ජනතාවගේ කැප කිරීම් සහ ආණ්ඩුවේ කැත කිරීම්…

මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යා දත්ත අනුව දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 4,000 ඉක්මවමින් තිබේ. දෛනික කොවිඩ් මරණ ගණන ද 200කට ආසන්න වෙමින් පවතී. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මෙන් ම රට පුරා බොහෝ වෙළෙඳ සංගම්වල මැදිහත් වීමෙන් ද, වෘත්තීය සමිති ප්‍රමුඛත්වයෙන් ද, විපක්ෂයේ දේශපාලන පක්ෂවල මැදිහත් වීමෙන් ද, මහජනතාවගේ එකඟතාවෙන් ද රට වසාදැමීමකට යමින් තිබිය දී, කලබල වූ ජනාධිපතිවරයා අපූරු ජාතිය ඇමතීමක් හරහා දින 10කට රට වසන බව පැවසී ය. එහිදී ඔහු අවධාරණය කළේම එසේ රට වැසීමෙන් කොරෝනා මර්දනයට වන වාසි නොව ආර්ථිකයට වන අවාසි පිළිබඳව ය. රට එලෙස විවෘත කොට තැබුව ද, මහජනතාවගේ පැත්තෙන් ආර්ථිකයට වන්නේ අහවල් දෙයක් දැයි කිසිවකුට පැහැදිලි කිරීමට මේ ආණ්ඩුවට බැරි ය. මේ අතර කොවිඩ් තත්ත්වය හමුවේ දේශීය ව්‍යාපාරවල ආදායම ඉහළ නැඟි බවට ප්‍රවෘත්ති පළ වේ.

දැන් පාලකයා පවසන්නේ ජනතාව කැප කිරීම් කළ යුතු බව ය. ආණ්ඩුවේ මැති ඇමැතීන් වැටුප් පරිත්‍යාග ගැන ද නන්දොඩවයි. තම සියලු දීමනා රැකගනිමින් වැටුප පමණක් පරිත්‍යාග කරන්නට ජනතාවට ක්‍රමයක් නැත. එය කළ හැක්කේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ය. මේ අතර “මා ණය වී සිටින නිසා මට නම් වැටුප දෙන්න බැරි ය”යි කියමින් කඳුළු සලන ඇමැතිවරු ද සිටිති.

දැන් පාලකයා පවසන්නේ ජනතාව කැප කිරීම් කළ යුතු බව ය. ආණ්ඩුවේ මැති ඇමැතීන් වැටුප් පරිත්‍යාග ගැන ද නන්දොඩවයි. තම සියලු දීමනා රැකගනිමින් වැටුප පමණක් පරිත්‍යාග කරන්නට ජනතාවට ක්‍රමයක් නැත. එය කළ හැක්කේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ය. මේ අතර “මා ණය වී සිටින නිසා මට නම් වැටුප දෙන්න බැරි ය”යි කියමින් කඳුළු සලන ඇමැතිවරු ද සිටිති.

මේ සියල්ල මැද තකහනියේ  ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 24 වන මහලේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කාර්යාලය අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 620ක් වැය කිරීමට යෝජනා වූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුමැතියදී තිබේ. ආණ්ඩුවේ කැප කිරීම් එසේ ය. ජනාධිපති ද වගකිව යුතු සීනි බදු වංචාවේ පාඩුව රුපියල් කෝටි 15,900කි. මේ අතර මැති ඇමැතිලාට නවීන රථ ගෙන්වීමේ රථගායක ද ආණ්ඩුව සිටී. ජනාධිපති, අගමැති හා ඇමැති මණ්ඩලයේ නාස්තිකාර වියදම් කිසිවක් නතර කර නැත. නාස්තිය, දූෂණය, වංචාවට සම්බන්ධ අනෙක් හොරුන් බේරා ගැනීම සහ තමන්ට එරෙහිව අධිකරණවල පැවැති නඩු ඉවත් කරගැනීමේ ඒකායන අරමුණෙන් පාස්කු ප්‍රහාරය වැනි මිනිස් ඝාතන සිදූවීම්වල පිහිටෙන් බලයට පැමිණි රාජපක්ෂලාගේ කැප කිරීම් රටම දනී.

කොහොමත් කොරෝනා රටට බලෙන් ගෙන්වා ගත් තැන සිට වූ සියලු ජනතා ද්‍රෝහී ආණ්ඩුවේ භාවිතාවන් හමුවේ ජනතාව කැපකිරීම් කරති. අවසන ජීවිතවලින් ද වන්දි ගෙවති. පාලකයන්ට එය වගේ වගක් නැත. මිය යන්නේ මිනිසුන් ද යන්න ඔවුනට අදාළ නැත. පැණි ප්‍රවර්ධනය කරමින් එන්නත පමා කළෝ ඔවුහු ය. යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමට අධිකරණයේ නඩු තිබූ සැකකරුවකුට ඉඩ දුන්නේ ආණ්ඩුව ය. මෙය පර්යේෂණයක් යැයි පවසමින් එය සාධාරණීයකරණය කළේ බැසිල් ය. සීනි, හාල් රුපියල් 200 පනින විටත් ඉවසිය යුත්තේ ජනතාවය.

පන්ති විෂමතාවක් සහිත ඕනෑම සමාජයක පාලකයන් අමානුෂික ය; කෲර ය. ජනතා විරෝධී ය. එය අවුරුදු 70ක ලංකා දේශපාලන ඉතිහාසයෙන් ද දත හැකි ය. නමුත්, වත්මන් රාජපක්ෂ පවුල් පාලනය ධනපති සදාචාරය ද ඉක්මවමින් ඹ්ලේච්ඡ ය. මේ ආණ්ඩුවේ ව්‍යාජ කැප කිරීම් හා ජනතාවගෙන් ඇත්ත කොල්ලකෑම් හරහා පෙන්වන්නේ එයයි. ජනතාවට තමන් හැර අන් සරණක් නැත. ජනතාව සංවිධානය වී කොවිඩ් මාරයාට වැට බැඳීමට සූදානම් වීම හරහා පාලකයන් දණගැස්සුවා සේ මේ කුරිරු පාලකයන් මිනිස්කම ඉදිරියේ දණගැස්විය හැක්කේ සංවිධානාත්මක ජනතාවට ය. ජනතාවට තම විමුක්තිය උදා කර ගත හැක්කේ ජනතාවගේ ස්වාමියා ජනතාව වන දිනට ය●

 

 

Leave A Reply

Your email address will not be published.

8 + nineteen =