පාස්කු විමර්ශන උසස් පොලිස් නිලධාරීන් ජාතිවාදී තලයකට තල්ලුකිරීම හෙළා දකිනවා

 - ආගමික නායකයන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිෂන් සභාව විසින් නම් කොට, නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් එය ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ උත්සාහය හෙළා දකින බව ආගමික නායකයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

එම නිවේදනයට පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා, අගරදගුරු පදවි ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා, කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක හා කොළඹ නව කෝරළේ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය පරකඩුවේ සරණංකර හිමි හා බියගම ත්‍රෛනිකායික භික්ෂු බලමණ්ඩලයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය බෙලිගල අමරසිරි හිමි අත්සන් තබා තිබේ.

මෙමගින් ආගමික නායකයන් පෙන්වා දෙන්නේ පාස්කු විමර්ශන කොමිෂන් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින් හැඟී යන්නේ ඔවුන් සිංහල බෞද්ධයන් වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්ව ඇති බව පෙනෙන්නට ඇති බැවින් එම ප්‍රකාශය තරයේ හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සදහන් ය.

එවැනි අන්තවාදී ප්‍රකාශ හමුවේ නොසැලී පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු දේශපාලන බලපෑම්වලින් තොරව සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද මේ නිවේදනයේ සඳහන් කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නුවරඑළිය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරළ, මොණරාගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්, මුලතිව් සහකාර පොලිස් අධිකාරී නුවන් කුමාරසේකර සහ කටාන හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල නවරත්න යන උසස් පොලිස් නිලධාරීහු පසුගිය 19 වනදා සියම් පාර්ශ්වයේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් හමු වූහ.
මහ නාහිමියන් සමගින් මෙම පොලිස් නිලධාරීන් දුක්ගැනවිල්ලක් ලෙස පවසා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත තමන්ට එරෙහිව සිදුවන විමර්ශන හේතුවෙන් ගැටළු රැසකට මුහුණදී සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.

2 × three =