“ඔහුට මෙතරම් ඉක්මනින් නික්ම යා නොහැකි බව මම තරයේ විශ්වාස කෙරුවෙමි”

මංගල ගැන මගේ මතකයෙන් බිඳක්

දින දෙකකට පෙර එන්ගලන්තයේ ලිවර්පූල් නගරයේ ලංකීය හිතවතුන් සමග සංගීත සංධ්‍යාවකට සහබාගීවන විට දැන සිටියෙ දැඩිසත්කාර ඒකකයේ සිටි ඔහුගේ තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවය. එම තොරතුර මගේ සිතේ තරමක් සැහැල්ලුවක් ඇති කල අතර, ඔහුට මෙතරම් ඉක්මනින් නික්ම යා නොහැකි බව මම තරයේ විශ්වාස කෙරුවෙමි. තෙරක් නොපෙනෙන අගාධයකට ගොස් ලංකාවේ එයින් මිදීමට ඉමක් සොයන බොහෝ දෙනා සේ මමද මංගල පිළිබඳ බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටියෙමි. සියළු රැඩිකල් කොටස් මෙන්ම සියළුම ජාතීන් එකම අරමුණකට ගොනුකල හැකි එකම චරිතය ඔහු වීම එයට හේතුව විය. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයකට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට මට පෞද්ගලිකවත් සමාජීයවත් ඕනැ තරම් හේතු තිබුනි. එහෙත් ඔහුගේ හදිසි නික්මයාම අද බොහෝ දෙනෙකු තුල මෙන්ම මා තුලද දේශපාලන රික්තකයක් ඇති කර ඇති බවක් දැනේ.

මට ඔහු මුලින්ම මුන ගැසුනේ 1991දී හෝ 92 දී ඔහුගේ නිවසේදීය. ඒ මා Sunday Times පුවත් පතින් ඉවත් වී රොයිටර් ප්‍රවෘත්ති සේවයට එක්වුනු මුල් අවධිය විය. එම කාලයට සමගාමීව බොරැල්ලේ සාප්පු සංකීර්ණයේ එවකට රැඩිකල් මතදාරි ලේඛකයින් කණ්ඩාමක් එකතුකර “හිරු” පුවත් පත නිර්මාණය විය. ඒ සඳහා මුල් වූවේ 1986දී මා සමග ලිට්ල් රෝස් සමාගමේ පුවත් පත් හරහා පත්තර කලාවට පිවිස පසුකලක වෙඩි තබා මරා දැමූ රෝහණ කුමාර විසිනි. “හිරු” පුවත් පත ඒ වන විටත් ප්‍රේමදාස පාලනය විසින් ඝාතනයෙන් මර්ධනය කර විනාශ කර දමා තිබූ ජනතා විමුක්ති පෙරමුනේ පුනරුත්පත්තියේ ඉදිරි මුහුණු වර විය. රෝහන කුමාරගේ සහ මගේ මිත්‍රත්වය මත විවෙික ඇති විටෙක එහි යන මට සුනිල් මාධව, ඩලස් අලහපෙරුම, තිඹිරියාගම බණඩාර, රෝහිත භාෂණ අබේවර්ධන, විමලසිරි ගම්ලත් යනාදීන් මුන ගැසිනි. ඒ වන විට කිහිප වරක්ම ප්‍රේමදාස රජයේ මැර හමුදා විසින් කරන තර්ජණය කිරීම් පහරදීම් සහ මංකොල්ලකෑම් වලට මුහුන දී සිටි මම ඒ අත්දැකීම් වීදි වලදී ඡායාරූප ගැනීමේදී බාවිතා කලෙමි. පුවත් පතට සහයෝගයක් ලෙස රොයිටර් ප්‍රවෘත්⁣ති සේවයට යවන ඡායාරූප ඇතැම් විට හිරු පත්තරයට මම ලබා දුන්නෙමි.

