සංක්‍රමණය වීම සහ පළායාම. වඩා හොඳ ලෞකික ජීවිතයක් සොයා යාම.

ඇත්තටම ගෝලීය යුගයේ දී රටවල් කඩා වැට්ටවීම බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍රය ද? 01
නූතන ගෝලීය දේශපාලනය තුළ කැපී‍ පෙනෙන සංසිද්ධියක් තමයි සංක්‍රමණය සහ පළායාම. රටකින් රටකට සංක්‍රමණය වීමේ සහ පළායාමේ අවසාන අරමුණ තමයි නිදහස් – සුරක්ෂිත – සමෘද්ධිමත් ‍ලෞකික ජීවිතයක් අත්පත් කරගැනීම.

එතකොට මිනිසුන් සංක්‍රමණය වෙන්නෙ හෝ පළායන්නෙ දේශපාලන ස්ථාවරභාවයක් ඇති, ආර්ථික සමෘද්ධියක් ඇති රටවලට. මේ සංක්‍රමණය සහ පළායාම කියන සංසිද්ධිය ඔස්සේ මේ ‍ගෝලීය යුගයේ දේශපාලනය පිළිබඳ කිසියම් නවීන අර්ථකතනයක් ගොඩ නැංවීම තමයි මේ සටහන් පෙලේ මූලික අදහස. ඒ තමයි මනුෂ්‍යයාගේ ලෞකික නිදහස තමයි පරම දේ කියන එක. මේ ගැන කතා කරනකොට අපට හමුවෙන විවිධ දේශපාලනික ප්‍රශ්න තියෙනවා. “ ඇත්තටම ගොලීය යුගයේ දී රටවල් කඩා වැට්ටවීම බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍රය ද?” කියන එක පළමුවෙන්ම ලිහාගන්න වෙනවා.

පසුගිය සියව‍සත් මේ සියවසත් ගත්තම දෙවන ලෝක යුද්දෙන් පසසේ ( 1945) මේ සංක්‍රමණය සහ පළායාම වගේ දේවල් කිහිපයක් නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. 1961 – 1989 අතර කාලයේ නැගෙනහිර කොමියුනිස්ට් ජර්මනියෙන් දහස් ගණන් බටහිර ධනේෂ්වර ජර්මනියට පළා ගියා. සමාජවාදී කියුබාවෙන් දහස් ගණන් ඇමරිකාවට පළා ගිය අතර තවමත් පළා යනවා. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ, 70-80 වගේ දශක වල දියුණු වෙමින් පවතින රටවල උගත් බුද්ධිමත් මිනිස්සු තමන්ගෙ රටවලින් දියුණු රටවලට සංක්‍රමණය වුණා. බුද්ධි ගලනය ( Brain Drain) කිව්වෙ ඒකට. 1983 කලු ජූලියෙන් පසු විශාල දෙමළ ජාතිකයින් සංඛ්‍යාවක් කැනඩාවට, යුරෝපටය සංක්‍රමණය වුණා, පලා ගියා. 88-89 කාලයේ ලංකාවේ තරුණ පරම්පරාව, ජ.වි.පෙ අනුගාමිකයින් සහ ක්‍රියාධරයින් විශාල සංඛ්‍යාවක් බටහිර රටවලට පලා ගියා. මැද පෙරදිග යුද්ධ වලින් වගේම මෑත කාලීන සිරියානු යුද්ධ හේතුවෙනුත් විශාල සංඛ්‍යාවක් සරණාගතයින් ලෙස යුරෝපටය පලා යනවා. අදත් ඒක එහෙම වෙනවා. නවතම තත්වය තමයි ඇෆ්ගනිස්ථානයේ තලෙබාන් පාලනය නිසා ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් බටහිර රටවලට පළායන්න, සංක්‍රමණය වෙන්න ගන්න උත්සහය. ඊට අමතර ලංකාව ගත් විට ලංකාවේ දහස් ගණනක් බටහිර, පෙරදිග රටවල් ( ජපානය, ඔස්ට්‍රේලියාව, සිංගප්පරුව, දකුණු කොරියාව වගේ රටවලට) අධ්‍යාපනය ආදී අවස්ථාවන් උපයෝගි කරගනිමින් සංක්‍රමණ වෙනවා.

