මාධ්‍යවේදී කීර්ති රත්නායක හිර කරන උගුල !

ජනපතිගේ උපදේශක මණ්ඩලය
1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව තමන්ට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂ මණ්ඩලයක් පත්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඒ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා ය. එහි සෙසු සාමාජිකයන් වන්නේ විශ්රාමලත් මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව සහ විශ්රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ය. මේ උපදේශක මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්ය අංශය මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත්කර නොතිබීම හේතුවෙන් මේ නීතිය යටතේ මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබිණි. මෙම උපදේශක මණ්ඩලය පත්කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් ශ්රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත
රෝහණධීර පවසයි.’
පල්වෙන පොරොන්දු රැසක්
ජනාධිපතිවරයා මෙසේ තවත් වැදගත් පියවරක් ඉදිරියට තබා තිබේ. ආරම්භයේ සිට මර්දනය සඳහා යොදාගැනුණු මේ නීතිය වහාම ඉවත් කළ යුතුය. මේ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරයට එය කරන්නේ නැත. එහෙත් ඔහු යම්-යම් අවස්ථාවලදී මේ පිළිබඳ පොරොන්දු ලබාදෙමින් සිටී. පසුගිය ජනවාරි 25දා ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යුරෝපා සංගමයට පොරොන්දු වූයේ ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකාබලන බවටයි. ඒ යුරෝපා සංගමය සහ ශ්රී ලංකා රජය අතර පැවැති 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී ය. එහෙත් ඒ පොරොන්දුව ක්රියාත්මක කිරීමට සූදානම් බවක් ආණ්ඩුව පෙන්වූයේ නැත.
පසුගිය ජුනි 10දා යුරෝපා පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් සම්මත කළේය. ඉන්පසු ජුනි 21දා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මාස තුනක් තුළ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්ය මණ්ඩල අනුකමිටුවක් ද පත්කෙරිණි. ඒ සමගම මෙරට විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කළේ ආණ්ඩුවේ මේ තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයට දැනුම් දුන් බවයි. දැන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තවත් අලුත් පියවරක් ගෙන තිබේ.
ආණ්ඩුව ලෝකයට පේන්නට මේ වැඩ ගැන නිවේදන නිකුත් කළත්, රට ඇතුළේ තවදුරටත් සිදුවන්නේ පරණ ක්රමය ම ය. හරියටම පොලීසි වටේ තාප්ප කඩා මල් පෝච්චි තබා මහජනතාවට වඩාත් සමීප සේවාවක් සපයන බව රටට කිව්වාට, පසුගිය 22දාත් මතුගම පොලිසියේ පහරදීමකින් පුද්ගලයෙකු මියගිය බවට මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබීම වගේම ය. ඒ කියන්නේ මේ ඇත්ත වුවමනාවකින් සිදුකරන වැඩ නොවේ.
කීර්ති රත්නායකට එරෙහි චෝදනා මොනවාද?
දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන ලංකා ඊ නිව්ස් ප්රවෘත්ති වෙබ් අඩවියේ මාධ්යවේදී කීර්ති රත්නායක මේ වන විට රඳවාගෙන සිටින්නේ ද ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. එහෙත් ඒ අදාළ පනතේ කුමන වගන්තියක් යටතේ, කුමන චෝදනාවක් සම්බන්ධයෙන් ද යන්න මෙතෙක් ඔහුගේ නීතිඥයන්ට පවා නිවැරදිව පවසා නැත. මාධ්යවේදියා මෙතෙක් කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නැති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමේ සිට පොලිසිය පාර්ශ්වයෙන් සිදුකරන ක්රියාවලිය විධිමත් නොවීම බරපතළ ගැටළුවකි. ඇතැම් පාර්ශ්ව මේ බරපතළ තත්ත්වය සැහැල්ලුවෙන් පෙන්වන්නට උත්සාහ දැරීම නිසා ආණ්ඩුවේ කාර්යය තවත් පහසු වී තිබේ. ඔවුන් එය හිතාමතා නොකරනවා විය හැකිය. එහෙත් සිදුවන්නේ එය බව ඔවුන් නොදන්නවා ද නොවිය හැකිය.
