තලේබාන් විරෝධී සටන පන්ජ්ෂීර් නිම්නයෙන් ඇරඹෙයි

සමස්ත ඇෆ්ගනිස්තානයම තලේබාන් උන්නැහේලාගේ අතට පත්වෙලා කියලා අපේ මාධ්‍ය වාර්තා කළාට ඇත්තටම ඒක එහෙම නෑ. ලෝක බලවතා වෙච්චි ඇමෙරිකාව ගෙදර යවලා දවස් දහයෙන් රට ඇල්ලුවා කියල මානසික වින්දනයක් ගන්න කළින් ලෝක භූ දේශපාලන චක්‍රය කැරකෙන හැටි ගැන යම් අවබෝධයක ඉන්න එක හොඳයි. අපේ උත්සාහයත් ඒක.
මේ දවස් වල ලංකාවේ ටෙලිවිෂන් චැනල් උනත් නරි නාවන එක පොඩ්ඩක් පැත්තකට දාලා ඇෆ්ගනිස්තානෙ තලේබාන් පෙරළිය ගැන උනන්දු වෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති වල වුණත් පියුමිලාව ටිකක් පැත්තකට දාලා ලෝක දේශපාලන සිතියමට පොඩි ඉඩක් වෙන් කරල තියෙනවා. ඒක හොඳයි. නැත්නම් හැමදාම දියසේනලා ඇවිත් සක්විති රජ වෙන හැටි හොයන ගොම්පාට් කාරයන්ගෙ නරි නාටක වලට අලුත් පරම්පරාවෙ ඇස් නිලංකාර වෙනවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහත්තයා ඊයෙ(21) විශේෂ ප්‍රකාශයක් කරලා ඩෙලවාරෙ ජනපදයේ තියෙන තමන්ගෙ මහගෙදර නිවාඩුවක් ගත කරන්න යනවා. ඇෆ්ගනිස්තානෙ ඉන්න එක ඇමෙරිකන් කාරයෙක්ගෙ හරි ජීවිත වලට ලොකු තර්ජනයක් තියෙනවානම් උන්නැහේ එහෙම නිවාඩු යන්නෙ නෑ. යම් විනාශයක් සිද්ධ වුණොත් වොෂින්ටන් වලට ඇවිත් “මට කවුරුත් කියල නෑ, කිව්වනම් මම අවශ්‍ය පියවර ගන්නවා” කියන්න තරම් පහළට ඇමෙරිකාවෙ ජනාධිපති කෙනෙක් වැටෙන එකක් නෑ.
මේ වන විට 13000ක පිරිසක් මුදවා ගන්න ඇමෙරිකාවට හැකි වෙලා තිබෙන බවත් මෙය ලෝක ඉතිහාසයේ සිදුකළ විශාලතම හා අමාරුම Airlift එක බවත් එතුමා කියන කොට උප ජනාධිපති කමලා හැරිස් නෝනයි රාජ්‍ය ලේකම් බ්ලින්කන් මහත්තයයි ඔලුව වනනවා. එහෙම දෙයක් කරන්න පුළුවන් එකම රටත් ඇමෙරිකාව බව බයිඩන් කියනවා. ඇමෙරිකානුවන්ට ප්‍රමුඛතාව දුන්නත් තමන් සමඟ කටයුතු කළ ඇෆ්ගන් ජාතිකයන්, ඔවුන්ගේ පවුල් වල අය පමණක් නොව තලේබාන් සංවිධානයේ ඉලක්ක විය හැකි ඕනෑම ඇෆ්ගන් ජාතිකයෙක් ආරක්ෂාකාරීව මුදා ගැනීමට කළ හැකි සියල්ල කරන බවයි බයිඩන් මහත්තයා කියන්නේ.