දිනෙක මට නොහඳුනන දුරකථණ ඇමතුමක් ලැබුනි. කතාකල පුද්ගලයා තමාගේ නම “රුවන් ෆඩිනැන්ඩස්” යයි හඳුන්වා දෙමින් හිරු පත්තරේ අය මට කතා කරන්න කී බවත් කියා මංගල සමරවීරට මාව හමුවන්න අවශ්‍ය බව කීවේය. ඔහුගෙන් ලිපිනය අහගත් මම පසුදින ඔහු දුන් ලිපිනයට ගියෙමි. එහිදී මගේ වය⁣සටම සමාන වූ මා මෙන් පෙනුමැති අයෙකු පැමිණ තමා රුවන් ෆඩිනැන්ඩස් බවත් පැමිනීම ගැන ස්තූති කෙරුවේය. ඔහුගෙන් මාව කැඳවීමට හේතුව විමසූ විට ඔහු “එන්නකො ඇතුලට” කියා වාඩිවෙන්න සැළස්වීය. ටික මොහොතකින් මංගල සමරවීර එහි පැමින පසෙක පුටුවකින් වාඩිවූවේ “අපි මීට කලින් මුන ගැහිල නැහැ නේද?” කියමිනි. මගේ කතුහලය වැඩිවිය. ඉරියව් වල ස්වාබාවය අනුව එම හමුවීම සාමාන්‍ය එකක් නොවන බව මට හැඟිනි. “අනුරුද්ධ ගැන මම අහල තියෙනව, මම කෙලින්ම කාරනාවට එන්නම්. අපිට ඔයාගෙන් උදව්වක් අවශ්‍යයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරනව, අපිට ඒකට ඡායාරූප අවශ්‍යයි ඔයාට පුළුවන්ද අපිට ඒකට උදව් කරන්න ?” . ඔයාගේ ආරක්ෂාවට තර්ජණයක් වෙන්නැහැ, මේ පින්තූර ගන්නෙ ඔයාගෙන් බව කිසි කෙනෙක් දැනගන්නෙ නැහැ, රුවන් එකතු කලේය. අසූව දශකයේ තරුණ සමූල ඝාතන පිළිබඳ ඡායාරූප එකතුවක් මා වෙත තිබුනි. සමූහ ඝාතන වලට එරෙහිව දිනෙක එම ඡායාරූප බාවිතා කිරීමේ බලාපොරෝත්තුවෙන් සිටි මා එක පයින් එම යෝජනාවට කැමති වුනෙමි. පසු දිනෙක ilford resin coated කඩදාසියේ මුද්‍රණය කල 8×10 පුමාණයේ ඡායාරූප පනහකට ආසන්න ප්‍රමාණයක් මා පසුව රුවන් හරහා ඔහුට ලැබීමට සැළස්සුවෙමි. එහෙත් එම චායාරූප සහ අනෙකුත් ලියකියවිළි සමග එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට යාමට මංගලගේ එවක අතිජාත දේශපාලන මිත්‍රයා වන මහින්ද රාජපක්ෂට ඉඩ නොලැබිනි. ගුවන් තොටුපලේදීම ප්‍රේමදාසගේ පොලිසියේ අත්අඩංගුවට පත් වුනු මහින්ද රාජපක්ෂගෙන් එම ඡායාරූප ලබා ගැනීමට ප්‍රේමදාස සමත් විය.