මාධ්යවේදී කීර්ති රත්නායක මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ මෙරට ඉන්දීය තානාපති කාර්යාලයට කළ දැනුම්දීමක් සම්බන්ධයෙන් ය. ඔහු, තමන්ගේ පෞද්ගලික හිතවත්කමක් මගින් අදාළ කාර්යාලයට එල්ල විය හැකි ප්රහාරයක් පිළිබඳ තොරතුරක් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් අදාළ තානාපති කාර්යාලය මගින් පොලිසියට දැනුම් දී තිබේ. එය සාමාන්යයෙන් අපේක්ෂා කළ යුතු ක්රමවේදයකි. මේ සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන ලෙස මාධ්යවේදියාට දැනුම් දී තිබේ. ඒ අනුව පසුගිය 14දා ඔහු ඒ සඳහා ගොස් ඇත. පසුව කොල්ලුපිටිය පොලිසියේ සිට ආපසු එන විට, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහු පදිංචි වී සිටි නිවසට ගොස්, එය පරීක්ෂා කර, ඔහුගේ ලැප්ටොප් පරිගනකය ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසු පොලිස් නිලධාරීන් විසින් මාධ්යවේදී කීර්ති රත්නායකව දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.
නීතිය හා සාමය භාර ඇමැති සරත් වීරසේකරගේ නියෝග මත දින 05ක් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්රශ්න කර ඇති අතර, මේ වන විට අදාළ රැඳවුම් නියෝගය දින 90ක් දක්වා දීර්ඝ කර ඇතැයි ඔහුගේ නීතිඥයෝ පවසති. එසේ ම රැඳවුම් නියෝග දීර්ඝ කිරීමෙන් පසු මාධ්යවේදියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත. මේ අතරවාරයේ ඔහුගේ බිරිඳ සහ දරුවන් පදිංචි මහනුවර පිහිටි නිවස සහ ඔහුගේ මිතුරියක වන තුෂාරා වන්නිආරච්චිගේ නිවස ද පරීක්ෂා කර, උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. වාර්තා වන ආකාරයට මේ කිසිදු කටයුත්තක් සඳහා අධිකරණයේ මැදිහත්වීමක් සිදු වී නැත. එනම් නිවාස පරීක්ෂා කිරීම සඳහා ද සෝදිසි වරෙන්තු ලබාගැනීමක් සිදු වී නැත. තමන් බාරයට ගන්නා භාණ්ඩවලට අදාළ ලැයිස්තුවක් පමණක් නිවැසියන්ට ලබාදීමට පොලිසිය කටයුතු කර තිබේ.
මාධ්යවේදියාට ඇති චෝදනා සහ රඳවා තබාගැනීමට හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් ප්රශ්න කිරීමේදී පොලිසිය පාර්ශ්වයෙන් ඔහුගේ නීතිඥවරුන්ට පවසා ඇත්තේ ඔහුට වෙනත් කණ්ඩායම් සමග සම්බන්ධතා තිබේද යන කරුණ පිළිබඳව රඳවාගෙන විමර්ශනය කරන බවකි. වාර්තා වන ආකාරයට දැන් ඉන්දීය තානාපති කාර්යාල ප්රශ්නය පසෙක තිබියදී, ඔහු විසින් ලියන ලද වෙනත් කරුණු පිළිබඳව පොලිසිය අවධානය යොමුකරමින් සිටී. ඒ කාගේ වුවමනාවට ද යන්න ලොකු ගැටළුවක් නොවන්නේ පොලිසිය අපේ වුවමනාවට එසේ වැඩ නොකරන බව දන්නා නිසා ය.
වටේ යවන්නේ ඇයි?
මේ අතරවාරයේ මාධ්ය මගින් කීර්ති රත්නායක සම්බන්ධයෙන් වෙනත් කරුණු ද එළියට දැම්මේය. නීතිය හා සාමය විෂය බාර ඇමැති සරත් වීරසේකර පවසා තිබුණේ කීර්ති රත්නායක ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු වන නිසා ඔහු මේ පිළිබඳව පොලිසියට තොරතුරු ලබානොදී, තානාපති කාර්යාලයට තොරතුරු ලබාදීම වරදක් බවයි. එහෙත් ඔහු දැන් ගුවන් හමුදා නිලධාරියෙකු නොවන බව ගුවන් හමුදාව විසින් ම පවසා තිබේ. ඔහු දැන් මාධ්යවේදියෙකි. අනතුරක් වළක්වා ගැනීම ඔහුගේ වගකීම වන අතර, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔහුගේ සීමාවන් සහ සම්බන්ධතා තුළ පවතින්නකි. ඒ සම්බන්ධයෙන් නියෝග පැනවිය හැකිද?
