“ත්‍රිමාගේ අවසන් කටයුතු කළේ මමයි”

ඔහු නමින් ආරිය බණ්ඩාර බාලසූරිය ය. එහෙත්, හැමෝම ඔහු අමතන්නේ ‘පොටෝ ආරි මාමා’ යනුවෙනි. කලෙක ඔහු ‘ලංකා’ පුවත් පතේ ප්‍රාදේශීය වාර්තාකරුවකුව සිටියේ ය. දැන් ඔහු කුරුණෑගල, මඩවල ප්‍රදේශයේ පදිංචි වී සිටී. පසුගිය ‘ලංකා’ කලාපයක පද්මසිරි ත්‍රීමාවිතාන පිළිබඳව පළ වූ සටහනත් සමඟ ඔහුට සමීප වූ අතීත මතකයක් ගැන ඔහු අප හා කතා කළේ ය.

ඔබ වෘත්තිය හැටියට මල් ශාලාවක කටයුතු කළා ?

ඔව් ඒ 1988 කාලය. ඒකේ නම ‘ලංකා පෙරේරා’ මල් ශාලාව. මම මල් ශාලාවේ මැනේජර්. මරදානේ, ඩීන්ස් රෝඩ් එකේ, සුදුවැල්ල හන්දියේ තමයි, ඒක තිබුණේ. ඉතිං මට මල් ශාලාවකට එන්න සිද්ධ වුණෙත් නොච්චියාගම ඉන්න දවස්වල දේශපාලන කටයුතු නිසා ආරක්ෂක අංශ මාව හොයන්න ගත්ත හින්දා. එහේ ඉන්න අපහසු වුණ නිසා තමයි, මල් ශාලාවට ආවේ. එතැන කරදර නැති නිසා දිගටම මල් ශාලාවේම වැඩ කළා.

ඒ මල් ශාලාවෙන් නගර සභාවේ මිනී සම්බන්ධ ටෙන්ඩරයක් අරන් තිබුණා?

ඔව්. නගර සභාවෙන් අවුරුද්දෙන් අවුරුද්ද ටෙන්ඩර් කරනවා පාරේ මැරෙන අයගෙ මිනී, ඒ කියන්නේ අයිතිකාරයෝ නැති ඒවා, හදිසි මරණ, කලකෝලහාලවලින් මැරෙන ඒ වාගේ මිනී වෙනුවෙන් කටයුතු කරන්න. අපේ හර්ස් එකකින් ඒ මිනිය තියෙන තැන ඉඳලා අදාළ පොලිසියේ පොලිස් නිලධාරී මහත්තුරුත් එක්ක අරන් ගිහින් කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ශරීරය භාර දෙන්න ඕනි. එච්චරයි අපිට කරන්න තිබුණු රාජකාරිය. ඒ දවස්වල නගර සභාවෙන් ඒ ටෙන්ඩර්ය අරගෙන තිබුණේ අපි.

කොහොම ද ඔබ පද්මසිරි ත්‍රීමාවිතානගේ සිද්ධියට සම්බන්ධ වෙන්නේ ?

එක දවසක, මට හරියටම දැන් නම් දිනය මතක නැහැ උදේ 9.00ට විතර මරදාන පොලිසියෙන් කෝල් එකක් ආවා. කතා කරලා කීවා, බොඩි තුනක් ගේන්න තියෙනවා මෝචරියට, හර්ස් තුනක් ලෑස්ති කරන්න කියලා. බොඩි තුන ගේන්න තියෙන්නේ මීගමුවේ ඉඳලා කිව්වා. ඊට පස්සේ මම අපේ කඩේ මහත්තයාට කතා කරලා කාරණය කියලා මහත්තයාගේ අවසරය ඇතුව හර්ස් තුනක් ලෑස්ති කරලා බලාගෙන හිටියා. දවල් වෙනකන් හිටියා, හවස් වෙනකන් හිටියා, ඒත්, අපිට කැඳවීමක් කෙරුවේ නෑ බොඩි ගේන්න යන්න. පස්සේ හවස තුනට විතර අපිට නැවත කෝල් එකක් ආවා හර්ස් ඕනෙ නෑ, බොඩි තුනම කොළඹට ගේනවා, මීගමුවේ ඉඳලා. ඔයාලගේ සූදානම් කරපු හර්ස් තුන ඕනෙ නෑ, වෙනත් ක්‍රමයකින් ගේනවා කියලා කිව්වා. ඊට පස්සෙ පොලිසියේ මහත්තුරු කට්ටියකුත් ඇවිදින් ඒකම කියලා ගියා.

ආරිය බණ්ඩාර

එහෙම ඉන්න කොට ඊට පහුවදා උදේ නමයට, දහයට විතර මහත්තුරු කීප දෙනෙක් එනවා, අපේ කඩේට. පස්සේ මං වාඩි වෙන්න කියලා, කාරණය ඇහුවා.

