මුකුත් නොකියා ඉන්නම් මංගල…- පුරවන්න බැරි හිස්තැනක් ඉතිරි කරමින් මංගල ත් ගියා

තියරි ලියන්නේ නැතුව ඉන්නම් මංගල. දැනෙන දේ විතරක් ලියන්නම්. බුකියේ පල්ලෙහාට යන්න බෑ මංගල. උඹට දාල තියන පෝස්ටු කන්දරාව. ලයික් දාන්නද සෑඩ් දාන්නද හාට් දාන්නද දන්නේ නැහැ. මොකක් දැම්මත් එකයි මංගල.

නිව්ස් එකක් හින්දා මේ හිස් බව මට මීට කලින් දැනුණා නම් ඒ ක්ලැරන්ස් ගිය දවසේ මංගල. පට්ට උදේ ඇහුන ඒ නිව්ස් එකෙන් ඇඳෙන් කෙළින් වෙච්ච මම එදා දවස ගෙව්වේ කොහොමද කියන එක අදටත් හිතන්න බැරි දෙයක්. අද මේ නිව්ස් එක මම දකිද්දී මද්දහන් වෙලා. එදාටත් වඩා අද අවුල් කියන්න පුළුවන් මංගල.

උඹට කොරෝන කියල අහපු දවසෙත් මම පෝස්ටුවක් දැම්ම. ඒත් ඒකත් බලන්නේ නැතුව යයි කියල හිතුවේ නැහැ.
ඉතිහාසේ කවදාවත් මට සිරිකොතට යන්න හේතුවක් තිබ්බේ නැහැ. හැබැයි උඹ නිසා දවස් දෙකක් යන්න උණා මංගල. ඒ ගිය දවස් දෙකේම උඹේ කාමරේටත් ගොඩ වැදුණා. රුවන් මට මුලින්ම හම්බ වෙන්නෙත් එදා. ඊට පස්සේ දීප්තිගේ තාත්ත නැති වෙච්ච දවසේ.

X කියල දේශපාලනයක් තිබිල අපි ඔක්කොම යම් විදියකට එකට ගැට ගහගන්න පුළුවන් වෙච්ච හුයක් තිබ්බනම් ඒ උඹ මංගල. X දේශපාලනේ කවුරුවත් උඹ වෙනුවෙන් නෝට් එකක් ලියයි කියල මේ වෙලාවේ හිතන්න බැහැ. ඒකත් උඹේ අවුලක් වත් උන්ගේ අවුලත් වත් නෙවෙයි මංගල. ඒ මේ බිමේ හැටි. මේ බිමේ වෙනස් දෙයක් කරන්න උඹට ඕනි උණා. ඒ ජීවය තවම මේ බිමේ තියනවා මංගල.

වමෙන් ලොකු ඕකේ එකක් දෙයි කියලත් හිතන්න බැහැ. මොකද උඹ වමෙක් නොවුන නිසා. දකුණෙන් ලොකු ඕකේ එකක් දෙන්නෙත් නැහැ. මොකද උඹ උන් වගේ නොවෙන නිසා. වෙන කවුරුත් ලොකු දෙයක් කියන්නෙත් නැති වෙයි මොකද ලංකාවේ මැද මාවතකුත් නැති නිසා. බුකිය උඹ ගැන අඬන්නේ අර ගොඩවල් වලට වැටෙන්නේ නැති උඹව තේරෙන එවුන් ටිකක් මේ බුකියේ සැරිසරන නිසා.

උඹේ නැතිවීම ලාභද පාඩුද වගේ ඒවා මේ වෙලාවේ නොකියා ඉන්නම් මංගල…
උඹට තේරුණු සහ දැනුණු දේවල් ටිකක් වෙනුවෙන් ඇත්තටම පෙනී හිටිය. සමාජය කියන එක ඉල්ලා සිටිය විදියටම ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ විදියකට ජීවත් උණා. ඇත්තටම තමන් කවුද කියන එක වෙනුවෙන් ලංකා පොළොවේ ජීවත් වෙච්ච් මිනිස්සු වැඩිය නැති වෙලාවක තමන්ගේ විදියට උඹ ජීවත් උණා මංගල. යම් මිනිස්සු පිරිසක් ඔයාට ආදරය කරන්න හේතුව ඒක වෙන්න ඇති මංගල.

