දරුවන් සමඟ සංවාදයේ යෙදෙන්න: මේ අභියෝගයෙන් පැනලා යන්න හදන්න එපා

- විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය

කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටු වී සිටින දරුවන්ගේ මනස පීඩාකාරී බවින් මුදාගැනීමට මවුපියන් දරුවන් සමඟ සංවාදයේ යෙදීම සුදුසු බව ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා ප්‍රකාශ කළේය.
රට තුළ දැඩි සංචරණ සීමා යොදවා ඇති කාල පරිච්ඡේදයක මුළු දවසම නිවසට වී ගත කරන විට කොවිඩ් තත්ත්වය ගැන ම අවධානය යොමු කිරීම නිසා ඇති වන පීඩනයත්, ආදායම් මාර්ග, එන්නත් ලබා ගැනීම, අනාගතය ආදිය පිළිබඳව ඇති වන අවිනිශ්චිතකාරී තත්ත්වයත් නිසා ඇතැම් විට මානසික පීඩනයකට ලක්වීමට ද හැකි බැවින්, මෙම කාලයේ දී සෑම විටම වර්තමානයේ ජීවත් වීමට උත්සාහ ගැනීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍යවරයා මෙසේ ද කීවේ ය:

වසංගතය සහ මනෝ විද්‍යාව

කොරෝනා වසංගතය සමඟ මනෝ විද්‍යාවට අදාළ වන යම් යම් කාරණා ඇති වෙනවා. ඒ වගේම කොරෝනා මැඬපැවැත්වීම සඳහා ගන්නා යම් යම් ක්‍රියාමාර්ග, නිවසට වී සිටීම වැනි හේතු නිසාත් අපේ මනසට බලපෑම් ඇති
වෙනවා. එය සංකීර්ණ තත්ත්වයක්. මෙවැනි කාලයක් මීට පෙර ඇති වෙලා නැහැ. ඒ නිසා මෙවැනි කාලයක් මිනිස් මනසට බලපාන්නේ කොහොම ද කියන කාරණය අපි තවමත් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ ගැන ස්ථිර මත ප්‍රකාශ කිරීමට තවත් කාලයක් අවශ්‍ය වෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව මිනිස්සු දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්න බව අපිට පෙනෙන්න තිබෙනවා.

කාලය කළමනාකරණය

මේ දිනවල බොහෝ දෙනා ගෙදර ඉඳන් වැඩ කරනවා. එහෙම තිබිලත් අපිට කාලය වැඩි වුණේ කොහොම ද? ඉස්සර විදිහට අපි පැය ගණන් පාරෙ ගත කරලා, වැඩට යද්දි-එද්දි සිදු වන සිදුවීම් නිසා යම් ස්ටේ‍රස් ගතියක්, පීඩනයක් දැනෙනවා. මෙවැනි දේවල් ටික ටික එකතු වෙලා දවස අවසානය වන විට මේ ස්ටේ‍රස් ගතිය මනසේ එකතු වෙනවා. එතකොට මනසට පීඩාකාරීයි, වෙහෙසයි. මේ නිසා හවස ගෙදර යද්දි සමහර අයට තරහ යනවා වැඩියි. මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. නමුත්, මේ තත්ත්වය තුළ එවැනි ප්‍රශ්න ඉවත් වෙලා ගිහින් තියෙනවා. එහෙම නම්, අපි ඊ ළඟට කොවිඩ්වලින් පසුව නව සාමාන්‍යකරණයට හුරුවෙද්දී මේ පොඩි පොඩි ස්ටේ‍රස් ගති, පීඩනය අවම වුණු රටක් විදිහට ඉදිරියට යා යුතුයි. මෙයින් අපි ඉගෙන ගත යුත්තේ ඒ දෙයයි. නව සාමාන්‍යය තුළ අපි මෙහි වාසිය අත්විඳිය යුතුයි.

වැඩ කරන ක්‍රමවේදයේ වෙනසක්

අපේ එදිනෙදා වැඩකටයුතු කරන ක්‍රමවේදයේ පිම්මක් පනින්න මේ කොරෝනා වසංගතය අපිට බල කළා වගේම අපිට අපේම මනෝ විද්‍යාව, අපේම ආදර සම්බන්ධකම්, අපේම මනස ගැන ගැඹුරින් බලන්න බල කරනවා. මොක ද? බොහෝ වෙලාවට අපි මෙවැනි කාරණාවලින් පැනලා ගියා. එහෙම කළේ අපිට වෙලාව නැහැ කියලා. නමුත්, දැන් අපිට එහෙම පැනලා යන්න බැහැ. මේ අභියෝගයට අපි මුහුණ දෙමු. එයින් පැනලා යන්න හදන්න එපා. මෙහි නියම රහස තිබෙන්නේ එතැනයි.

දරුවන්ට ජංගම දුරකථන

නිවසේ සිට සියලුම දේ කරන්න සිදු වෙලා තියෙන නිසා දැන් දරුවන්ට ජංගම දුරකථන දෙන්න වෙලා තියෙනවා. දරුවන්ට ඉස්සර ජංගම දුරකථන දෙන්න මවුපියෝ බය වුණා. එමඟින් අවැඩක් වෙයි කියලා ඔවුන් හිතුවා. නමුත්, මේ හැම දේකින්ම ලබා ගත හැකි ප්‍රයෝජන තිබෙනවා. ඒ වගේම හානි තිබෙනවා.
මේ උපකරණය මඟින් අපිට දැනුම හොයා ගන්න පුළුවන්. ඒ වගේම යම් යම් කණ්ඩායම්වලට මේ හරහා දරුවන්ගේ මනස වෙනස් කරන්නත් පුළුවන්. කොහොම වුණත්, ජංගම දුරකථනය දරුවාගෙන් වෙන් කර තැබීමෙන් වෙන්නේ දරුවාට එය මැජික් එකක් බවට පත් වීම. ඒ නිසා ජංගම දුරකථනය දරුවාට මැජික් එකක් බවට පත් නොකර, එය නිවැරැදිව භාවිත කරන හැටි දරුවාට කියා දෙන්න.

සංවාදය හසරිඳු රාජපක්‍ෂ

Leave A Reply

Your email address will not be published.

seven − one =