්ථාවක මේක එල්ල වුණේ. ඒක ඒ වෙලාවේ බලයට ඇවිත් හිටිය යහපාලන රජය කරපු වරද. ඒ චෝදනාව කාගෙ හරි පිටින් යවන්න ඕනෙ නිසා අහිංසක පොලිස් නිලධාරීන් 25ක 30ක කණ්ඩායමකගේ රස්සාව අහිමි කරලා සිරගත කරන්න සූදානම් කරනවා. අපිට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කරන්න හදනවා. ඒවා නවත්වන්න කියලයි කියන්නේ.‘

නොමඟ යැවීමේ උත්සාහයක්

විමර්ශනයකින් පසු නඩු අහන්නේ මහ නාහිමිවරුන් ද, එසේත් නැත්නම් විමර්ශන කණ්ඩායම් ද, නීතිපති ද අධිකරණය ද යන්න පිළිබඳව මෙම නිලධාරීන් දැනුම්වත් නොවීම බරපතළ තත්ත්වයකි. නඩු පැවරීම අසාධාරණ නම්, ඒ පිළිබඳව පැවසිය යුත්තේ මහ නාහිමිවරුන්ට ද? නැතහොත්, ඊට අදාළ පාර්ශ්වවලට ද? ‘යහපාලන රජය කරපු වරද’ යනුවෙන් කීමෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න අදාළ පොලිස් නිලධාරීන් පැහැදිලි කර නැත. උසස් නිලධාරීන්ට දැනුම් දී, දින දෙක, තුනකින් ප්‍රහාරය එල්ල වූ බව කීම ද අසත්‍යකි. ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් පහළ නිලධාරීන්ට ලබා දී තිබුණේ, සති කිහිපයකට පෙර දී බව කොමිෂන් සභා සාක්ෂි විමසීමේ දී කියැවිණි. මීට පෙර ද සඳහන් කළ පරිදි විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඉල්ලීම් කළ යුත්තේ, විනය බලධාරීන්ගෙන් මිස මහ නාහිමිවරුන්ගෙන් නොවේ.

කියන විදිහට වැඩේ වුණා ද?

“පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස්නාහිර පළාතත්, නැඟෙනහිර පළාතත්, රාජ්‍ය බුද්ධි අංශයත් භාරව සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙතැන සිටිනවා. ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සියල්ලම ප්‍රමාදයකින් තොරව කඩිනමින් පොලිස් නිලධාරීන්ට යවන්න පියවර ගෙන තිබුණා. ඒ බව ජනාධිපති කොමිෂන් සභාවේ දී නිලධාරීන් ලබා දුන් ප්‍රකාශ මඟින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා. එසේ තිබිය දී, ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවැති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබා දී තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ යුද්ධය නිම වී රටේ සාමාකාමී වාතාවරණයක් ගොඩනැඟී තිබුණා. සංහිඳියාව කියන තේමාව යටතේ තමයි, ඒ දවස්වල රජය ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් තිබීම නිසා අයි. එස්. අයි. එස් වගේ සංවිධාන ගැන ගැඹුරින් සොයාබැලීමක් සිදුවුණේ නැහැ.”

“සම්පූර්ණ සාමකාමී වාතාවරණයක් රටේ පැවැතුණා. ඒ වාතාවරණය තුළ සිදු වූ මේ අවාසනාවන්ත සිද්ධිය නිසා අහිංසක මිනිස් ජීවිත 300ක් පමණ රටට අහිමි වුණා. මේ ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී මහා බෝධිය, මහ බැංකුව වගේ ස්ථානවලත් සිදු වුණා. ඇමෙරිකාවට පවා ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ලෝකයේ කොහේවත් සිදු නොවන ආකාරයට ඒ අවස්ථාවේ රාජකාරි කිරීම පදනම් කරගනිමින් තමයි, පොලිස් නිලධාරීන්ට එරෙහිව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් සභාව ක්‍රියාක්මක වුණේ.”

“තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැප කිරීම් කළ විශාල පිරිසකට මේ කොමිසම මඟින් අසාධාරණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා. ත්‍රස්තවාදී ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව සහාය දුන් නිලධාරියකු විනා, ඒ ප්‍රදේශයේ රාජකාරි කළ නිලධාරීන් පීඩනයකට ලක් කරනවා නම්, එය සමස්ත පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය පහත වැටීමට බලපාන කාරණයක් වෙනවා.”