ඉතින් කාබුල් ගුවන් තොටුපළේ මේ මොහොතේ සිදුවන ක්‍රියාදාමය හමුදාමය මානුෂික ක්‍රියාදාමයක් වගේ පෙනුනට ඒක වොෂින්ටන් ඩිමොක්‍රටික් පාලනයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව පේනවා. “ඕනෑම ඇෆ්ගන් ජාතිකයෙක්” යන වචන බයිඩන් මහතා උච්චාණය කරන ආකාරයෙන් සහ ඔහුගේ උප ජනාධිපතිවරියගේ ඉරියව් දැක්කානම් ඒක පැහැදිලියි.

ගුවන් තොටුපළට පැමිණෙන ඇමෙරිකානුවන්ට තලේබාන් කාරයන් කරදර නොකරනු ඇතැයි බයඩන් මහත්තයා විස්වාස කරනවා. හැබැයි එතුමාගේම ආරක්ෂක ලේකම්තුමා නම් ඒක විස්වාස කරන්නෙ නෑ. ඒ වගේම ගහෙන් ගෙඩි එන්නා සේ ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීම ගැන ඩිමොක්‍රටික් හිතවාදී New York Times හා Wall Street journal වගේ මාධ්‍ය බයිඩන්ව විවේචනය කරනවා. අපේ පරණ හිතවතා ට්‍රම්ප් මහත්තයානම් ෆ්ලොරීඩා වලට වෙලා මේ දවස් වල බයිඩන්ව පතුරු අරිනවා. ඇමෙරිකාව එක්ක ඕන ගේමකට බහින යුරෝපයේ නායකයන් වුණත් කෙළින් නොකිව්වට ඇෆ්ගනිස්තානය කරකවල අතහැරපු එක ගැන ඒ තරම් මනාපයක් නැති බව පේනවා. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලට තිබෙන ලොකුම ගැටළුව තමයි සරණාගතයන්ගේ වැඩිවීම.

“ඕනෑම ඇමෙරිකානුවකුට ගෙදර එන්න ඕනෑනම් අපි ඔබව ගෙන්වා ගන්නවා. ඒ වගේම මේ මුදාගැනීමේ මෙහෙයුමේ භයානක කමත් මං දන්නවා. අවසාන ප්‍රථිපල ගැන අනාවැකි කියන්න බැරි වුණත් සේනාධිනායකයා වශයෙන් මම අවශ්‍ය සියල්ල කරනවා” බයිඩන් මහත්තයා එහෙම කියනවා.

ඒ වගේම ඇමෙරිකානු ගමන් බලපත් දරන්නන්ට ගුවන් තොටුපළට පැමිණීමට තලේබාන් සංවිධානයෙන් අවසර ලැබෙන නිසා අතිරේක සේනාංක මේ මොහොතේ ඇෆ්ගනිස්තානයට යැවීමට උවමනා නැති බවත් බයිඩන් කියනවා.
ඒත් ඇමෙරිකාවේ ඉහළම ආරක්ෂක බලධාරීන්නම් තලේබාන්ලා කොයි මොහොතේ හෝ පාට මාරු කරන බවට තක්සේරුවකින් තමයි ඉන්නේ. දැනටමත් ගුවන් තොටුපළට එන ඇමෙරිකානුවන්ට කරන හිරිහැර ගැන වාර්තාවෙනවා. ඒත් අවුරුදු ගණනාවක් ඇමෙරිකානු දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච බයිඩන් මහත්තයා හිතන විදියයි හමුදාවෙ මහත්තුරු හිතන විදියයි ‍වෙනස් බවනම් කියන්න පුළුවන්.

