“මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙක්”

- ජනතා විමුක්ති පෙරමුණ

හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වූ අතර මේ පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ මෙරට දේශපාලන තුළ තීරණාත්මක අවස්ථාවලදී මංගල සමරවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ සමීපව කටයුතු කළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කරන ලද සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

මංගල සමරවීර මහතා විශ්වාස කළ දේශපාලන ගමන්මඟ පිළිබඳවත්, ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳවත් ඔහු සහ අප අතර ඇත්තේ පැහැදිලි වෙනස්කමකි. එසේ වුවද ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක් විය.

ඔහු කිසිවිටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැත. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුළ මතු වූ ඇතැම් තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හිදී ඔහු අප සමග සමීපව කටයුතු කළ ආකාරයද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.

ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනා සමඟ එම ශෝකය බෙදාගැනීමට අපිද එක්වෙමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2021.08.24

Leave A Reply

Your email address will not be published.

nineteen + twenty =