මහා ගස් මරණ එක

හැමදාම හවසට
බිමදැමූ ගහ කොළ
ගණන් හදනා විට
දැනේ ලොකු වෙහෙසක්, දුකක්
කාන්තාරයක තනිකමක්

මහා කළු බුල්ඩෝසරය
යකඩ ඇන්ජිමක් වග
තිත්ත වූ ඇත්තක්
ඒ වුනත් රියදුරුට
නොමැත්තේ ඇයි තෙත හිතක්
මහා ධමනියෙ හිටන්
පුරවන්න රතු රුධිර
සිරින්ජරයක් දෙකක්

හැමදාම ඇදවැටෙන ගස් අතර
මහා ගස් මහ ගොඩක්
නොවුණාට හැම එකම
වනස්පතියක්
අවුරුදුම හැටක් හැත්තෑවක්
මේ පොළොව සරු කෙරුව
මොකක් හෝ ගහක්

දන් දෙමින් සිය කඳුළු ලේ මස්
තමන් නැගි වියලි බිම
සරු කලෝ නැගිටුවා පැල පත්
නොපැතුවෝ පෙරළා රජකමක්
අමනුස්ස රජුන් හට
යනෙන මග සෙවන කර
ඉරට පිච්චුන මහ ගස්

උන් මුලින් උපුටා දැමූ වග
හුස්ම හිරකර දවසක් දෙකක්
ගණන් හදනා විට
හැමදාම කළුවරට විවර වෙන
ගිජුලිහිණි ඇස්
මහා දුකකින් මැඩෙයි
දැනෙන හිත්
සිහිවෙමින් මහගෙදර
තවම මල් ඵල සදන
අතු අගින් සිනාසෙන
ටිකක් වැහැරුණ මහගස්

– කපිල එම්. ගමගේ


 

Leave A Reply

Your email address will not be published.

8 − 1 =