ඒක එහෙම තියෙද්දි ලිපියේ මුලට ගියොත් මුලු ඇෆ්ගනිස්තානයම තලේබාන් සංවිධානයට යටත් වෙලා නැති බව ඇත්ත. රටේ වයඔ පැත්තට වෙන්න තියෙන පන්ජ්ශීර් නිම්නයෙන් ලැබෙන වාර්තා තලේබාන්ලාට ඒ තරම් ගුණදායක නැහැ. ඔවුන්ට පන්ජ්ශීර් නිම්නයේ බලයක් නැහැ. තලේබාන් විරෝධී බලවේග සියල්ල ඒ පළාත තුළ එකට එකතු වෙලා ගරිල්ලා සටනක් සඳහා සූදානම් වන බවක් මේ මොහොතේ වාර්තා වෙනවා.
දැන් තලේබාන්කාරයෝ ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් සොය සොයා ගෙවල් පීරන බවත් අදාල පුද්ගලයා නැත්නම් එයාගෙ ළඟම ඥාතියා මරා දමන තර්ජණය කරන බවත් තහවුරු නොකළ වාර්තා අපගේ ඇෆ්ගන් මිතුරන්ගෙන් ලැබෙනවා. බොහෝ හිටපු හමුදා නිලධාරීන්ගේ ප්‍රධාන ඉලක්කය කඳුකර මාර්ග ඔස්සේ ගිහින් පන්ජ්ශීර් නිම්නයට පැමිණීම බව වාර්තා වෙනවා.
ජනාධිපති අස්රෆ් ගානි ඩුබායි රටට පැනල ගියාට උප ජනාධිපති අම්රුල්ලා සලේ එහෙම ගියෙ නෑ.ඒ වගේම හිටපු ආරක්ෂක ඇමති බිස්මුල්ලා මොහමඩිත් අතුරුදහන් වුණා. ඒ දෙන්නම දැන් පන්ජ්ශීර් වල ඉන්න බව ජර්මානු DW පුවත්පත අද වාර්තා කරල තිබුණා.
ජනාධිපති අෂ්රෆ් ගානි රට හැර යාමෙන් පස්සේ උප ජනාධිපති සලේ තමන් භාරකාර ජනාධිපතියැයි තමන්ම ප්‍රකාශ කර ගෙන තිබෙනවා.
“මම කොහොමවත්ම කිසි මොහොතක තලේබාන් ත්‍රස්තවාදීන්ට හිස නමන්නේ නැහැ. මගේ වීරයා වන අහමඩ් ෂා මෂූඩ්ගේ ආත්මය සහ උරුමය මම කිසි විටෙකත් පාවා දෙන්නෙත් නැහැ. ඔහු මගේ අණ දෙන නිලධාරියා, මඟ පෙන්වන්නා, මගේ වීරයා. ඔහු මට පුරාවෘත්තයක් වගේ” සලේ එහෙම කියමින් twitter පණිවිඩයකින් නිකුත් කර තිබෙනවා.

පන්ජ්ෂීර් සිංහයා නෙහොත් අහමඩ් ෂා මෂූඩ්ගේ වැඩිමහල් පුත් අහමඩ් මෂූඩ්අහමඩ් ෂා මාෂූඩ්ට කියන්නේ ‘පන්ජ්ෂීර් සිංහයා’ කියලයි. ඔහු තමයි තලේබාන් විරෝධීන්ගේ සංකේතය. ඒ වගේම ඊට කළින් ඔහු සෝවියට් හමුදා වලට විර්ද්ධව දීර්ඝකාලීන ගරිල්ලා සටනකට නායකත්වය දුන්නා. මුජහිදීන් සටන්කාමියෙක් වූ මෂූඩ් ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ගරිල්ලා නායකයෙක් විදියටයි සැළකෙන්නේ. සමහරු ඔහුව මාෂල් ටිටෝට, හෝචි මිංට හා චේ ගුවේරාට සමකරනවා. හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඹහුව ඇෆ්ගනිස්තානයේ ජාතික වීරයෙක් විදියටත් නම් කළා. මෂූඩ් 2001 දී තලේබාන් ප්‍රහාරයකින් ඝාතනය වුණා.

ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය

පන්ජ්ෂීර් හිමවැටෙන සුන්දර කඳුකර පළාතක්. ඇෆ්ගනිස්ථාන හමුදා ඉතිහාසයේ පන්ජ්ෂීර් නිම්නය හැමදාමත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. භූගෝලීය පිහිටීම අනුව සෙසු ප්‍රදේශ වලින් සම්පූර්ණයෙන්ම හුදකලා වෙච්ච ඒ කලාපයට ඇති එකම පිවිසුම් මාර්ගය පන්ජීර් ගඟ හරහා පටු මාර්ගයක් විදියටයි තියෙන්නේ. ඒක යුදමය වශයෙන් ලෙහෙසියෙන්ම ආරක්ෂා කරගන්න පුළුවන්. හරියට අපේ ඉතිහාසයේ බලන දුර්ගය වගේ.
ඇෆ්ගනිස්තානයට තමයි ඊළඟ දශක කිහිපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝගයක් වෙන්න පුළුවන් ප්‍රධාන රටවල් වැඩි ප්‍රමාණයක් මායිම් වෙන්නේ. බටහිරින් ඉරානය, නැගෙනහිරින් පාකිස්තානය,. ඒ වගේම පැරණි සෝවියට් දේශයට අයිති උස්බෙකිස්තානය,ටජිකිස්තානය ඇතුළත් කලාපය. තවත් පැත්තකින් චීනයේ ඌගූර් මුස්ලිම් වරුන් ජීවත්වන ෂීජියෑන් පළාත.

ඇෆ්ගනිස්තාන ජාතික ධජය යටතේ සංවිධානය වන තලේබාන් විරෝධී සන්නද්ධ කණ්ඩායම්

දැන් මෂූඩ්ගේ වැඩිමහල් පුත්‍රයා පන්ජ්ෂීර් නිම්නයේ සටන පටන් අරන් තිබෙනවා. හිටපු උප ජනාධිපති, ආරක්ෂක ඇමති විතරක් නෙවෙයි තලේබාන් සංවිධානයට විරුද්ධව විශාල බලවේගයක් පන්ජ්ෂීර් නිම්නයෙන් ආරම්භ වෙන ළකුණු පෙනෙන්නට තිබෙනවා. කළින් මුජහිදීන්වරුන්ට දුන් සහයෝගය වගේම CIA සංවිධානය පන්ජ්ෂීර් බලකායට උදව් කරන බවක් දැම්මම කියන්න බැහැ. ඒ වුණත් ඩොලර් ට්‍රිලියන ගණන් වියදම් කරගෙන කෙළින්ම ඇෆ්ගනිස්තානය පාලනය කරනවාට ඒ කලාපයේ ඇමෙරිකාවට දැන් කරන්නට තිබෙන්නේ වෙනත් කාර්යයක් බව පැහැදිලියි. බොහෝ විට යුගෝස්ලෝවියාව වගේ කෑලි කෑලි වලට කැඩෙන ඇෆ්ගනිස්තානයක් ඉදිරි දශකයේ දකින්නට ලැබුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. වඩාත් ප්‍රබල හතුරන්ගේ එළිපත්තේ මහා භූමිප්‍රදේශ නඩත්තු කරනවාට වඩා හොංකොං, තායිවාන් වගේ පුංචි මිතුරන් ඇමෙරිකා භූ දේශපාලන න්‍යායපත්‍රයට වඩාත් වැදගත් වේවි.

අහමඩ් ෂා මාෂූඩ්ට කියන්නේ ‘පන්ජ්ෂීර් සිංහයා’ කියලයි. ඔහු තමයි තලේබාන් විරෝධීන්ගේ සංකේතය. ඒ වගේම ඊට කළින් ඔහු සෝවියට් හමුදා වලට විර්ද්ධව දීර්ඝකාලීන ගරිල්ලා සටනකට නායකත්වය දුන්නා. මුජහිදීන් සටන්කාමියෙක් වූ මෂූඩ් ලෝක ඉතිහාසයේ ශ්රේෂ්ඨතම ගරිල්ලා නායකයෙක් විදියටයි සැළකෙන්නේ. සමහරු ඔහුව මාෂල් ටිටෝට, හෝචි මිංට හා චේ ගුවේරාට සමකරනවා. හිටපු ජනාධිපති හමීඩ් කර්සායි ඹහුව ඇෆ්ගනිස්තානයේ ජාතික වීරයෙක් විදියටත් නම් කළා. මෂූඩ් 2001 දී තලේබාන් ප්රහාරයකින් ඝාතනය වුණා.

 

 

 

– ශානක ලියනගම (ලෝ්කය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

one × five =