‘එක පොතක් ලියලා ජීවිත කාලෙම නිහඬ වෙලා ඉන්න ලේඛකයන්ගේ ගොඩට මාත් එකතුවෙයි කියලයි මට ඒ දවස්වල දැනුණේ’

- අයිසෙක් බෂේවිස් සිංගර්

හැත්තෑ හතර වියැති අයිසෙක් බෂේවිස් සිංගර් 1978 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් පසු, නිව්යෝර්ක්හි ඉහළ බටහිර පැත්තේ පිහිටි ඔහුගේ පැරණි නවාතැනට මම ඔහුව බැලීමට ගියෙමි. ලොව පුරා වූ ජනමාධ්‍ය නාලිකාවන්ගේ නොනවතින අවධානයට පාත්‍රවීමෙන් පසු තරමක් අඩපණ වුවද ඔහු හොඳ ජවයකින් සිටියේය. ඔහුගේ දඟකාර බිරිඳ අල්මා තරයේ කියාහිටියේ ඔහු විවේක ගතයුතු බවයි. එනමුත් අයිසෙක් අල්ලාප සල්ලාපයට උනන්දු අයෙකි.

ෆිලිප් රොත්, සෝල් බෙලොව්, නෝමන් මේලර්ගෙන් ටෙලිග්‍රෑම් හරහා සුබපැතුම් ලැබුණු බව ඔහු පැවසුවේය. එවිට නිල්පැහැති ඔහුගේ දෑස් දීප්තිමත් විය. ” ඇයි ඔයාට බර්නාඩ් මලමුද් ගෙන් ලස්සන එකක් ලැබුණේ” අල්මා එකතු කළාය.
නොබෙල් සම්මානය ලැබීමේ කලබැගෑනියෙන් පසුව තමන්ගේ පැරණි මිත්‍රයින්ව නොසලකා හරිනවා යැයි තම මිතුරන් සිතාවියැයි දෙගිඩියාවෙන්, පසුබට වෙමින් හා මුළුගැන්නෙමින්, පශ්චත්තාප වෙන හඬකින් ඔහු මෙලෙස කිවේය. “..ඒක මට හරිම වේදනාවක්…” කිසිම සම්මානයක්, කලාව හෝ කලාකරුවාව රූපාන්තරණය නොකරන බව අවධාරණය කරන්න ඔහු උත්සුක වූයේය. “මම ජීවත් වෙන්නේ මෙතනමයි. මගේ දුරකතන අංකයත් ඒකමයි. ඔයා හිතනවද සම්මානයක් දිනාගැනීම මනුස්සයෙක්ගේ චරිතේ වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලා?”

1935 දි ඇමරිකාවට ආවට පස්සේ, ඇමරිකාව ගැන ඔබට මොකද හිතුණේ?

මෙහෙට ආපු ගමන් මට දැනුනේ මහා නස්පැත්තියක් වෙයි කියලා. පෝලන්තෙදි මම එක නස්පැත්තියකින් යාන්තමින් බේරිලා මෙහෙට පැනගත්තට, මෙහෙදි මම වෙන නස්පැත්තියකට අහුවුනා. වොර්සොව් වල ජනමාධ්‍යවේදියෙක් විදියට මම වැඩ කර කර හිටියත්, පෝලන්තේ යුදෙව්වන්ගේ තත්වය දවසින් දවසම නරක අතට හැරුනා. 1935 වෙනකොටත් හිට්ලර් බලවත් වෙලා හිටියේ. පෝලන්තෙට දඩයමේ ආපු, සංචාරයට ආපු නාසිකාරයෝ, පෝලන්ත නායකයොත් එක්ක රහසේ සාකච්ඡා කළා. ඇමරිකාවට එන එක තමයි මට තිබ්බ එකම බලාපොරොත්තුව. පෝලන්තය තවදුරටත් නවතින්න හොඳ තැනක් නෙමෙයි කියලා මම කල්පනා කරලා තිබුණේ. ඕනවට වඩා සුබවාදී හරි අන්ධවෙලා හරි හිටිය නිසා ගොඩදෙනෙක්ට ඒක දකින්න බැරි වුනා.

ඔබ මෙහෙදි මුහුණපාපු මහා නස්පැත්තිය මොකක්ද?

යේජේෂ්*(නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ යුදෙව් ජාතිකයන්ගේ භාෂාව) බස මෙහෙ ඉතාම පහළ අඩියක තියෙන බව මම දැක්කා. තව අවුරුදු පහකට හයකට වඩා යේජේෂ් භාෂාව ඇමරිකාවේ අල්ලල යන එකක් නැහැ කියලයි මට මුලින්ම හිතුනේ. 1935 දී මම හොඳට කතාකරපු එකම භාෂාව ඒක විතරයි. පෝලන්ත, හීබෲ හා ජර්මන් භාෂා මම යම් තරමකට දැනගෙන හිටියා. හරියට මාව මුලින් උදුරලා දාලා විතරක් නෙමෙයි මේ රටේදී කිසිම දවසක ඒ මුල් ආයේ වැඩෙන එකක් නැහැ කියලයි මට දැනුණේ. මගේ වටේ හිටපු, මට හමුවුණු හැම තරුණ කෙනෙක්ම කොමියුනිස්ට් පාක්ෂිකයෝ. එයාලා කොම්රෙඩ් ස්ටාලින් ගැන කතා කළේ අඩුම තරමේ ගැලවුම්කාරයා විදියට වත් නෙමේ සර්ව බලධාරී දෙයියෝ කියලා හිතාගෙන.

ඒත් මම දැනං හිටියා ඒ සේරම පට්ටපල් බොරු කියලා. ඒ වගේම මට මෙහේ ජීවත් වෙන්න විදියක් තිබුණේ නැහැ. මම එනකොට අරගෙන ආපු කතා කිහිපයක් ‘ජෙවිෂ් ඩේලි ෆෝර්වර්ඩ්’ සඟරාව පළකළත්, ලිවීමට මගේ තිබ්බ ආශාව හිඳිලා ගියා. හරිම නරක තත්වයක මං හිටියේ. වෝර්සොව් වලදි නම් එක එක ජාතියේ කාන්තාවෝ හිටියා. ඇඟෑලුම්කම් ඇතිකරගන්න එක මට මෙහෙදි ටිකක් අමාරු වුණා. සේරම තරුණියෝ කතාකළේ ඉංග්‍රීසියෙන්, යේජේෂ් කතාකරපු අය වයසිනුත් වැඩියි, මම කැමති ජාතියෙත් නෙමෙයි. ඔයා දන්නවද, සංවාසයයි, යේජේෂුයි එකට පෑහෙන්නේ නෑ කියලා. ඉතිං බලාපොරොත්තු සේරම සුන්වෙලා මම හිටියේ.

ඒ වෙනකොට ඔබ එක පොතක් හරි ලියලා තිබුණද?