වැරදි නැති දේශපාලඥයෝ කොහේ හරි ඉන්නවද මම දන්නේ නැහැ. උඹ අතිනුත් වැරදි වෙන්න ඇති.
ලොකු පිය සටහන් මේ පොළවේ සනිටුහන් කරන්න බැරි වුණත් මංගල කියල ජීවිතයක් ලාංකික පොළොවේ ඇවිදගෙන ගිහිල්ල තියනවා. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් මංගල.
ඒ නිසා සුබ ගමන්වත් ආයේ හමුවෙමු වත් මේ පොළවේ නොකියා ඉන්නම් මංගල…

– මහේෂ් හපුගොඩ (fb)

පුරවන්න බැරි හිස්තැනක් ඉතිරි කරමින් මංගල ත් ගියා

මංගල ත් ගියා. මංගල මුලින්ම මුණ ගැහුණේ මාඝාත වේදිකා නාට්‍යය ලයනල් වෙන්ඩ්ට් එකේ රඟ දක්වපු දවසක. නාට්‍ය දර්ශනය ඉවර වුනාම වේදිකාව උඩට ඇවිත් උණුසුමින් වැළඳගත්තා. අවසන් වරට මුණ ගැහුනේ මුදල් අමාත්‍යංශයේ මුදල් ඇමති නිල කාමරයේ පැවති රාජකාරී රැස්වීමක දී. එදා අපි හිටියේ අඳුරන්නේ නැති දෙන්නෙක් විදියට.

තමන් අතින් සිදුවුණ වරදක් නිවැරදි කරන්න ඕනම කෙනෙකුට ජීවිතය එක අවස්ථාවක් දෙනවා. අතීතයේ දවසක දේශපාලනිකව තමන් අතින් සිදුවුන වරදක් නිවැරදි කරන්න ඔහුටත් වාරයක් ලැබුණා. ඒත් ඒක කරගන්න බැරි වුනා. ඒ බැරි වුනේ ඔහුගේ වරදින් නෙවෙයි.
ලංකාවේ දේශපාලනය තුල මංගල කියන්නේ අනන්‍යතාවක්. තනියෙක්. ඔහුගේ නික්මයාමත් එක්ක රටේ දේශපාලනයට අහිමිවන්නේ ඒ අනන්‍යතාවයි.

මේ චායාරූපය මම ගලවා ගන්නේ තුෂාරා සෙව්වන්දි ගේ වෝලයෙන්. මෙහි පසුබිමේ එල්ලා තිබෙන සිතුවමේ තියෙන්නේ ‘කොවිඩ්-19’ එක්ක ද්වන්ධ සටනක්. දුඹුරු ඩිමයි කඩදාසියක චාර්කොල් වලින් සුජිත් රත්නායක ඇඳි සිතුවමක්. බෙයාර් ෆූට් ගැලරියේ ප්‍රදර්ශනයක තිබුණු සුජිත් ගේ සිතුවම් අතර මගේ සිත වඩාත් ආකර්ෂණය කල සිතුවම් වලින් එකක්. දෛවය විශ්වාස නොකලත් මේ තේරීම දෛවෝපගත එකක්.
ඒ ද්වන්ධ සටනින් මංගල පැරදුනා….
පුරවන්න බැරි හිස්තැනක් ඉතිරි කරමින් යන්න ගියා.
සුබ ගමන් මිත්‍රයා…!!

– අශෝක හඳගම (fb)

“ඒත් අමාරුම තැනින් පටන් ගන්න ඕන කියල මම හිතුව”

තමන් විශ්වාසකල මතය වෙනුවෙන් නිර්භවයව ඔබ පෙනී සිටියේය, කතා කලේය. අනෙකා ඔබට කියු දේ ඔබට අදාල වුයේ නැත. ඔබ අහිමිවීම මෙරටට ඇතිකල රික්තය සුලුපටු නොවේ. පුද්ගලිකව ගතහොත් ඉතාමත් යහපත් මිතුරෙකු අප හැරගොස් ඇත.
දිනක් ඔබ කියූ දෙයක් මේ සටහනට එක්කරන්නම්; සුදු නෙලුම් ව්‍යාපාරයේ ආරම්භක රැස්වීම අපි කලේ අකුරැස්සෙ, ඒ කාලෙ අකුරැස්සෙ ඒ වගේ දෙයක් කරන්න පුලුවන් කමක් තිබුණෙ නෑ, ඒත් අමාරුම තැනින් පටන් ගන්න ඕන කියල මම හිතුව, ඒ වගේම එහෙම කලා”.
ඔබට සුබ ගමන් මංගල.