එයින් පසු අප අතර ඇති වූ මිත්‍රත්වය ඉඳහිට ලයනල් වෙන්ට් එකේ බාර් එකේ ජින් අඩියක් රසවිඳින්නට තරම් දුර ගියේය. ඇතැම් විට තව කිහිප දෙනෙකු සමග සුනේත්‍රා බණ්ඩාරණායකද එයට එකතු විය. පසු කලක චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ පාලනය යටතේ ඔහු මාධ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී අප අපගේ වෘත්තීමය දුරස්ථබාවයන් පවත්වා ගත්තෙමු.
බලයට පත්වීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරියට දෙමළ ජාතික ගැටළුව සඳහා ස්ථිර විසඳුමක් සෙවීමට සැබෑ උවමනාවක් තිබූ අතර මංගල ඒ සඳහා උවමනා දකුණේ ජනතා කැමැත්ත දිනා ගැනීම සඳහා වන උපාය මාර්ග ක්‍රියාත්මක කෙරුවේය. ඔහු සැළසුම් කල සුදු නෙළුම් ව්‍යාපාරය සහ තවලම වැඩ සටහන සඳහා අවශ්‍ය ඡායාරූප මම සැපයුවෙමි. හමු වූ බොහෝ අවස්වථාලදී ඔහු මගේ වෘත්තීය ක්‍රියාකාරම් අගය කලේය. මගේ ඡායාරූපවලට අගය කිරීමක් කල එකම ලාංකීය දේශපාලඥයා ඔහු විය.

– අනුරුද්ධ ලොකුහපුආරච්චි

විස්මිත ක්‍රීඩකයා නික්ම ගොස් බැවින් පිට්ටනිය මේ මොහොතේ පාළුවක් උසුළයි ! එහෙත්…

මංගල සමරවීරගේ භෞතික ශරීරය අද හවස බොරැල්ල කනත්තේ ආදාහනාගාරය ඉහළින් අළු පැහැ දුමක් සේ අහසට එක්වන විට එම පැහැයෙන් ම වූ ශෝකයක් හද වෙළා ගත්තේ ය. එය සොවකටත් වඩා කම්පනයකි. කම්පනයකටත් වඩා හිස්තැනකි. මංගල සමග වූ රුවන් ෆර්ඩිනැන්ඩ්ස්ගේ තිස්පස්වසරක ඓතිහාසික මිතුදම සමග, මංගල සමග වූ අපේ කුඩා හිතවත්කම කෙසේවත් සමකරන්නට නොහැකි ය. එහෙත්, වසර කීපයක පුංචි හිතවත්කම තුළ පවා, බරැති මතකයක් ඔහු ඉතිරිකර තබා ගිය බව දැනුණේ අද පෙරවරුවේ ය.
මංගල අපට මුල්වරට හමු වූයේ මීට දස වසරකට පෙර ය. 2011 අගෝස්තු 16 වැනිදා ඔහු හමු වූයේ ඊළඟ සතියේ ලංකා ඉරිදා සංග්‍රහයට සම්මුඛ සාකච්ඡාවක් ගැනීමට ය. ඒ දවස අගෝස්තු 16 වීම අහම්බයක් මුත්, එය වැදගත් දවසකි. දාහත් අවුරුදු සාපය වූ එජාප ආණ්ඩුව ගෙදර යවා, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් – මංගලගේ ද දායකත්වයෙන් – පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ආවේ අගෝස්තු 16 වැනිදාවක ය. ඒ 94 දී ය. එදා සිට යළි අවුරුදු දාහතක් ගෙවුණු දින ඔහු සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ය.
එදා සාකච්ඡාවේදී ඔහු පෙනී සිටියේ, ඔහු ම කලෙක වැඩ බෑ කියූ රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාසගේ නම නොකියා විවේචනය කළේ ය. මංගල අපට අවසන් වරට හමු වූයේ 2018 ජූලි මාසයේදී ය. ඒ ද සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙනි. comrade.lk වෙබ් අඩවිය වෙනුවෙන් කළ ඒ සාකච්ඡාවේදී ඔහු කීවේ දිනන්න පුළුවන් අපේක්ෂකයා සජිත් කියා ය. ඒ අතරමැද වාර දෙකකදී, හිරු ‘සලකුණ’ වැඩසටහනෙන් ඔහු අප සම්මුඛ වූ විට, එහි ආ බොහෝ දේශපාලනඥයන් සේ ම වංගු උත්තර දී ප්‍රශ්නවලින් පැනගත්තේ ය.