ලෝකයේ එක් කොටසක් ආර්ථික හා දේශපාලනික වශයෙන් ස්ථාවර හා සමෘද්ධිමත් වෙන්නත් තවත් කොටසක් නොනවතින යුද්ධ, වාර්ගික සහ ආගමික ගැටුම්, වසංගත, දූෂණ, වංචාව, අල්ලස ආදියෙන් යුක්ත දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් අස්ථාවර වෙන්නත් හේතුව ‍කුමක් ද? මේ ප්‍රශ්නයට ඕනෑම කෙනෙකුට විවිධාකාර උත්තර දෙන්න පුළුවන්. කෙනෙකුට ගෝලීය බල අරගලය කියන්නත් පුළුවන්, තවත් කෙනෙකුට යටත් විජිත සූරාකෑම කියන්නත් පුළුවන්. තවත් කෙනෙකුට කියන්න පුළුවන් ලෝණකයේ අවි ආයුධ වෙළඳාම මීට හේතුවයි වගේ දේවල්.

ඒ ඔක්කොම සංකීර්ණ මතවාදයන් ඇතුලේ කැපිලා පේන එක් පොදු දෘෂ්ඨිවාදයක් තියෙනවා. ඒක තමයි බටහිර විරෝධය. ඇත්ත. බටහිර රටවල් සියවස් ගණනාවක් තිස්සේ ලතින් ඇමරිකාවෙ, අප්‍රිකාවේ සහ ආසියාවේ යටත් විජිත් පවත්වාගෙන ගිය බව. ඒවා සූරා කෑමට ලක්කළ බවත් ඇත්ත. ඒ නිසාම ප්‍රාග්ධන අතිරික්තය ගොඩ නගා ගත් බවත් ඇත්ත. ඒ තුළින් නැවත නැවත ඒවා ආයෝජනය කරමින් දැනුම සමග විද්‍යත්මක හා තාක්ෂණික දියුණුවක් අත් කරගත් බවත් ඇත්ත. ඒත් මේ ගෝලීය යුගයේ දී තව දුරටත් මේ බටහිර දියුණු සංවර්ධිත රටවලට යටත් විජිත හෝ පශ්චාත් යටත් විජිත යුගවල වගේ රටවල් සූරාකමින් පවතින්න පුළුවන් ද?.

බටහිර රටවල් ගත්තම – ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ‍බ්‍රිතාන්‍ය ආදී යුරෝපා රටවල් මේ සෑම රටකටම ආර්ථික හා දේශපාලන සමෘද්ධිය පවත්වාගෙන යාමට නම් ලෝකයේ අනෙක් රටවල් වලත් ඒ හා සමාන දියුණු තත්වයක් තිබිය යුතුයි. ඒකට හේතුව තමයි මේ දියුණු රටවල ආර්ථිකය රැඳිලා තියෙන්නෙත්, එහි දියුණුව රඳා පවතින්නෙත් ඒ රටවලින් ලෝකයේ අනෙක් රටවලට අපනයන කරන භාන්ඩ හා සේවා වලින් ලබන ආදායමෙන්. ඉතිං ඒ රටවල්, ඒ කියන්නෙ ඔය දියුණු වෙමින් පවතින රටවල් වල ආර්ථික සමෘද්ධියක් ඇත්තේ නැත්නම්, නිරන්තරයෙන් අනවරත යුද්ධ නම්, දේශපාලන ස්ථාවරභාවය නැත්නම් ඒ රටවල මිනිසුන්ට වියදම් කිරීමේ හැකියාවක් ( ක්‍රය ශක්තිය) නැත්නම්. එතකොට වෙන්නෙ අර දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවවල් සමග කරණ වෙළඳාම කරගන්න බැරි වෙන එක. අනෙක් පැත්තෙන් ඒ රටවල් දියුණු රටවලට දුන්නු ණය වගේ දේවල් පොලියත් සමග ආපසු අය කරගන්න බැරි වෙන එක. ඊළඟට ගත්තම ඒ දියුණු රටවල දැවැන්ත සමාගම් මේ දියුණු රටවල දැවැන්ත ආයෝජන කරලා තියෙනවා. ඉතිං අර කිව්වා වගේ දියුණු වෙමින් පවතින රටවල දේශපාලන අස්ථාවර බවක් තියෙනවා නම්, යුද්ධ කල කොලහාල තියෙනවා නම් ඒකෙ පාඩුව අර කියන දියුණු බටහිර රටවල් වලටත් බලපානවා.