– උපුල් කුමාරප්පෙරුම

සුබ ගමන් මංගල

ස්කැන්ඩිනේවියානු ආදර්ශ සහිත ලිබරල් දේශපාලන මතයක් පිළිබද සංවාදයකදි මුලටම එන නම මංගල.. මුල්කාලීන දේශපාලන පසුගාමීත්වය ක්‍රමයෙන් නූතන කර ගන්න ඔහුට හැකි උනා..ඒ වෙනස්කම් එක්ක තමයි මංගල අපිට සමීප වෙන්නෙ..රටේ ජාතික දේශපාලනය අමු ගෝත්‍රවාදී කල්ලියක් අතට පත් වෙනකොට මංගල එතැනින් විතැන් වෙලා මතවාදීවත් භාවිතය ඇතුළෙත් නූතනවාදී කතිකාවක් පටන් ගන්න උත්සාහ කරමින් හිටිය..ඔහු ජාත්‍යන්තර පුරවැසියෙක් විදිහට ලෝකය දකින්න උත්සාහ කරමින් හිටිය..ඔහු අහිමි වීම බලවත් පාඩුවක්..මේ කොදෙව්ව අමන ජාතිවාදීන් ආගම්වාදීන් සහ හම්පඩ සංස්කෘතිකවාදීන්ගෙ ගොදුරක් වෙලා තියෙන වෙලාවක ලිබරල් දේශපාලන ප්‍රවාහය ඇතුලෙ මංගල හොද සටන් සගයෙක්..මේ නරකාදිය අපට පවරල මංගල ඔබ ගියා..

– රවී සිරිවර්ධන

ලංකාවේ දේශපාලනය කියන්නේ බුද්ධිමය කන්තාරයක්.

ඒ බුද්ධිමය කාන්තාරයේ තනි තනි ගස් කීපයක් විතරක් තැනින් තැන ඉතුරු වෙලා තියෙනවා. මංගල කියන්නේ එහෙම ඉතුරු වෙලා තිබුණු තනි ගහක්.

මංගල ගේ අභාවයත් එක්ක ඒ දේශපාලන කාන්තාරය තවත් වියැළෙනවා. තවත් කාෂ්ටක වෙනවා. තවත් දුප්පත් වෙනවා.
මංගල කියන්නේ බෝධිසත්ත්වයෙකුවත්, සත්පුරුෂයෙකුවත් නෙවෙයි වෙන්න ඇති. එහෙම මිනිස්සු කොහේවත් හොයන්න නැහැ. අනෙක් හැමෝම අතින් වගේ ම මංගල අතිනුත් වැරදි වෙන්න ඇති. අඩුපාඩු වෙන්න ඇති.

මිනිහෙකුගේ වැරදි එක්ක අපි ඔහු ජීවත් වෙලා ඉන්න කාලය තුළ හැප්පෙනවා. වාද කරනවා. තර්ක විතර්ක කරනවා. විවිධාකාරයේ මත ගැටුම් හදාගන්නවා. ඒත් ඒ හැම සටනක් ම, වාදයක් ම, මතගැටුමක් ම මරණයත් එක්ක අවසන් වෙනවා.
මරණයෙන් පස්සේ අපි කෙනෙකු තුළ වූ ‘හොඳ’ට පමණක් ඉඩ දෙනවා. මිහිරි මතකවලට විතරක් ඉඩ දෙනවා. ආදරණීය දේ විතරක් ඉතුරු කරගන්නවා. අනෙක් හැම දේම හුළඟේ පා කරලා හරිනවා. මරණය සුන්දරයි කියලා මම හිතන්නේ ඒ හින්දයි.
සුන්දර දෙයක් වෙනුවෙන් ලොකුවට දුක් වෙලා වැඩක් නැහැ. ඒත් බොල්ගොඩ ගඟ අයිනට පෙනෙන සිතිජ රේඛාවේ, ඉඳහිටක හැන්දෑවක හිසවට බමන දුම් රොදක් මැද්දේ, ලෝක දේශපාලනය ගැන කියවන පොතක් පතක් අස්සේ, ඩේවිඩ් බොවී ගේ ගීතයක රාවය අස්සේ, ටික්ටොක් එකේ උඩ පහළ යනකොට හම්බ වෙන නා නා ප්‍රකාර වීඩියෝ අතරේ අද ඉඳන් පොඩි හිස්තැනක් විතරක් ඉතුරු වෙලා තියෙයි.
ඒ හිස්තැන මංගලට අයිතියි.