“අපේ සහෝදරයෙක්ගේ මළසිරුරක් තියෙනවා. ඒක හුගක් විකෘති වෙලා. ඔයාලට දැන් ආරංචි ඇති මං හිතන්නේ, බොඩි තුනක් ගෙනාවා කියලා. බොඩි තුනෙන් දෙකක් නම් ඒ අයගේ මවුපියන් භාර ගන්නවා කිව්වා, ඒ වුණාට අපි එකක් මෙහෙ තියා ගන්නවා. ඒකේ කටයුතු ටික කර ගන්න අපි මල් ශාලා කීපයක්ම බැලු‍වා. එයාලා කැමැත්තක් නැහැ බාර ගන්න. ඔයාලට පුළුවන් ද මේ වැඩේ අපිට ඕනෑ විදිහට කරලා දෙන්න ?” කියලා ඒ ගොල්ලෝ ඇහුවා.

අපේ මල් ශාලාව කියලා කියන්නේ එයාලා කිව්ව මල් ශාලා එක්ක බලන කොට පොඩි මල් ශාලාවක්. පස්සේ ඒ ගමන මං ඒ වෙලාවෙම මහත්තයාට කතා කළා, “මහත්තයා… මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, බොඩිය හදලා දෙන්න ඕනෙ කියනවා. බාර ගන්න ද වැඩේ…?” කියලා ඇහැව්වා. “මඩවල ලොකු අවදානමක් නම් තියෙනවා ඔය වැඩේ. කමක් නෑ, ඔයා වැඩේ බාර ගන්න, අපි කරමු” කියලා මහත්තයා මට කිව්වා.

ඒ අවසරයත් එක්ක මං කිව්වා. “හරි එහෙනම් මහත්තයා, මම වැඩේ කරන්නං. මහත්තයාත් කෝකටත් ළඟින් ඉන්න” කියලා.

ඊට පස්සේ අපි ආපු මහත්තුරුන්ගෙන් ඇහුවා දැන් බොඩියෙ මරණ පරීක්ෂණ ඉවර ද කියලා ?“පරීක්ෂණ ඔක්කොම ඉවරයි. මරණ සහතිකයත් අරන් තියෙන්නෙ” කියලා එයාල කිව්වා.

එහෙනම් අපිට පොඩ්ඩක් බොඩිය බලන්න ඕනෙ කියලා අපි කිව්වා. ඒ ගමන අපේ එම්බාම් කරන කොඩිතුවක්කු, මට මතක හැටියට ගුණසේකර අයියා තමයි ඩ්‍රයිවර්, එයයි, අපි තුන්දෙනා මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගිහින් බොඩිය බැලු‍වා.

ඒ වෙන කොට ඝාතනය කරලා දවස් කීයක් ගත වෙලා ද?

පස්සේ ආරංචි වුණ හැටියට නම්, දවස් 6ක් විතර වළලලා තිබිලා තමයි, ගෙනැවිත් තියෙන්නේ. වෛද්‍ය පීඨයට ගේනවා කිව්වා. එහෙම නම්, වෛද්‍ය පීඨයට ගේන්න ඔහොම බෑ නේ. ඊට පස්සේ අපේ එම්බාම් කරන කෙනා, කොඩිතුවක්කු කිව්වා, “මැනේජර් මහත්තයෝ මට භූමිතෙල් ගැලු‍ම් පහක්, හයක් ගෙනත් දෙන්න, ඉටි රෙදි රෝලක් එක්ක” කියලා. මං ගිහින් ඉක්මනට ඒවා එයාට එව්වා.

මෘතදේහය අරගෙන එන්න ඔබත් ගියා ද?

ඒ වෙලාවෙ බොඩිය ගේන්න මම ගියේ නෑ. මම පිටත් කෙරුවා එම්බාම් කරන කෙනයි, ඩ්‍රයිවර් ඇක්මන් අයියයි, වසන්ත කියන ගෝලයයි. ඒ ගොල්ලෝ ගිහින් ආවට පස්සේ මං ඇහුවා,

“කොඩිතුවක්කු කොහොමද කළේ…?” කියලා.

