බැංකු කාඩ්පත් මඟින් අන්තර්ජාල විදෙස් ගනුදෙනු අත්හිටුවයි !

ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පත් සහ බැංකු කාඩ් පත් භාවිතයෙන් අන්තර්ජාලය හරහා ඩොලර් භාවිත කොට ගෙවීම් කටයුතු කිරීමට තිබූ අවස්ථාව පසුගිය 18දා සිට අත්හිටුවා ඇතැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ සහ එම ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවෝ කියති.
ඔවුන් ඉකුත් සිකුරාදා තම බැංකු කාඩ් පත් උපයෝගී කර ගනිමින් අන්තර්ජාල ගෙවීම් කිරීමට උත්සාහ කළ ද, එය ව්‍යර්ථ වූ තැන අදාළ බැංකුවලින් මේ ගැන විමසා ඇත. එහි දී ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ ඩොලර් ගනුදෙනු කිරීමට අවස්ථාව නොමැති බැවින්, විකල්ප සොයා ගන්නා ලෙසට ය.

තමන්ගේ ව්‍යාපාර කටයුතු සමාජ මාධ්‍ය ජාලා මඟින් මුදල් ගෙවා ප්‍රවර්ධනය කරන විශාල පිරිසක් මේ නිසා දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති. ‘පේ පැල්’ මාර්ගයෙන් අන්තර්ජාල ව්‍යාපාර කටයුතු කරන බොහෝ පිරිසකට ද මේ නිසා සිය කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

ව්‍යාපාර කටයුතු වෙනුවෙන් විදේශගතව සිටිමින් ශ්‍රී ලාංකික බැංකු කාඩ් පත් භාවිත කරන විශාල පිරිසක් ද මේ නිසා දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර, හදිසියේම මෙම තත්ත්වයට මුහුණ දීමට සිදු වීම නිසා තම දෛනික වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දමන්නට සිදුව ඇති බව ඔවුහු පවසති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙරට බැංකු කළමනාකරුවකුගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය ඉතා අඩු මට්ටමක පවතින හෙයින්, විදේශවලට ඩොලර් ඇදී යාම නතර කිරීම සඳහා මහබැංකුව මෙම පියවර ගෙන ඇති බවයි. වෙනත් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මෙරට බැංකු තම ගනුදෙනුකරුවන්ට උපදෙස් දී ඇතත්, එම විකල්ප මොනවා දැයි සඳහන් කර නැති බව ද ගනුදෙනුකරුවෝ පවසා සිටිති.

Leave A Reply

Your email address will not be published.

two + eight =