මංගල කියන්නේ ඩිසයිනර් කෙනෙක්. මංගල ගේ ජීවිතය, දේශපාලනය වගේ ම මරණයත් ඔහුගේ ම ඩිසයින් එකක්. මංගල ගිය සතියේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නකොට ඔහු මියයන්න ඉඩ තියෙනවා කියලා මට හිතුණා. ඊට පස්සේ ඔහු ගේ තත්ත්වය හොඳ අතට හැරුණා කියලා ආරංචි වුණා. ආයෙ දවසක ඔහු ඇත්තට ම දකින්න පුළුවන් කියලා පොඩි බලාපොරොත්තුවක් ඇතිවුණා. ඒත් අද උදේ ඔහු නොහිතපු විදියට, නොහිතපු වෙලාවක ඒ ප්ලොට් එක ආපහු twist කරලා තියෙනවා.

මම හිතන්නේ ඒක තමයි මංගල ගේ විදිහ.
මම ඒකට කැමතියි.

– රසික ජයකොඩි (fb)

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම..

(අපේ දෙමාපියෝ අපිට හදපු රට..)
චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ දෙනෙක් කැපවුණා. මංගලත් මතුවෙලා එන්නේ ඒ කැපවීමේ ප්‍රතිපලයක් විදිහට.

ඊටපස්සේ ආවේ මහින්දාගමනය. මහින්දාගමනය අස්සෙත් මිනිස්සු හීන දැක්කා. පොඩි මිනිහා උස්සලා දිව්‍යලෝකෙට වීසිකරන්න මැදමුලනෙන් ආපු රැවුල්කාර දෙයියා විදිහට තමයි, මහින්දව මිනිස්සු ගැහැනු පිළිගත්තේ. දකුණේ මහින්ද රට හරවයි කියලා, දකුණ වමට හරවපු මංගල ඇතුලු ගොඩාක් අය එදා හිතුවා. ඔවුන් ඒ සඳහා වැඩකළා… ඊළඟට ආවේ 2015 මෛත්‍රීගමනය. ලේවැකි ඉතිහාසයක් පිළිබඳ ප්‍රශ්නයට වඩා රට පවුලකින් ගලවා ගැනීමේ ප්‍රශ්නයක් තමයි හැවෝටම තිබුණේ.

2005 ඉඳලා 2015 වෙනකම් පැවති ඒකාධිපති පවුල් පාලනයක බිහිසුනු අත්දැකීම් එක්ක ගොඩක් දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් බලාපොරොත්තු සමග ඒ දේශපාලන ව්‍යාපාරයට එකතුවුණා. මංගල කියන්නේ ඒ රැල්ලෙත් මුල් චරිතයක්. මේ ගොඩක් රැලිවලදි මංගල තමන්ගේ ඉතිහාසය එක්ක නැවත නැවතත් සටන් කළා කියලයි මට හිතෙන්නේ. තමන් මූලික වෙලා හදපු බොහෝ රැලි රට විශාල ආගාධයකට අරගෙන ගිහිං තිබුණා.. ඉතිං එයට විරුද්ධව නැවතත් සටන් කරන්න වුණා මංගලට. මංගල ඒ හැම සටනක්ම උද්‍යෝගයෙන් සහ ආසාවෙන් කළා කියලයි මට හිතෙන්නේ. එනිසා ඔහු හැමදාම උද්‍යෝගී දේශපාලන සත්වයෙක්. සටන් කාරයෙක්.

