පහදි කොලු‍වා ඉන්දියාවම ජයග්‍රහණය කළේය

ඉන්දියානුවන් සිය හැත්තෑපස් වැනි නිදහස සැමරූ දිනයේ දී ම 12 වැනි ‘ඉන්දියානු අයිඩල්’ (Indian Idol) ගායන රියැලිටි තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට පවන්දීප් රාජන් වාසනාව උදා කර ගත්තේ ය. ඒ පසුගිය ඉරිදා (15දා) දින පැය 12ක් පුරා සංදර්ශනාත්මක අයුරින් පැවැත්වූ අවසන් මහා තරගාවලියේ දීයි.

තියුණු තරගයකින් ජයගත් ඔහුට මෝටර් රථයක්, ඉන්දීය රුපියල් ලක්ෂ 25ක් සහ කුසලානයක් හිමි වූ අතර එම ත්‍යාග පවන්දීප් වෙත පිරිනැමුවේ තරගාවලියේ විනිසුරුවරුන් වන හිමේෂ් රේෂම්මියා, අනූ මලික් සහ සෝනු කක්කර් විසිනි.

 අවසන් වටයේ තරගකරුවන් හයදෙනා අතුරින් දෙවැනි ස්ථානය ලැබුවේ පවන්දීප් හා කරට කර තරග කළ අරුණිතා කන්ජිලාල් ය. තෙවැනි ස්ථානය සෙයිලි කැම්බල්ට හිමි විය.

සක්වින්දර් සිං, මිකා සිං, අමිත් මිශ්රා, කුමාර් සානු, ජාවෙඩ් සිං, අල්කා යාග්නි, උදිත් නාරායන් වැනි ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පින් එදින අවසන් මහා තරගාවලි වේදිකාවට එක්වූහ.

මාස නවයක් තිස්සේ පැවැත්වූ 12 වැනි ‘ඉන්දියානු අයිඩල්’ (Indian Idol) ගායන රියැලිටියේ ජයග්‍රාහක පවන්දීප් රාජන් වෙත බොහෝ දෙනකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කර තිබුණා.

ජයග්‍රහණය ලද විසිපස් හැවිරිදි පවන්දීප් රාජන් ඉන්දියානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ වන්නේ ‘පහදි කොලු‍වා’ (Phadi Boy) යන අන්වර්ථ නාමයෙනි. ‘පහදි’ යනු ගංගා ගඟට දකුණින් හා බටහිරින් ඉන්දියානු උපමහාද්වීපයේ ඊසානදිග කඳුකර ප්‍රදේශයේ වෙසෙන ජන කණ්ඩායමක් සඳහා භාවිත වන්නකි. පහදි ජනතාවගෙන් බහුතරයක් වෙසෙන්නේ නේපාලයේ ය. එයට හේතුව ඔවුන්ගේ නිජභූමිය වන්නේ හිමාලය ආශ්‍රිත කඳුකර ප්‍රදේශය වීමයි. ඉතිරි කොටස ජීවත් වන්නේ ඉන්දියාවේ හිමාචාල් ප්‍රදේශයේ සහ උත්තර ප්‍රදේශ් හි උතුරු දිග කොටසේ ය.

 

 

Leave A Reply

Your email address will not be published.

eight + 20 =