කරුණු සැඟවූවා ද?

මෙම උසස් පොලිස් නිලධාරීන් දිගින්දිගටම චෝදනා කරන්නේ, පැවැති යහපාලන ආණ්ඩුව ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය නියෝග ලබා නොදුන් බවයි. මෙය අරුම පුදුම කතාවකි. මහා ජීවිත විනාශයක් සිදු වන්නට යන බව දැනගත් විට පොලිසියට එය වැළැක්වීමට කටයුතු කිරීමට සම්පූර්ණ නීත්‍යානුකූල බලතල තිබේ. දේශපාලනඥයන්ගෙන් නියෝග එන තුරු බකන්නිලාගෙන සිටිය යුතු නැත. නිල ඇඳුම් ඇඳගෙන මාධ්‍ය ඉදිරියේ මේ වැනි අඳබාල කතා කියමින් නිල ඇඳුම බාල්දු කිරීමට වඩා ඒවා ප්‍රසිද්ධියේ ගලවා හෙළුවෙන් ගෙදර යෑම නම්බුකාර ය! අනිත් අතට, යහපාලන ආණ්ඩුව ප්‍රහාරය ගැන දැනුම්වත් වී සිටියේ ද යන්න මේ වන තෙක් හෙළි වී නැති තත්ත්වයක් තුළ උසස් පොලිස් නිලධාරීන් මෙසේ ප්‍රකාශ කිරීමෙන් හඟවන්නේ කුමක් ද? එවකට ආණ්ඩුව මේ ගැන දැනගෙන සිටියා නම්, ඒ බව අදාළ කොමිෂන් සභාවේ දී නොකීවේ ඇයි ? අදාළ විමර්ශන කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළේ ද? එලෙස දැනගෙන සිට ආණ්ඩුව බේරා ගැනීමට ඒ බව නොකීවේ ද? මේවා බරපතළ ගැටලු ය.

නොකියා කියන කතාව

මුස්ලිම් ප්‍රජාව සමඟ හොඳින් සිටි නිසා අයි. එස්. අයි. එස්. සංවිධානය ගැන සොයා නොබැලූ බව මෙම උසස් පොලිස් නිලධාරීහු කියති. එම සංවිධානය මේ ප්‍රහාරය එල්ල කළ බවට කිසිම තැනක දී අනාවරණය නොවී තිබිය දී, මේ නිලධාරීන් මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කුමන අරමුණකින් ද? ඒ සංවිධානයට ප්‍රහාරයේ වගකීම භාර ගන්නා ලෙස මාතලේ සහරාන් නම් පුද්ගලයකු හරහා පැවසීමට බුද්ධි අංශ නිලධාරියෙක් උත්සාහ කළ බවක් පාස්කු කොමිෂන් සභාවේ දී කියැවිණි. මේ රංගනයත් එහි කොටසක් ද? මේ බව දන්නේ ඔවුන් ම පමණි. තමන්ට ලැබුණු බුද්ධි වාර්තාව ගැන සොයාබලා කළ විමර්ශනය ගැන හෝ අත්අඩංගුවට ගත් පිරිස් ගැන හෝ නොකියා මෙවැනි දෑ ප්‍රකාශ කරන්නේ ඇයි ? රාජකාරි කිරීම නිසා තමන්ට හානියක් වන බව පුන පුනා කීමට උත්සාහ කළ ද, චෝදනාව තිබෙන්නේ ප්‍රහාරයට පෙර වගකීම් පැහැර හැරීම ගැන බවට මෙම නිලධාරීන් ප්‍රකාශ කරන්නේ නැත.

මහනුවර ගොස් මහ නාහිමිවරුන් බැහැදැක, උසස් පොලිස් නිලධාරීහු ප්‍රකාශ කර ඇත්තේ අමූලික බොරු නොවේ ද? මේ කරන්නේ තවත් වටයකින් ජනතාව නොමඟ යැවීමක් නොවේ ද?.

– තරිඳු ජයවර්ධන

Leave A Reply

Your email address will not be published.

16 + 19 =