මේ වෙනකොට ලංකාවේ සීරියස් දේශපාලන චරිත හෝ නායකයෝ දකින්න හරිම අඩුයි. එවැනි තැනක මංගල ලකුණ වෙනස් දීප්තියක් තමයි අරගෙන ආවේ. ඔහු ක්‍රියාවේදී යම් පරතරයක් පෙන්නුවත්, ඔහු කතාකරපු ලිබරල් සමාජසාරය අපි බොහෝ දෙනෙක් ගේ ජීවිතාසාව වැඩිකලා. ඔහු මුදාහැරිය අදහස් පද්ධතිය අපි හැවෝටම අලුත් ඇසක් දුන්නා ජීවිතය සහ සමාජය අලුත් විදිහකට දකින්න. විශේෂයෙන් වාටියට විසිවුණ සමාජ කොටස් වෙනුවෙන් ඔහුකළ අරගලය අපිට බොහෝ පාඩම් ඉතුරු කළා.

අනාගත නායකයෙක් මේ රට දියුණු රටක් කරන්න අදහස් කරනවා නම් මංගලට තිබුණ ඔහු නිතරම කතා කළ නමුත් ඔහුට තමන් ප්‍රතිපත්ති සම්පාදක භූමිකාවේ සිටියදී කරගැනීමට නොහැකිවූ, ඒ අදහස් සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුතුයි. ඒ මන්ද දියුණු ලංකාවක් නවීන ලංකාවක් සඳහා ඒ අදහස් සහ ප්‍රතිපත්තීන් ඉතාමත් වැදගත් නිසා..

1994න් පස්සේ මංගලා ප්‍රමුඛව ගොඩනඟපු රාජ්‍ය තමයි අද මේ විශාල අර්බූදයක ගිලිලා ඔක්සිජන් දෙමින් බොහොම අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ඇත්තටම මංගල එහිම ගොදුරක් වීම ගැන මට විශාල දුකක් තිබෙනවා. මේ ඉතිහාසය නිර්මානය කරන්නට දරදිය ඇද්ද, තවමත් ජීවග්‍රහයෙන් සිටින නායකයින් කල්පනා කළ යුතු දෙයක් මේක. අවුරුදු 60 වැඩි මිනිස්සුන්ට වැක්සීනය නියමිත වෙලාවට දුන්නේ නැති එක රාජ්‍යයේ ප්‍රශ්නයක්.. ඔව්.. මේවා ඝාතන සේ අපි ගතයුතුයි. අපේ දෙමාපියෝ අපිට උරුම කරපු රට තමයි මේක. අපිත් එයම අපේ දරුවන්ට උරුම කරනවාද? මෙවැනි මරණ හරහා හෝ අපේ පරපුර කල්පනා කළ යුතුයි.

ඒ නිසා මංගල නම් භෞතිකය පොළව සමග මුසුවුණත් මංගල නම් සාරය හැමදාම පවතීවි. ඒ සාරය සමග මෙවැනි වසංගතයක දී හෝ කෙළින් සිට තමන්ගේ පුරවැසියා ආරක්ෂා කරගන්නට පුලුවන් රාජ්‍යක් සාදාගැනීමට වෙහෙස වීම මංගලට කරන ගෞරවයක්.. ඉතිං සුබ ගමන් මංගල..!
– කේ.සංජිව (fb)

යා යුතු අපතයන් මෙතරම් සිටින රටේ
මහ ගස් හිටි ගමන් පොලවට ඇදන් වැටේ
මංගල වගේ අය නැති කල මකර කටේ
පිරෙයි වියත් කියනා හොරුනගේ කැටේ

මතවාදයන්හී අප අතර වෙනස්කම් තිබියද මංගල ඔබ මිනිසෙකි. අප ඔබට ගරු කරන්නේ එහෙයිනි.
– චුලානන්ද සමරනායක

මංගල අපේ ගමේ මනුස්සයා ය.

පසුව ඔහු රටේ මහා මිනිසෙක් විය. ඔහු මහා වූයේ බලයෙන් නොවේ. චින්තනයෙනි. නූතනත්වයෙනි.
1989 පිජාමා කලිසමකින් සහ කමීසයකින් සැරසී පාපැදියෙන් මාතර නගරය පුරා සැරිසරද්දී ඔහු ‘අමුතුම මිනිහෙකු’ බව පළමු කොට අපට පසක් විය. අනතුරුව භීෂණයෙන් අතුරුදන් වූ දරුවන් සොයමින් සිටි පවුල්වලට අස්වැසිල්ලක් වූ “මව්වරුන්ගේ පෙරමුණ” ඔහු විසින් බලගැන්විණි. එතැනින් ඔහු මැතිසබයට යැවීමට මාතර මිනිසුන් තීරණය කරන්නේ අතිවිශාල විශ්වාසයකිනි.
ජරපත් ගෝත්‍රික දේශපාලනයට අභියෝගයක් වූ හෙතෙම ජාතිවාදීන්ගේ හා ආගම්වාදීන්ගේ පරම සතුරෙක් විය.
සිය ප්‍රතිවාදීන්ගේ නිලයටම පහර දෙන්නට සමතකු වූ ඔහු ඉතා දක්ෂ සංවිධායකයෙකි. නිර්භීත මිනිසෙකි.
සංවර්ධනයේ පසුගාමිත්වයට ගොදුරු වූ මාතර පුරවරය ඔහු ඉතා කෙටි කලකින් කණපිට පෙරළා ජීවයෙන් පුබුදුවාලීය.
යමක් නිවැරදිව ග්‍රහණය කර ගන්නට ඔහුට ඉඟියක් පමණක් ප්‍රමාණවත් විය. සියල්ල ඔහු ටක්කෙටම සැලසුම් කළේය; රටේ ඉදිරි දේශපාලන දිශානතීන් නිවැරදිව පුරෝකථනය කළේය. සිය ප්‍රතිවාදීන් වූ මහින්ද රාජපක්ෂ පිළිබඳවද, සුනිල් හඳුන්නෙත්ති පිළිබඳවද, අලුත් මංත්‍රීවරයෙකු වූ ශානකියා රාසමානික්කම් පිළිබඳවද ඔහු කටපුරා කතා කළේ කුහකත්වයකින් තොරවය. කොහොමටත් ඔහු විවෘත මිනිසෙකි. ලෝකයේ නව දේශපාලන ප්‍රවණතා පිළිබඳව අවදියෙන් සිටි විචක්ෂණ චින්තකයෙකි. ඔහු මෑත අවදියේ සිටි සාර්ථකම විදේශ ඇමතිවරයා ලෙස ලෝකය දිනාගත්තේ රටට එරෙහි ජගත් සාධක සමූහයක් මධ්‍යයේය.

ගිනිගත් යාපනය පොත්ගුල යළි නංවන්නට ඔහු “පොතයි ගඩොලයි” රැගෙන ආවේය. “සුදු නෙළුම” සහ “තවලම”ද, “ගම්පෙරළිය”ද ඔහුගේ ව්‍යාපෘතීන්ය. දේශපාලනඥයන්ට වඳින්නට එපා කී ඔහු පිටකොඳු සවිමත් අනාගත පරපුරක් ප්‍රාර්ථනය කළේය. “මාතොට” වැනි සඟරාවකින් බුද්ධිමය පරපුරක නිදහස් චින්තනමය අවකාශයකට ඉඩ පෑදුවේය. මෝස්තර නිර්මාණය හැදෑරුවද, ඔහු නම් පටබැඳීමට මෙන්ම සන්නාම නිර්මාණයටද සමතෙකි. එය වෙනම නිර්මාණශීලී ලක්ෂණයකි.

මංගල පිළිබඳ විවේචනද අපමණය. එහෙත් දූෂිත දේශපාලනඥයන්ගේ ගොඩට ඔහු ඇද වැටී නොසිටියේය. ඇමැතිවරයකු ලෙස විදුලි සංදේශ ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔහුට ලැබුණු කොමිස් මුදල පවා වැය කළේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකරන්නටය. අද එය මාතරට සම්පතකි.
ඔහු සිටි හැම කඳවුරම නිවැරදි නොවීය.

