පරාක්‍රම සමූද්‍රයේ ශරීර සුවතා මංතීරුවට ජනතා විරෝධය – නවත්වන බවට පොරොන්දුවක්

දැනට දින 03කට පමණ ඉහතදී ආරම්භකර ඇති පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාව සඳහා ඉදිකර ඇති රළපනාවෙහි පිහිටි දැවන්ත කළු ගල් ඉවත්කොට එම ඉපැරැණි වැව් බැම්ම දිගේ ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීමට සැලසුම් කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නයේ විරෝධය පළ වී තිබේ.

රුපියල් මිලියන 32ක් වියදමින් ඉදිකිරීමට නියමිත මෙම ශරීර සුවතා මංතීරුව දිගින් කිලෝමීටර් 1.7 ක හා පළල අඩි 08 කින් සමන්විතව වෙයි.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට ප්‍රදේශවාසී ජනතාව හා මහා සංඝරත්නය පෙන්වා දෙති.

අද මෙලෙස විරෝධය දැක්වීමත් සමඟ මහා සංඝරත්නය විසින් මෙම ක්‍රියාවට මැදිහත්ව සිටින වාරිමාර්ග දෙපාර්තමේන්තුවවේ බලධාරින් එම ස්ථානයට කැඳවන ලෙස එහි වැඩ භාරව සිටි නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පරාක්‍රම සමූද්‍රය භාර වාරි ඉංජිනේරුවරයා, පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ලේකම්වරයා පැමිණි තිබේ.

එහිදී රැස්ව සිටි පිරිසගේ විරෝධය එල්ලවීම නිසා එහිදි උණුසුම් තත්ත්වයක් ද හටගනු ලැබීය.

කෙසේ නමුත් පසුව සංවර්ධන කටයුත්ත නවත්වන බවට හා එම යන්ත්‍ර ඉවත්කරගන්නා බවට එම නිලධාරීන් ලබාදුන් පොරොන්දුව පරිදි මහාසංඝරත්නය හා ප්‍රදේශවාසී ජනතාව එම ස්ථානයෙන් සාමකාමීව විසිර ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =