“ඒක සංස්කෘතික අංගයක්. ඒක ප්‍රශ්න කරන්න බෑ”

මම මුලින්ම පිටරටකට ගියෙ අසූව දශකයේ අග. ඉන්දියාවට. අන්ද්‍රා ප්‍රදේශ් වලට. මගේ රාජකාරියට සම්බන්ධ සම්මන්ත්‍රණයකට. ඔය හින්දි චිත්‍රපටි බලලා, මල්ගුඩි දවස් කියෝලා එහෙම ඉන්දියාව ගැන රොමාන්තික හැඟීම් වලින් පපුව පුරෝගෙන තමයි අහස් යාත්තරාවට නැග්ගෙ.

නමුත් හයිද්‍රාබාද් ගුවන් තොටුපලින් එළියට ආපු මොහොතෙ ඉඳන් ශරීරය වෙලාගත්තු අපුල මහා ඔළුව කැක්කුමකට හැරුනා. මාව කැඳවාගෙන යන්න ඇවිත් හිටි ඉන්දියානුවා එක්ක කතාවට වැටෙන්නවත් හිත දුන්නෙ නෑ. නගරය පුරා තැන තැන තියෙන දැවැන්ත චිත්‍රපටි කටවුට් පවා වමනකාරකයන් වුනා.
ඇයි ඒ. ඉන්දියානුවන් අති බහුතරයකට වැසිකිලි නෑ. උන් ශරීර කෘත්‍යය කරන්නෙ මහ පාරෙ. ඒ දර්ශනය අපුලයි. ගඳ ඉහිලිය නොහැකියි.

විවිධ රටවලින් ආපු අය මේ අපවිත්‍රකම ගැන එළිපිට කතා කලා. අතරමැදදි සියරට ගිය නෙදර්ලන්ත සහ කොරියානු සගයින් එහෙම ගියේ ඇයි කියන එක අපිට රහසක් වුනේ නෑ. දවසක් උදේ අපේ කෝඩිනේටර්, පුරුෂෝත්තම් මහත්තයා, ජාතිය ඇමතුවා. “අපිට තේරෙනවා ඉන්දියානුවන්ගේ වැසිකිළි පුරුදු ඕගොල්ලන්ව ටිකක් අපහසුතාවයට පත් කරනවා කියලා. නමුත් මතක තියාගන්න ඒක අපේ සංස්කෘතියේ කොටසක්. වෙන රටකට ආවම ඒ රටේ සංස්කෘතිය පිළිගන්න, ඒකට ගරු කරන්න පුරුදු වෙන්න ඕනෙ”.

2018දි මම අන්තිමට ඉන්දියාවට යද්දි එහෙ සෑහෙන්න වෙනස් වෙලා. විවෘත ආර්ථිකය ඉන්දියානුවන්ගේ අතමිට සරු කරලා. හුඟක් අය තමන්ටම වැසිකිලි හදාගෙන. ආණ්ඩුව හෝ රාජ්‍ය නොවන සංවිධාන පොදු වැසිකිලි හදලා. මගතොට සෑහෙන්න පිරිසිදුයි. පිරිසිදු වාතය උරමින්, සංස්කෘතිය කියන එකේ තේරුම මොකක්ද කියලා හිත හිතා, මම පාරතොටේ ඇවිද්දා.

දැන් ඉන්දියාවෙන් යමු ඇෆ්ගනිස්තානයට. ඇෆ්ගනිස්තානයේ ගෑණුන්ට නම් නෑ. නීත්‍යානුකූල ලියකියවිලිවල පවා. එයාලව හඳුන්වන්නෙ ඥාති පිරිමියෙකුට ඈදලා. අහමඩ්ගෙ දුව. හසන්ගෙ නංගි, සල්මාන්ගෙ ගෙදර උන්දෑ. අමීන්ගෙ අම්මා. අලිඛාන්ගෙ ආච්චි. ඔන්න ඔය ව⁣ගේ. පහුගිය කාලෙ ඇෆ්ගන් කාන්තාවො තමන්ගෙම වුනු නමක අයිතිය ඉල්ලලා අරගල කලා. එතනදි එයාලට ලැබුනා රෙඩිමේඩ් උත්තරයක්. “කාන්තාවන්ව එයාගෙ ළඟම පිරිමි ඥාතියාගෙ නමින් හඳුන්වන එක අපේ සංස්කෘතික උරුමයක්. අපේ සංස්කෘතියට එරෙහිවෙන්න එපා”. මේ ඊයෙ පෙරේදා වෙච්ච අලකලංචි නිසා දැන්නම් ඇෆ්ගන් ගෑණුන්ට නම්ගම් තියා ඇඩ්රසුත් නැති වේවි. පව්.

ඇයි හදිසියෙන් මේ සංස්කෘතිය ගැන කතා මතක් වුනේ? ඔය අලි ඇත්තුන්ට දස වධ දීලා හීලෑ කරලා පෙරහැරේ ගෙනියන එක අමානුශිකයි නේද කියලා ප්‍රශ්න කලාම ලැබුනෙත් ඒ රෙඩිමේඩ් ආන්සර් එකම තමයි. “ඒක සංස්කෘතික අංගයක්. ඒක ප්‍රශ්න කරන්න බෑ”.

වැඩේ කියන්නෙ සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා අදහන උදවියම සංස්කෘතිය පොඩ්ඩක් වෙනස් කරමු කිව්වම උරණ වෙනවා. සමහර විට එයාලට සංස්කෘතිය සංස්කාර ධර්මයක් නොවෙන්න ඇති.

– සුසන්ත ආරියරත්න (fb)

Leave A Reply

Your email address will not be published.

15 − ten =