කොයි කඳවුරේ සිටියත් ඔහු එයට ශක්තියක් වූයේය. කඳවුර කුමක් වුවත් මෙවන් මිනිසුන් නූතන දේශපාලනයට ප්‍රභාවක්ම බව ප්‍රතිවාදීහුද පිළිගනිති.
මේ මංගල චරිතාපදානයෙන් අල්පයකි.

ඉදිරියේදීද රටේ දිශානතිය යහපත් ලෙස වෙනස් කරන්නට මහා බලපෑමක් කළ හැකි විභවතාව ඔහු තුළ තිබිණ.
මෙම මරණය, මෙරට නිදහස් මතධාරීන් තුළ කම්පනයක් ඇති කර ඇත්තේ එහෙයිනි.
– නිලාර් එන්. කාසිම් (fb)

හිතවත් මංගල,

නිමාවකට පැමිණි සිදුවීම් ද‍, ඇදවැටුණු මනුෂ්‍යයින් ද පසුකර කාල ප්‍රවාහය මිනිස් සංහතිය මැදින් නොනැවත ගලායන්නේ ය.
එහෙත් ඉතිහාසයේ ඇතැම් හිස්තැන් කිසිදා පිරවිය නොහැකි හිඩැස් ලෙස ම ඉතිරිවන්නේ ය.
චන්ද්‍රිකා යුගයේ සිට මහින්දට ඔබ එපාවන යුගය දක්වා ඔබ සිටි දේශපාලන තැන හිස්තැනක් නම්, මම ඒ හිස්තැන එසේම තිබෙනවාට අතිශයින් කැමැති වෙමි.

එහෙත් අවාසනාවට ඔබ ජීවත්ව සිටියදීම, ඒ හිඩැස පුරවන්නට තවත් ඕනෑතරම් ඔබේම අනුගාමිකයෝ ද, ගෝලබාලයෝ ද, එසේ නොවන්නෝ ද වූ විවිධ ගෝතයෝ රොදබැඳ පැමිණියහ. අදටත් පැමිණෙන්නාහ.
එනමුදු, ඒ යුගයෙන් පසු පැමිණි යුගය අකල් මරණයකින් නිමාකර ඔබ තබා යන හිස්තැන සදාකාලික හිස්තැනක් වෙතැයි මම කණස්සල්ලෙන් යුතුව කල්පනා කරමි. එය දේශපාලන මිනිසකු ගේ නොව සංස්කෘතික මිනිසකු ගේ හිස්තැනකි.

විසම්මුතියෙන් අඩුවක් නැතත්, එය හිඩැසක් විය ‌නොයුතු හිඩැසකි.
එහෙත් පුරවන්නට කිසිවෙක් පේනතෙක් මානයක නැති හිඩැසකි.
ඔබ නික්මගිය තැන හිස්තැනක් ම වන ඒ යුගයේ සාතිශය වැඩි කාලයක් ඔබ භෞතිකව ඇසුරුකරන්නට මාගේ විගාමික දිවිය හරස්වීම ගැන මට ඇත්තේ සන්තාපයකි‍.
එක්ව බෙදාගත් කෙටි සටන් ඉතිහාසයේ මතක සදා සුරකිමි. ඒ ඉතිහාසයට යළි පණදිය හැකි යුගයක් ඒදැයි සීරුවෙන් කල්බලමි‍.

එහෙත් ඔබ හෝ ඔබට අනුප්‍රාප්තික වන්නකු එදිනට යළි හමු නොවන බව ද දනිමි.
බොහෝ දේ කීමට ඇතත්, දැනට මෙතැනින් නවතිමි‍.
හොඳට – නරකට දෙකටම මංගලට මංගල වන්නට උපකාර කර, තමන් තමන් ම වූ අදිසි මිනිසාට ද අද මම මගේ ප්‍රණාමය පුදකරමි.
ඒ අදිසි මිනිසාගෙන් තොර මංගල කෙනකුගේ දැකුම කෙසේදැයි මා කිසිදා නොදිසි බැවින් ඒ ප්‍රණාමය ඇවැසිම එකකැයි මට සිතේ.
-සනත් බාලසුරිය

 

Leave A Reply

Your email address will not be published.

eighteen − nine =