ගුවන් හමුදාව පාර්ශ්වයෙන් පවසා තිබුණේ ඔහු හමුදාවෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ අයෙකු වන බවයි. කීර්ති රත්නායක සහ ගුවන් හමුදාව අතර දැන් සම්බන්ධයක් නැති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශකවරයා තහවුරු කර තිබිණි. එසේ නම්, මාධ්යවේදියා අත්අඩංගුවට ගත් හේතු සහ ඊට අදාළ මූලික කරුණු පසෙක තිබියදී, හමුදාවෙන් අපකීර්තිමත් ලෙස නෙරපීමක් පිළිබඳ කරුණු උඩට ආවේ ඇයි? මාධ්ය මගින් ඒවා උළුප්පා දැක්වූයේ ඇයි? මේ ප්රශ්නවලට පිළිතුරු ලෙස මේ ආකාරයෙන් ම වූ සිදුවීම් මෙසේ පෙන්වා දිය හැකිය.
නැවතත් උඩ එන පරණ කතා
2011 වසරේදී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවියේ සේවය කළ මාධ්යවේදීන් පිරිසක් සහ ඔවුන්ගේ පරිගනක ඇතුළු උපකරණ තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනිණි. ඒ, රාජ්ය නායකයාට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කරමින් ය. සාපරාධී අපහාස නීතිය 2002 වසරේදී ඉවත් කර ඇති පසුබිමක, දණ්ඩ නීති සංග්රහයේ ඇතැම් කොටස් අවිධිමත් ලෙස භාවිත කරමින් පොලිසිය මේ සෙල්ලම කර ඇති බව නීතිඥවරුන් විසින් අධිකරණයේදී පෙන්වා දෙනු ලැබිණි. කෙසේ වෙතත් නඩුව ඊළඟ වාරයට කල්ගියේය.
ඊළඟ වාරයේදී පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට කරුණු දැක්වූයේ අදාළ වෙබ් අඩවියට අයත් පරිගනකවල අසභ්ය ඡායාරූප තිබූ බවටයි. රාජ්ය නායකයාට අපහාස කිරීමේ කතාව යට ගියේය. මාධ්ය මගින් උළුප්පා දැක්වූයේත්, කතාබහට ලක්වූයේත් අසභ්ය ඡායාරූප කතාවයි. එය ද අසභ්ය ඡායාරූප ලෙස ව්යාපාරික අරමුණින් සැලකෙන ඡායාරූප නොව, කලාත්මක ඡායාරූපයක් පමණක් බව අධිකරණයේදී අනාවරණය විය. එහෙත් ඒ වන විට මාධ්ය මගින් සිදුවීම වෙනතක ගෙන ගොස්, සියල්ල කරකවා තිබිණි. අදාළ මාධ්යවේදීන් පසුව අධිකරණයෙන් නිදහස් කෙරිණි. එහෙත් ඒ වන විට, වෙලාවට අදාළ ව සිද්ධිය තමන්ගේ වාසියට හරවාගන්නට ආණ්ඩුව කටයුතු කර අවසන් ය.
කීර්ති රත්නායකගේ හමුදා කතාවට ද මෙය අදාළ වේ. ඔහු ඊට අදාළ ව යම් වරදක් කර ඇත්නම්, එය වෙනම විසඳිය යුත්තකි. මේ මොහොතේ කතාව එය නොවේ. එහෙත් මේ කතාව අස්සේ එවැනි කතාවක් උළුප්පා දැක්විණි. පැරණි උදාහරණය වගේම ය. ඉන්දීය තානාපති කාර්යාල ප්රශ්නයට වඩා කතාබහට ලක්වූයේ වෙනත් කරුණු ය. ආණ්ඩුව පාර්ශ්වය සාර්ථක ය.
කීර්ති රත්නායක ගොදුරු වූ විශ්වාසය
ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ලිපිවලින් පමණක් හෝ යම් ආකාරයක සාධනීය පියවර ගන්නේ, පහළ නිලධාරීන්ට මේ ආකාරයට කටයුතු කිරීමට වක්ර ව අනුබල දෙන ගමන් ය. ආණ්ඩුවේ ඉහළ පිරිසට අවශ්ය වන්නේ මෙවැන්නක් බව පහළ දනී. එම නිසා ඔවුන්ගේ හිත් සතුටු කරන ගමන්, තම-තමන්ගේ ඇති ඇරියස් කවර් කරගන්නට ද ඉහළින් බේරාගන්නා බවට ලබා දී ඇති විශ්වාසය භාවිත වේ. මාධ්යවේදී කීර්ති රත්නායක ගොදුරු වී ඇත්තේ මෙවැනි තත්ත්වයන්ට ය.
– ශාලික විමලසේන
Leave A Reply

Your email address will not be published.

18 + ten =