‘Satan in Goray’ කියන එක විතරයි පෝලන්තෙදි මම යේජේෂ් වලින් පළකරළා තිබ්බේ. පොඩි කාමරයක මෙහේ ජීවිතය පටන් ගත්ත මම කෑම කෑවේ කැන්ටින් වලිං. ටික කාලෙකට පස්සේ මට හොඳ කාමරේකුයි, මට වඩා වයසින් වැඩි පෙම්වතියෙකුයි ලැබුණා. ඒත් එයා හරිම ආකර්ශනීය කාන්තාවක් වගේම අපූරු චරිතයක්. ඊට පස්සේ තව කෙනෙක් හම්බුණා.
ඇත්තටම එක පොතක් ලියලා ජීවිත කාලෙම නිහඬ වෙලා ඉන්න ලේඛකයන්ගේ ගොඩට මාත් එකතුවෙයි කියලයි මට ඒ දවස්වල දැනුණේ. එහෙම ලේඛකයෝ ඉන්නවා. එකම එක පොතක් ලිව්වත් එයා ලේඛකයෙක් තමයි කියලා මම මටම කියාගත්තා. ඒ සිතුවිල්ලෙන් සැනසුණා.
ඒත් ප්‍රශ්නෙ වුණේ ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි. වොර්සොව් වලදි යේජේෂ් බසින් ප්‍රකාශයට පත්කරපු එකම එක පොතකින් එන ආදායමෙන් මෙහෙ ජීවිකාව ගෙනියන්න කොහෙත්ම විදියක් නැහැ. ඒත් 1943 දී, ඒගොල්ලෝ ඒ පොතම යේජේෂ් වලින් මෙහේ ප්‍රකාශයට පත්කළා අලුත් කතා කිහිපයකුත් එක්ක. ඒකෙන් මට ලැබුණේ ඩොලර් 90ක ගෞරව දීමනාවක් විතරයි. ඉතිං ඔන්න ඔහොම තමයි තත්වේ ඒ දවස්වල.

ඒ කාලේ ඔබ විවාහ වෙලාද හිටියේ?

මට අල්මව මුණගැහුණේ 1937 දී. මං හිතන්නේ මුණගැහීමයි, කසාදෙයි අතර අවුරුදු දෙක තුනක් ගතවෙන්න ඇති. මටවත් ජීවත් වෙන්න විදියක් නැතිව කොහොමද බිරිඳකුත් නඩත්තු කරන්නේ? ඒ වගේම යුදෙව් ජර්මන්කාරියක් වුණාට අල්මා යේජේෂ් දැනගෙන හිටියේ නැහැ. මම ලේඛකයෙක් කියලා එයාට කිව්වත් මට ඒක ඔප්පු කරගන්න විදියක් තිබ්බේ නැහැ. ඒ වෙනකොට ඒක පරිවර්තනය වෙලා තිබ්බෙත් නැහැ. එයාට මාව විශ්වාස කරන්න සිද්ධ වුණා. ඇත්තටම ඒ වෙනකොටත් මම මං ගැන හිතන් හිටියේ බලය වගේම ලිවීමට ඇති ආශාව නැතිවෙච්ච ලේඛකයෙක් විදියට.

ඒක ඔබට ලොකු වේදනාවක් වුනාද?

ඉන්න මං ඔයාට කියන්නම්. මම සර්ව ශුභවාදියෙක් නිසා මට ඒක ලේසියෙන්ම දරාගන්න පුළුවන් වුණා. ‘කොයි පැත්තෙන් බැලුවත් පෝලන්තයේ ඉන්න යුදෙව්වන්ට වඩා හොඳ තත්වෙක මම ඉන්නවා. එයාලා ඉන්නේ අනාථ කඳවුරුවල.’ මම මටම කියාගත්තා. ඒ දේවල් දරාගන්න මට ඒක පහසුවක් වුණා. මට නම් හැම වෙලාවෙම මගේ ජීවිතේ ‘ඉස්සරහට ගියොත්, හොඳයි, ඉස්සරහට නොගියොත්, නරකයි’ එච්චරයි. මම කාටවත් මගේ දුක කියන්න යන්නේ නැහැ. අඩුම ගානේ මම මගේ දුක මටවත් කියාගන්නේ නැහැ.

ඔබ මෙහෙට එනකොට ඉංග්‍රීසි භාෂාව කොච්චර දුරට දැනගෙන හිටියද?

මුකුත්ම නැහැ. වචන තුනක් දැනගෙන හිටියා. ‘Take a chair.’ මගේ පුංචි කාමරේ එකම එක කෑම්පිං පුටුවයි තිබුණේ. ඒ වුණත් ඒ පුටුවේ වාඩිවෙන්න වත් මාව බලන්න වත් කවුරුවත්ම ආවෙ නැහැ.
1978 නොවැම්බර් 26 වෙනිදා new York Times පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවකින් කොටසකි.

– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

11 − four =