මංගල සමග සමීපව වැඩකරන්නට අපට අවස්ථාව ලැබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක වගකීමක් දැරූ සමයේ ය. රුවන් විසින් හඳුන්වා දෙනු ලැබූ මොහොතේ ම, මා ඔබේ පක්ෂයේ නම් නොවේ යන්න අප අවධාරණය කළ විට ඔහු කීවේ ඒකට කමක් නැති බවයි. ඔහු අප අතර තිබූ එක ම කොන්දේසිය වූයේ ජාතිවාදයට ආගම්වාදයට ඉඩ නොතබමින් මාධ්‍ය මෙහෙයවීම පමණි. රාජ්‍ය මාධ්‍ය මෙහෙයවීමේදී, මංගල, එක් ජාතිවාදයකට පමණක් විරුද්ධ වූ කෙනෙක් නොව, සුළු යැයි හඳුන්වන ජාතිවාදයන්ට ද එරෙහිව දැඩිව කටයුතු කළ කෙනෙක් බව ඔහුට සාධාරණයක් වනු පිණිස ලියා තැබිය යුතු ය. එමෙන් ම, මංගල යනු නිර්මාණශීලී මිනිසුන්ට බය කුහකයෙක් නොවේ.

එකඟතාවලදී හොඳට ම එකඟ වී නොඑකඟතාවලදී කොන්දේසි නැතුව රණ්ඩු කළ, වැඩිමහල් මිත්‍රවර දක්ෂිණාංශික දේශපාලනඥයා නැති අඩුව අපට දැනෙයි. ඔහු කළ දේශපාලන යෝජනා ප්‍රතික්ෂේප කළේ යැයි ඔහු කිසිදා උරණ නොවී ය. මට කොළඹ ඡන්දය තිබුණා නම් මං දෙන්නෙත් කැටේට කියා අපට නොකියා වෙනත් මිතුරන් සමග කී හිතවතා යන්නට ගොසිණි. පසුගිය මැයි මාසයේදී කොරෝනා රෝගයට අප ගොදුරු වූ විට කොහොමද?යි දුරකථනයෙන් ඇසූ මනුෂ්‍යයා අගෝස්තුව අවසන් වන්නට පෙර මතකයක් පමණක් වී ඇත.
බොහෝ අය අහක බලාගෙන යන කලාප දෙස හරි කෙළින් බලා තමන්ගේ මතය කී මිනිහෙකුගේ අඩුව ලාංකේය දේශපාලනයට ද දැනෙනු ඇත. ඒ අර්ථයෙන්, මංගල යනු, වමේ දකුණේ කාටත් චැලේන්ජ් එකකි. දේශපාලනය යනු බලයේ ක්‍රීඩාව නම්, මංගල යනු මෙරට මෑතකාලීන දේශපාලනයේ විස්මිත ක්‍රීඩකයා ය. කණ්ඩායම් නායකත්වය නොදැරුවද, ඔහු, තරගය ඕනෑම පැත්තකට හැරවිය හැකි ක්‍රීඩකයෙක් විය. පිට්ටනියේ ක්‍රීඩාව මෙන් ම ක්‍රීඩාගාරයේ කල්මැරීමේ ක්‍රීඩාව ද ඔහු දැන සිටියේ ය. ඔහුට වැරදුණු තැන් ද නොතිබුණා නොවේ. එහෙත් වැරදීම පැරදීමක් නොවන ලෙස කළමණාකරණය කරගැනීමට ඔහු දක්ෂ විය.
විස්මිත ක්‍රීඩකයා නික්ම ගොස් බැවින් පිට්ටනිය මේ මොහොතේ පාළුවක් උසුළයි ! එහෙත් දේශපාලනය යනු මංගලගේ සමුගැනීමෙන් නවතින දෙයක් නොවේ. ඔහුගේ අගතීන් මෙන් ම ප්‍රගතීන් ගැන නිවැරදිව තක්සේරු කරගැනීම දේශපාලන වැඩකි. දැනට එක දෙයක් කිව හැකි ය. ඔහු පිළිබඳ ලියැවුණු බොහෝ ශෝක පණිවිඩවල තිබූ, අවසන් බලාපොරොත්තුව ද අවසන්ය යන වැකිය මියයන්නට පෙර ආශ්චර්යයකින් හෝ දුටුවේ නම්, එහෙම කොහොමද වෙන්නෙ ? යනුවෙන් මංගල මහ හඬින් සිනා සී අසා, වැඩිපුර අයිස් කැට දැමූ සිය මධු වීදුරුව තොලගානු නිසැක ය.
කැටිපෙ
– විමල් කැටිපෙආරච්චි
සිතුවම;
Sujith Rathnayake

