“කියවීම ඉවසන්න පුළුවන් සාහිත්‍ය සංදර්භයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ”

- අනුක් අරුද්ප්‍රසාගම්

කෙනෙකු පොරබදමින් කරන දරාගත නොහැකි කියවීම නැතිනම් කියවීම ඉවසන්න පුළුවන් සාහිත්‍ය සංදර්භයක, සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟාවලියෙන් හොඳම කෙටිකතාවට හිමි සම්මානය දිනාගැනීමට තවත් ශ්‍රී ලාංකිකයෙකු වූ කාන්යා අල්මේදා සමත්වීම ද කැපී පෙනෙයි. මෙයට පෙර ශ්‍රී ලංකාවේ උපත ලද මයිකල් ඔන්ඩච්චි බුකර් සම්මානය මෙන්ම The Golden බුකර් සම්මානයද දිනාගත්තේය. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ උපත ලද කතුවරයෙකු වන රොමේෂ් ගුණසේකර ගේ Reef නම් නවකතාව 1994 වසරේදී බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වී තිබේ. කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිලිබඳ ආචර්ය උපාධිය ලබා ඇති අනුක් ඉන්දියාවේ සහ ලංකාවේ වරින්වර ජීවත් වෙයි. මෙයට පෙර ඔහු විසින් රචිත The Story of a Brief Marriage නවකතාවට 2017 DSC Prize for South Asian Literature සම්මානය හිමිවිය. මෙහි පහත දැක්වෙන්නේ ඇමරිකාවේ නිව් ජර්සි හී ලේඛිකාවක වන මීරා බ්‍රැනෙක් The Paris review සඳහා අනුක් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකින් කොටසකි.

ප්‍රබන්ධ ලිවීමට ඔබේ ප්‍රවේශය සිදුවුණේ කොහොමද?

මම පොත් කියවන ගෙදරකින් ආපු කෙනෙක් නොවන නිසා පොත්වලට මගේ පිවිසීම අත්තනෝමතික එකක්. මගේ ගෙදරට ළඟම තිබුණ බුක් ෂොප් එකෙන් හොයාගත්ත දාර්ශනික පොත් වලින් තමයි ඒක සිද්ධ වුණේ. මම කියවපු පළවෙනි පොත තමයි ප්ලේටොගේ ‘රිපබ්ලික්’ කියන පොත. ඊටපස්සේ ඩෙස්කාටෙස් ගේ Meditations කියන පොතයි, විට්ගන්ස්ටයින්ගේ දේශන සටහන් ඇතුළත් The Blue Book කියන පොතයි. ඇරිස්ටෝටල්ගේ Ethics කියන පොත කියවන්න මම උත්සාහ කළා. ඒත් මඟදි නැවැත්තුවා.

විශ්ව විද්‍යාලයට යන්න කලින් අවුරුදු පහළොව, දහසය, දහහත කාලෙදි මම දාර්ශනික පොත් විශාල ප්‍රමාණයක් කියෙව්වා. සාහිත්‍යයට මගේ ප්‍රවේශය සිදුවුණේ එහෙමයි. ඇත්තටම මම ප්‍රබන්ධ කියවන්න ගත්තේ විශ්ව විද්‍යාලයේ ඉද්දි. රොබට් මුසිල් විසින් රචිත එක්තරා පොතක්, The Man without Qualities කියන පොත. ඔහුට දර්ශනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් තිබුනා. ඔහුගේ පොතේ දිගු, අතුරුකතාමය, රචනාමය ඛාණ්ඩයන් තිබුනා. අවුරුදු විස්සෙන් පස්සේ මම නැවත කියවලා නැති නිසා දැන් ඒවා ගැන කොහොම දැනෙයිද කියන්න මම දන්නෙ නැහැ. එකල ඔහු යම් ආකාරයක ජීවමාන, දේහ වාතාවරණයක් තුළ දාර්ශනික ප්‍රශ්න කිරීම් සහ ප්‍රතිචාර දැක්වීම් සිදු කළ ආකාරය ගැන මම දැඩි ලෙස පෙලඹුනා. දාර්ශනික ගැටළු පැනනගින්නේ ජීවත්වන සංදර්භයක, සැබෑ තත්වයන්ට දක්වන ප්‍රතිචාරයක් ලෙස සහ දර්ශනය තුළ, ශාස්ත්‍රීය අධ්‍යනයේදී ඔබ ඒ ආකාරයෙන් ප්‍රශ්න කිරීම් කරන්නේ නැහැ. ඒත් මම ඒ පොත කියෙව්වා. දර්ශනය ගැන මම උනන්දුවක් දැක්වූ බොහෝ දේවල් සඳහා ප්‍රබන්ධ සහ නවකතා අතර තැනක් තිබුණ බව ඒ පොත මට පෙන්වා දුන්නා. ඇත්තටම මේ දේවල් වියුක්තව කතාකරනවාට වඩා ඒවායේ ජීවි සංදර්භයක් තුළ ස්ථානගත කිරීමෙන් දර්ශනය සරල ආකාරයකින් ආරෝපණය කරමින් කතාකරනවා. ඉතින් මම ඒ පොත කියෙව්වා, ප්‍රබන්ධ ලියන්න මම කැමතියි කියලා මම තීරණය කළා. ඒ වගේ පොතක් ලියන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත්වෙන්න මට අවශ්‍ය වුනා.