තව දේවල් තියෙනවා දියුණු බටහිර රටවල නිෂ්පාදන පද්ධතිය පවත්වාගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්න බැරිවෙනවා. ජාත්‍යන්තර වෙළඳාමෙ දි යුරෝපා සංගමයට අයත් රටවල් වලින් පමණක් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට අපනයන කරණ නිෂ්පාදන සංඛ්‍යාව, ඒ ඒ රටවලට ලබා දී ඇති ණය කන්දරාවෙන් පමණක් ඇයි බටහිර රටවල් දියුණු වෙිමින් පවතින රටවල් දේශපාලන ස්ථාවර අපේක්ෂා කරන්නෙ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දියුණු වෙමින් පවතින රටවල යුද්ධ, දේශපාලන අස්ථාවර බව ආදිය නිසා පළා එන සරණාගතයින්ගෙන් සහ සංක්‍රමණය වෙන මිනිසුන් නිසා දියුණු රටවල විවිධ දේශපාලන ප්‍රශ්න ඇතිවීම – සංක්‍රමණ විරෝධි ජාතිකවාදී සහ ජාතිවාදී ව්‍යාපාර ඇතිවීම සිදුවෙනවා.
ඉතිං සමස්ථයක් විදිහට ගත්තතහම අර පැරණි කතාව “ බටහිර රටවල් යටත් විජිත ක්‍රමයෙදි වගේ රටවල් සූරා කනවාය, ඒ රටවල් දේශපාලන වශයෙන් අස්ථාවර කරන්න උත්සහ ගන්නවාය කියන කතාව ඒ විදිහටම පිළිගන්න බෑ.

හැබැයි ඉහත දක්වපු අර කියමන ඒ කියන්නෙ දියුණු බටහිර රටවල් වලට වෙළඳාම කියන එක යහපත්ව කරගෙන යන්න නම් මේ කියන දියුණු රටවල් මූලික වශයෙන් ධනේෂ්වර ප්‍රජාත්ත්‍රවාදි දේශපාලන සන්දර්භයක ඉන්න ඕන කියන තැන මේ දියුණු රටවල් ඉන්නවා. එහෙම තිබුණොත් තමයි අර කිව්ව විදිහට ප්‍රශ්නයක් නැතිව තමන්ගෙ ක්‍රමය පවත්වාගෙන යන්න දියුණු රටවලට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නෙ. ඒ නිසා මේ දියුණු වෙමින් පවතින රටවල ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යන්න කළ හැකි සෑම මැදිහත් වීමක්ම ඒ අය කරනවා. ඒව සෘජු රාජ්‍ය තන්ත්‍රික ඒවා විදිහටත් වක්‍ර ආකාරයෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහාත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, මානව හිමිකම් සංවිධාන, ජාත්‍යනත්ර මූල්‍ය අරමුදල වාගේ ඒවා හරහාත් සිදුවෙනවා.

මේ නිසා නූතන ගෝලීය යුගයේ දී බොහෝ නිරන්තරයෙන් කියන, පුරුද්දට කියන, ලෝකය දිහා විවෘත මනසිකින් නොබැලීමෙන් කියන “අධිරාජ්‍යවාදී රටවල සූරා කෑම” කියන පැරණි කතාව අද ඒ විදිහටම වලංගු එකක් විදිහට ගන්න බෑ. ලෝකය එකම යායක්. අනෙකා ගේ පැවැත්ම අනතුරේ හෙළමින් හෝ අහෝසි කරමින් කිසිවෙකුට පවතින්නට බෑ. අනෙකා අනතුරේ හෙළමින් තමන්ගේ ආර්ථික හා සමෘද්ධිය උදා කරගන්නත් පවත්වාගෙන යන්නත් බෑ.

ඡායාරූපය: ඇෆ්ගනිස්ථානයෙන් බටහිරට පළායාමට නියමිත සරණාගත පවුලක දරුවකු වඩාගෙන සිටින බ්‍රිතාන්‍ය සෙබලෙක්

– අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

14 + four =