මංගලගේ නරකම කාලය මාධ්‍ය ඇමැතිකම් කළ කාලයයි

මංගලගේ සිරුර වාතලයට මුසුව අවසන්ය. වරක් දෙවරක් එතැන මෙතැන දී හමුවී තිබුණද වඩාත් සමීපව මංගල හඳුනාගන්නට ඉඩ ලැබුණේ මාතොට සඟරාවේ සේවය කළ කාලයේය.මංගල යනු නිදහස් මතධාරියෙකි.නියම ලිබරල් මිනිසෙකි.තමා අදහන දෙය වෙනුවෙන් දිවි දෙවනු කොට කැපවීම ඔහුගේ පිළිවෙතය.

මෙරට සන්නිවේදන විප්ලවයේ පියා මංගලය.ඒ ටෙලිකොම් පෞද්ගලිකකරණයට නොබියව අතගැසූ නිසාය. දුරකථනයක් ගැනීමට වසර ගණන් පොරොත්තු ලේඛනවල සිටි යුගය අවසන් කළේ මංගලය. පෞද්ගලික දුරකතන සමාගම්වලට දොර නොඇරුණේනම් මෙරට සන්නිවේදන ජාල මෙතරම් සීග්‍ර දියුණුවකට පත්වන්නේ නැත. වෙබ් ,බොලොග් , යූටියුබ් චැනල්ද නැත.තරගකාරී පරිසරයක පවා ආණ්ඩුවේ දුරකතන සමාගම් පෞද්ගලික සමාගමිවලට පසුපසින් ගාටන ආකාරය අනුව මංගලගේ ක්‍රියාමාර්ගයේ නිවැරදි බව තහවුරුවේ. එසේම ඔහු රජයේ දේපළ විකුණා කොමිස් සාක්කුවේ දාගත් බව කිසිවකු කියන්නේ නැත.අනුග්‍රාහකයනට අනුග්‍රහ දැක්වූ අවස්ථා තිබිය හැකි වුව ඔහු දේශපාලනයෙන් මුදල් ඉපයූවේ නැත.අනුග්‍රාහකයනට උපකාර කිරීම ඔහු නියැලුණු දේශපාලනයේ ස්වරූපය අනුව සහ මැතිවරණ ක්‍රමය අනුව මඟහැර යා නොහැකිය.වෙනස් වටපිටාවකනම් සමහර විට ඔහු අතින් එවැන්නක් පවා සිදු නොවනු ඇත.මා දන්නා තරමින් මංගල රියැදුරුගෙනුත් අතමාරු ඉල්ලා ගන්නා තරමට දුප්පතෙකි. ඇමැතිකම නැතිවූ විට යන්නට නිවෙසක් නොතිබුණු ඇමැතිවරයෙකි.