ඔබේ කෘති දෙකෙහිම, විශේෂයෙන්ම අලුත් පොත, A Passage North පොතේ ක්‍රිශාන් ගේ අති විශේෂිත ජීවන අත්දැකීම් මෙම සුවිශාල අවලෝකනයන්ට හේතු වෙන බව මම දකිනවා. අරමුණ එයද?

ඔව්, ඒත් ඒක හරියට මම මේ පොත දාර්ශනික සංවාද වලින් පුරවනවා කියලා හිතාගෙන කරපු දෙයක් නෙමෙයි. මොකද මා ලියූ දේවල්, මම උනන්දුවක් දක්වන ඒවා. ඒවගේම ප්‍රබන්ධ රචනයට මම මේ ආකාරයෙන් පිවිසීම නිසා නවකතාවක නිශ්චිත අංගයන්ට මම වැඩි අවධානයක් නැතිනම් කාලයක් වෙන්කරන්නේ නැහැ.

ඔබ වැඩියෙන් අවධානයක් නොදෙන නවකතා ලිවීමේ එවැනි අංගයන් මොනවාද?

කතාව. පරිපූර්ණ චරිතයක් නිර්මාණය කිරීම. පසුබිම. දෙබස්. ඓතිහාසික සංදර්භය. මේවාට අවධානය දෙන්න මම උත්සාහ කරනවා- මම උත්සාහ කරනවා-ඒත් ඒවා හැමවිටම පසුකල්පනාවන්. මේ අමතර දේවල් බොහෝමයක් එකතු වෙලා, ඔවුන් වර්ධනය වීමේ ක්‍රියාවලියක ඔවුන්ගේ ස්ථානය සොයාගන්නවා. ඒ වගේම මම පඨිතය කියවන සෑම විටකම ඒවා විවිධ තරංගවලින් තැන්පත් වෙනවා. සමහර වෙලාවට මට දේවල් මතක් වෙනවා. එතකොට මට ඔහ්, මට මේක එකතු කරන්න පුළුවන් වගේ හිතෙනවා. මම කෙටුම්පත් වැඩියෙන් ලියනවා. පළවෙනි කෙටුම්පත කියලා එකක් නැහැ. මට හැමතැනකම කේන්ද්‍රයන් තියෙනවා. පසුව මම ඒවා පසුකර යන හැමවිටකම එම දූපත් එකිනෙකට සම්බන්ධ කරගැනීමට අවශ්‍ය තොරතුරු තව තවත් රැස්වෙනවා. චරිතය විශ්වාස කළ හැකි හෝ කතාව රසවත් එකක් විය යුතු බව පාඨකයා බලාපොරොත්තුවන බව මගේ මනසේ තියෙනවා. මම උත්සාහ කරන්න ඕන කියන පුංචි හඬක් මගේ ඔලුවේ තියෙනවා. ඒත් නවකතා ලිවීමේ මේ අංගයන් ගැන නොවෙයි මා උනන්දු වන්නේ.

පළමු කෙටුම්පත ප්‍රතිභානය, දෙවැන්න බුද්ධිය බව කියපු විශිෂ්ට මහාචාර්යවරයෙක් මට ඇත්තටම හිටියා. ඉතින් ඔබේ ප්‍රතිභානී කෙටුම්පතේ, මේ අංගයන් අවශ්‍යයෙන්ම නොපැමිණියත්, ඔබේ බුද්ධිමට නැවත ලිවීමේදී, ඒවා පැමිණීමට පටන් ගන්නවා. ඒවා ඔබට උනන්දුවක් ඇති නොකරන්නේ නම්, ඇයි ඔබ ආපස්සට ගිහින් එම අංගයන් එකතු කරන්නේ?

පළමුවන සියවසේ පමණ සිටි සංස්කෘත කවියෙක්, බෞද්ධ කවියෙක් හිටියා. ඔහුගේ නම අශ්වගෝෂ මම හිතන හැටියට. ඔහුගේ නිර්මාණයන්ට සම්බන්ධව මම මේ අදහස අහලා තියෙනවා. එනම් ඒවායේ වාචික ගුණයන් නිසා කවිය අලංකාර, ඇසීමට ප්‍රියකර දෙයක් විය යුතුයි යන්න. ඇත්තටම මේ අර්ථයෙන් ගත්තහම කවිය මායාවක් වැනි කරුණු එක්ක ගනුදෙනු කරනවා. එක්තරා ආකාරයකින් එය බෞද්ධයන්ට ජීවිතයේ කටුක යථාර්ථය වන දෙයින් ඈතට ගෙනයන දේවලට සිත් ඇද ගන්නවා. කෙසේ හෝ ජීවිතය දුක්ඛිතයි යන බෞද්ධ අදහසට පටහැනි කවියක් බුදුන්ගේ සත්‍යය ගෙනයාමට කවිය භාවිත කිරීමේ සාධාරණ හේතු මෙම කවීන්ගෙන් ඉල්ලා සිටියා .බුදුන්ගේ ජීවිතය හෝ බුදුන්ගේ ජීවිතයෙන් කොටස් පෙති මෙන් වටහා ගත යුතු බවත්, තිත්ත පෙත්තක සීනි තවරා බීමට හැකි අයුරින් සැකසීම නැමැති සාධාරණීකරණය මෙම කවිවලට ලබාදුන්නා. යම් ආකාරයකින් එය ඉතා සරල බව දැනුණත්, නමුත්-

මම එහෙම හිතන්නෙ නැහැ.

