Next Sri Lanka ශිෂ්‍යත්ව සඳහා අයැදුම් පත් භාර ගැනේ

මෙරට දරු දැරියන්ට සිය අනාගත අරමුණු ජයගැනීම සඳහා සවියක් ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇති Next Sri Lanka  වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා වන අයැදුම් පත් භාරගැනීම මේ වන විට ආරම්භ වී තිබේ. මේ හරහා තෝරා ගනු ලබන, දක්ෂතා සපිරි දරු දැරියන් සිය දෙනෙකුට 2021 වසර සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට Next Sri Lanka වැඩසටහන මෙරටට හඳුන්වා දුන් මාකඳුර පදනම සියලු කටයුතු සූදානම් කර තිබේ.

‘හෙට ලොව දිනන්නට වෙහෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන් සොයා ගොස් ඔවුන්ගේ අරමුණට සවියක් වන ස්නේහයේ අත්වැල’ යන තේමාව යටතේ එළිදැක්වූ Next Sri Lanka වැඩසටහන ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂඳ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන, මාකඳුර පදනමේ සභාපති ලක්ෂ්මන් ධර්ම ශ්‍රී මාකඳුර මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

දිවයින පුරා වෙසෙන, වයස අවුරුදු 15-20 අතර පසුවන, දක්ෂතා සපිරි දරුවන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා අයැදුම් කළ හැකිය. එම අයැදුම් පත් අතුරින් තෝරා ගනු ලබන සියලුම දරුවන්ට මාස් පතා මූල්‍යාධාර පිරිනැමෙන අතර, ඔවුන් සතු දක්ෂතා Next Sri Lanka යූ ටියුබ් චැනලය ඔස්සේ ලොවටම ප්‍රදර්ශනය කිරීමටද මේ හරහා අවස්ථාව උදාවෙයි.

“ඇමෙරිකාවේ ජීවත් වුවත්, මා අධ්‍යපනය ලබා වෛද්‍යවරයකු බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ තිබෙන නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්. එබැවින්, කළගුණ සැලකීමක් ලෙස යම් මෙහෙවරක් කිරීම මගේ යුතුකමක් සහ වගකීමක් බව මා විශ්වාස කරනවා. ඒ අනුව ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ අනාගතයට සවියක් ගෙන දීමේ අරමුණින් Next Sri Lanka වැඩසටහන ආරම්භ කළේ. මේ හරහා වසරක් පාසා දරු දැරියන් සියදෙනකු බැගින් තෝරාගෙන ඔවුන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමට මා බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් Next Sri Lanka වැඩසටහනේ නිර්මාතෘ මාකඳුර පදනමේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ධර්ම ශ්‍රී මාකඳුර මහතා පැවසීය.

මේ සඳහා අයැදුම් පත් “Next Sri Lanka” යන ෆේස්බුක් පිටුව ඔස්සේ බාගත කරගත හැකි අතර, 0714298109 යන දුරකථන අංකයෙන් ශිෂ්‍යත්ව වැඩසටහන  පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය. අයැදුම්  පත් 72/ 2 A, විහාර මාවත, සිංහාරමුල්ල, කැලණිය යන ලිපිනය වෙත තැපැල් මහින් හෝ nextsrilankaline@gmail.com වෙත ඊ මේල් හරහා යොමු කළ යුතු වේ. සියලුම අයැදුම් පත් විද්වත් කමිටුවක අධීක්ෂණයට යොමු කරනු ලබන අතර, ඒ හරහා ශිෂ්‍යත්ව සඳහා සුදුස්සන්  තෝරා ගැනීම සිදු කෙරේ●

 

Leave A Reply

Your email address will not be published.

fourteen − 9 =