මෙරට තැපැල් සේවය නවීකරණය සඳහාද මංගල උත්සාහ ගත්තේය .මූසල පාට තැපැල් හල් මොඩ් පොෂ් කර තැනූ මංගල ඒවාට ෆැක්ස් , ෆොටෝ කොපි යන්ත්‍ර සවිකළේය.ලිපිද්‍රව්‍ය කවුළු එකතු කළේය.ඒවා එතැනින් ඉදිරියට ගියේ නම් සමහර විට මෙරට තැපැල් සේවය ලාබ ලබන තත්ත්වයට පත්වන්නට තිබුණි.
දේශපාලන උපායකාරයකු වශයෙන්ද මංගල විශේෂය.යූඑන්පීකාරයන් පවා රනිල්ට බෑ කියන තරමට මතය හැදුවේ මංගලය.ඒ එකක් පමණි.රජුන් තැනීමටත් රජුන් වැට්ටීමටත් හේ දක්ෂය.තමා ගෙනා කෙනා වුව අප්සෙට් නම් වට්ටන්නට ඔහු කටයුතු ක⁣ළේය. හොඳම නිදසුන් චන්ද්‍රකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂය.
ආගම්වාදයට යට නොවූ ඔහු සිවුරට හෝ ලෝගුවට හෝ බිය වූවකුද නොවේ.භික්ෂූන් සමඟ ඇතිවූ ඔහුගේ ගැටුම් වලට හේතුවද ආගම සම්බන්ධයෙන් ඔහු දැරූ නිදහස් මතවාදයය.සැබෑ ⁣භික්ෂුත්වයට පූජකත්වයට ගරු කළ නමුත් ඔහු කපටි චේතනාවෙන් යුතුව සිවුරු ඉදිරියේ ලෝගු ඉදිරියේ දෙකට නැමුණේ නැත.ඇතැමුනට ඔහු බෞද්ධ විරෝධියකු ආගම් විරෝධියකු වූයේ එම චරිත ලක්ෂණය නිසාය.
මංගල ජාතිවාදියකුද නොවේ. යුද්ධයේදී ආණ්ඩුව සමඟ හිටගත් නමුත් සුළු ජාතීන්ගේ අයිතිය , බලය බෙදීම වෙනුවෙන් පෙනීසිටියේය.කිය යුතු දෙය නොපැකිල කීවේය. වාසි අවාසි බලා කතාකළේ නැත.කවර තත්ත්වයක් යටතේ වුව තමා කළ කී දෙය වෙනුවෙන් පෙනීසිටියේය.තනිව හෝ සටන් කළේය.
මංගලගේ නරකම කාලය මාධ්‍ය ඇමැතිකම් කළ කාලයයි. කලෙක මාධ්‍යවේදීන් රැස්වූ එක්තරා තැනකට ඔහුට යාමට සිදුවූයේ ෆයිල් කවරයකින් මුහුණ වසාගෙනය.

ලාංකීය දේශපාලනයේ මංගල අපේක්ෂා කළ ඉලක්කයට ඔහුට යාමට හැකිවීද යනු ගැටලුවකි.
ඔහු මියගියේ මියයා යුතු වයසකදී හෝ කාලයකදී හෝ නොවේ. මංගල මහා ධාරිතාවක් සහිත මිනිසෙකි. එහෙත් ඔහුගේ දේශපාලන දර්ශනයට ගැලපෙන දේශපාලන පක්ෂ ,දේශපාලන නායකයන් , ඡන්දදායකයන් මෙරට සිටීද යනු ගැටලුවකි. මර්වින් සිල්වා රූපවාහිනියට කඩා පැන්නේ මහානාම පාලම විවෘත කළ දා මංගලට දෙසූ දෙසිල්ල රූපවාහිනියේ හරිහැටි විකාශය නොවූ නිසාය.ඒ වන විට මංගල විපක්ෂයේය.මර්වින් මහින්ද පිලේය, ආණ්ඩුවේය. පසුව මංගල එජාපයේය . ටික කලෙකින් මර්විනුත් එජාපයේය. මංගල අන්තිමට සිටියේ, එවැනි දේශපාලන සංස්කෘතියක මංගලට හිමිතැන වටහාගෙන විය යුතුය.මංගල මියයාම පාඩුවක් වුවත් ඔහු මියගිය ආකාරය සතුටකි.වීරයන් සේ වේදිකාවට නැඟ අපතයන් වී බැස යන නායකයන්ම පමණක් ඇති රටක මංගල අපතයකු නොවී වේදිකාවෙන් බැස ගියේය.දේශපාලකයන්ට වඳින්නට එපායැයි ඔහු පාසල් දරුවන්ට කීවේ මෙරට දේශපාලනය කුණුවී ඇති තරම දැන සිටි නිසාය.