මිනිස්සුන්ට යම් යම් දේ කියවීමට අවශ්‍ය බව මම දන්නවා. කෙනෙකුට දරාගත නොහැකි කියවීමේ අත්දැකීම් තියෙනවා නේද? මගේ ප්‍රියතම කෘතිය වූ රොබට් මුසිල් ගේ The Perfect Thing of Love නම් කෙටි නොවෙලාව නියවපු හැටි මට මතකයි. ඒක පිටු හතළිහයි. ඒත් එය අත්‍යන්තයෙන්ම ඝනකම්. ඇත්තටම ඒක කියවීම භයානක හීනයක්. හැම අවස්ථාවකම මම මහත් ගෞරවයෙන් පටන් ගන්නවා. ඒත් හෙමින් ඒක දරාගත නොහැකි වෙනවා. මම එය දෙපාරක් කියවා තියෙනවා. ඒත් බොහෝ වාරයක් එය අවසන් කරන්න මම අසමත් වුනා. ඥානවන්ත බව මා දන්නා කෙනෙකු, මට යමක් ඉගෙනගැනීමට අයෙකු නම්, දරාගත නොහැකි කෘතියක් කියවීමට මම කැමතියි. ඒත් කෙනෙකු පොරබදමින් කරන දරාගත නොහැකි කියවීම නැතිනම් කියවීම ඉවසන්න පුළුවන් සාහිත්‍ය සංදර්භයක, සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ඔබ කියවලා තියෙනවද තෝමස් බර්න්හාඩ් ගේ Extinction නම් කෘතිය?

නැහැ මම කියවලා නැහැ.

මේක තවත් දරාගත නොහැකි පොතක්. Extinction පොතේ පිටත ලෝකය ස්වාභාවික දර්ශනයක් වගේ. ඒක හරියට ඔබ එයට අවධානය යොමු නොකළ යුතු බව ඉතාම පැහැදිලි රඟහලක පසුතලයක් වගේ. පෙරතලයේ සිදුවන දේ සිදුවිය හැකි හැකියාව සැබවින්ම ඇත්තේ එතනයි. එවැනි පොතක්, එක්තරා ආකාරයක තීව්‍රතර මට්ටමක තනි විඥානයකින් අඛණ්ඩව කෙනෙකු පටලැවෙන පොතක් ලියන්න මට අවශ්‍ය වුනා. මම ගොඩක් උත්සාහ කළා. මගේ ලිවීම් කියවීමට කැමති ඕනෑම අයෙකුට හෝ මගේ ඕනෑම මිතුරෙකුට ඉවසා දරාගත හැකි අයුරින් එය කිරීමට මට නොහැකි වුනා. ඇත්තටම නම් මට ඉවසා දරාගත හැකි ආකාරයකින් මට එය කළ නොහැකි වුනා. මෙම පරමාදර්ශය අනුගමනය කිරීම මට අසීරු වුනා, කෙමෙන් කෙමෙන් වසර ගණනාවකින් ලෝකය තව තවත් නවකතාවට කාන්දු වීමට පටන් ගත්තා.

මෙම පොතේ යොමු ස්වභාවය සහ අනෙකුත් පඨිතයන් ඉටු කරන කාර්යභාරය ගැන මම පුදුමයට පත් වෙනවා. බැලූ බැල්මට ඔහුගේ ජීවිතයේ සිදුවීම් හා සම්බන්ධ නොවන පඨිතයන් තුළින් ක්‍රිෂාන් බොහෝ බලපෑම්කාරී හා චිත්තවේගී අනුනාදයන් සොයා ගන්නවා. එය ඔබේ කියවීමේ අත්දැකීමට සමානදැයි මම කල්පනා කළා.

පඨිතයන් හරහා මම බොහෝ දේවල් හිතනවා. මට හැඟෙන ආකාරය යමෙකුට පැහැදිලි කිරීමට හෝ මට සන්නිවේදනය කිරීමට අවශ්‍ය දෙයක් ගැන සඳහන් කිරීමට මාර්ගයක් ලෙස මම බොහෝ විට යොමු දක්වන්නේ පේළියක්, ඡේදයක් හෝ නිමේෂයක්. මෙවැනි නිමේෂයන් මගේ ජීවිතය පිළිබඳ මතකය පුළුල් කරනවා. ඒවා මගේ වර්තමාන අත්දැකීම හා සැසඳීමේදී මට සැමවිටම භාවිතා කළ හැකි සියුම් මතකයන් වගේ.
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

18 − 2 =