– අනුර කේ. එදිරිසුරිය

“මංගල හරි ද වැරදි ද- මංගල ලිබරල් ද නැද්ද?
ඉතිං මංගලගෙන් හොඳ නරක ඉගෙන ගන්න”

මංගල ගැන ඉතාමත් තියුණු තාර්කික විචාර යනවා. මැරුණ කෙනෙක් ගැන වුණත් හොඳම කිව යුතුයි කියලා නියමයක් නෑ. අවගුණ වගේම සද්ගුණ ගැන කතා කිරීම තමයි නියම ගුණ කථනය. අනෙක් එක කවුරු නැතත් තමන්ව විවේචනය කරණ එක ගැන මංගල කැමති වෙයි. මංගල අන්තිම කාලේ හැසිරුණේ ඒ වගේ සෑහෙන තරමෙ පුළුල් මනසකින්. ඔහුත් ඇතුළු ලංකාවේ දේශපාලඥයින් රටට කරලා තියෙන විනාශය ගැන ඔහු අවසන් කාලෙ අවංකව කණගාටු වුණා.

ඇත්ත. මංගල ලිබරල් නැතිය, ප්‍රජාතන්ත්‍රවාදී නැතිය කියන එකට සෑහෙන තරම් සාධාරන තර්කත් තියෙනවා. හැබැයි මගේ අදහස ඒක අදාල මුල් කාලෙට. මංගල මුල් කාලේ විශේෂයෙන්ම චන්ද්‍රිකා සමග හවුලෙ ගෙනිච්චෙ ඒවගේ අධිකාරිවාදී පාලනයක්. පස්සෙ කාලෙ ජනමාධ්‍ය නිදහස ගැන කතා කළාට මුල් කාලෙ හැසිරුණේ ජනමාධ්‍ය නිදහස අහුරන්න වැඩ කරමින්. ඔහු ඇමති ධූර දරපු කාලෙ සුදුසුකම් ඇතුව හෝ නැතුව සිය ගණන් මාතරින් රාජ්‍ය ආයතනවලට පත්වීම් ලබපු හැටි රහසක් නෙවෙයි. මාධ්‍ය කියන එක හොඳටම පාවිච්චි කරන එක දැනගෙන හිටපු මංගල, රනිල්ගේ පෞද්ගලිකත්වය පවා නින්දාවට පත් කරන්න මාධ්‍ය මෙහෙයුම් කළ බව කියනවා. සුසන්තිකා ජයසිංහ- එස් බී හුටපටය වෙද්දි, පාර්ලිමේන්තුවේ දී එස්බීගේ පැත්තෙ හිටගෙන සුසන්තිකා ගැන අවඥා සහගත ලෙස කතා කළා කියලා මට මතකයක් තියෙනවා. ඒ කොහොම වුණාත් මංගලට වඩා නරකම අය ඒ කාලේ හිටියා. ඒ වගේම මංගල, සජිත්-සිරිසේන වැනි දේශපාලන පුස්සන් වෙනුවෙන් පෙනී සිටීම බලවත් වැරැද්දක්. සිරිසේනට කොළඹ අර මහා මන්දිරය දෙද්දි මංගල සද්ද නැතුව හිටියා.

දේශපාලනයේ දී අද දවසේ වැදගත් වෙන්නේ දේශපාලඥයින් කොයි තරම් නව්‍ය සහ නවීකාරක වෙනව ද කියන එක. ඒ ලක්ෂන මංගල ලඟ තිබුණා. ඊට අමතරව නිළධාරිවාදය සහ දේශපාලන කැඳ හැලිය නිසා වසර ගණන් ඇදි ඇදී තිබුණු රාජ්‍ය ආයතනවල යම් යම් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න මංගල යුහුසුලු වුණා. එකක් තමයි තැපැල් සේවය ආරම්භ වී වසර 150 කින් පස්සෙ උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් හිමි කරදෙන්න 1994 දී පණත් සම්මත කරගත්ත එක.

මුල් කාලෙත් පසු කාලෙත් ජාතීන් අතර සාමය ඇති කරන්න ඔහු ගත්ත උත්සහය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සම කරන්න කෙනෙක් නෑ. ලංකාවේ ජාතිකවාදී දේශපාලඥයෝ බලය ඉදිරියේ සෑම ආගමකම පූජකයින් ඉදිරියේ දන ගහද්දි මංගල ඒ අතින් සෑහෙන තරම් දුරස් වෙලා හිටිය කියලා තමයි මම හිතනේනෙ. ඇතැම් බෞද්ධ භික්ෂූන් ගැන ඔහු සෘජුවම විවේචනය කලා. ඒ නිසා බොහෝ භික්ෂූන්ගේ වෛරයට සහ නින්දාවට පත්වුණා. විරුද්ධවාදීන් ඒවා මංගලට එරෙහිව පාවිච්චි කළා.  ඊළඟට ගත්තම ඔහු ඔහුගේ සමරිසි භාවය සෘජුවම පිළිගත්තා. මේවගේ දේවල් සිංහල බෞද්ධ රටක දේශපාලනයේ දී අන්තිම අවාසි දේවල්. දේශපාලඥයින්ට නොවඳින්න කියල තමයි ඔහු කිව්වෙ. ඒ වෙනුවට බලය ඉස්සරහා වැඳ වැටෙන්නෙ නැති තරුණ පරම්පරාවක් ඔහු අපේක්ෂා කළා.

පසුකාලේ විශේෂයෙන්ම අවසන් මැතිවරණයෙන් පස්සෙ තමයි මංගල සෑහෙන දුරට නිදහස් ලිබරල් මනසක් ඇතිව වැඩ කළේ කියන්න  පුළුවන්. ඔහුගෙ ඉලක්කය වුණේ ඊළඟ පරම්පරාව. ආගම්, කුල-මල, ජනවාර්ගිකත්වය මත්තේ නැහෙන පරම්පරාවක් නොව සමානාත්මතාව, නිදහස, විවිධත්වය තුළ ඊළඟ පරම්පරාව නිර්මාණය කරන්න තමයි ඔහුගේ අපේක්ෂාව වුණේ. ඔහු තරුණ පිරිස් එක්ක නව ව්‍යාපාරයක් පටන් ගත්තා.
ඉතිං අනාගතේ කවුරු ආවත් ඒ මංගල කරපු නරක වැඩ අතඇරලා හොඳ වැඩ කරන්නකෝ. චම්පික-සජිත්-අනුර ඒ හැමෝම. ඒ විතරක් නෙමෙයි තරුණ දේශපාලඥයින් විශේෂයෙන්ම. මොකද මංගල තරුණ කාලේ දේශපාලනේදී ගොඩක් වැරදි කළානේ. ඉතිං ඒක කලින් දැකලා ඕගොල්ලො නිවැරදිව කරන්න. මංගලගේ හොඳ නරක දෙකෙන්ම ‍ඉගෙන ගන්න කියන්නෙ ඒකයි. මංගල ගැන වුණත් අපි කතා කරන්නෙ සාපේක්ෂවයි. අනෙක් දේශපාලඥයින්ට වඩා මංගල හොඳද නැද්ද යන්න ඉතිහාසය තීරණය කරයි.
– අතුල දිසානායක – (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

three × 2 =