“මැනේජර් මහත්තයා මෙහෙමයි, අපි ගියා. අපි ගිහින් සම්පූර්ණ ඉටිරෙද්ද දිගෑරලා පැත්තක් හැට ගහලා බොඩිය මොකුත් කරන්න බැහැ. බොඩිය සම්පූර්ණයෙන්ම නරක් වෙලා තියෙන්නේ. මුළු ශරීරයම. ගන්ඩ දෙයක් නෑ. මස් දියවෙලා තියෙන්නේ, වැක්කෙරෙනවා. දෙන්ඩ තියෙන වධ සේරම ඒ ළමයට දීලා තියෙන්නේ ගන්ඩ දෙයක් නෑ. බලන්ඩවත් බෑ. බොඩිය ඉටි රෙදි ඇතුළට දාලා භූමිතෙල් වක් කරලා එක පැත්තක් ගැට ගහලා අපි ඇන්ටි පෙට්ටියක තියලා ගෙනාවා මෙඩිකල් කොලේජ් එකට. ඒ ගොල්ලෝ කිව්වා මොනවා හරි වෙනකම් ඔහොම තියන්න කියලා. අපි එයාලා කියපු තැන තියලා ආවා. දැන් මොකද කරන්නේ. අපි රෑ දොළහට යන්න ඕනි” කියලා කිව්වා.

ඒ ගමන අපි රෑ දොළහට විතර ගියා. දැන් බොඩිය සුද්ද කරන්න ඕනැ නේ. අපි යන කොට ඒ වෙලාවේ ඉතින් ඇතුළේ  ශිෂ්‍යයෝ එකතු වෙලා විශාල වැඩ කොටසක් කරනවා. අපි ආවට පස්සෙ අපට වැඩේ බාර දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ඇහුවා, “අපෙන් ඔයගොල්ලන්ට මොනවද කෙරෙන්න ඕනෙ…?” කියලා.

එම්බාම් කරන කොඩිතුවක්කු කිව්වා, “අපිට හොඳට වතුර තියෙන බාත්රූම් එකක්, හෝර්ස් එකක්, රෙදි කෑලි ටිකක් දෙන්න.” කියලා.

පෙට්ටිය මල්ශාලාවෙම හැදුව ද?

ඒ ගැන මම අපේ මහත්තයගෙන් ඇහුවා, දැන් මේ බොඩිය තියන්න පෙට්ටියක්, ඕනෙ, මොක ද කරන්නේ?” කියලා.

“මඩවල, ඕක් ලීයෙන් හදපු පෙට්ටියක් තියෙනවා එංගලන්තෙන් බොඩියක් ගෙනාපු, පෙට්ටිය තියලා බොඩිය අරගෙන ගියා. ඒ පෙට්ටිය තියෙනවා නේද උඩ ?” කියලා ඇහුවා. මම කිව්වා තියෙනවා කියලා.

“ඒ පෙට්ටිය ගන්න, ඒක ඕක් ලීයෙන් හදපු හොඳ පෙට්ටියක්, බොහොම පිරිසිදු පෙට්ටියක්, එංගලන්තයෙන් ගෙනෙන ඒවායේ මිනියෙ මොනවත් ගෑවෙන්නෙ නෑනේ, ඒවා සම්පූර්ණයෙන් සීල් කරලා නේ. මිනිය ගත්තට පස්සේ ආයෙත් තිබ්බා වගේමයි පෙට්ටිය. අලු‍ත් පෙට්ටියක්, ඒක ගන්න.” කියල මහත්තයා කිව්වා.

දැන් අපිට වැඩේ භාර දුන්න මහත්තුරු කිව්වා, පෙට්ටියෙ මූණ තියෙන තැනින් කපලා මෙතෙන්ට වීදුරුවක් අල්ලන්න කියලා. මූණ බලාගන්ඩ. මම අපේ පෙට්ටි හදන වඩු බාස් කෙනකුට කතා කරලා කැප්පෙව්වා උඩ පියන. කපලා වීදුරුවක් දැම්මා. ඒ ගමන එයාලා කිව්වා, සුදු රෙද්දක් විතරක් ගහන්න වෙන මොනවත් කරන්න එපා කියලා. පෙට්ටියට බාර් සෙට් ගහන්න එපා කිව්වා, ටසල් ගහන්න මොකුත් කරන්න එපා කිව්වා. පෙට්ටිය නෝමල් තියෙන්න ඕනෙ කිව්වා. ඊට පස්සේ අපි ඒ කියපු විදිහට පෙට්ටිය සකස් කළා. ඒකත් අරගෙන කලින් කිව්ව විදියට රෑ දොළහට විතර අපි ගියා. අපි යන කොටත් සෙනඟ, පේළි ගැහිලා කිලෝමීටර් ගාණක්. එක්කෙනා පස්සේ එක්කෙනා. ඒ අස්සේ අර පොලිතීන් එක බලලා යනවා කට්ටිය.

ඊට පස්සේ ඉන්න අයට කතා කරලා, බාත්රූම් එක ඇතුළට බොඩිය ගත්තා. අරගෙන අර දෙපැත්තේ ගැට ගහලා තියෙන ඒවා ලිහුවා. ලිහලා මිනිය දා ගත්තා. ඊට පස්සේ සුද්ද කෙරුවා, හොදට හෝර්ස් එක ගහලා වතුර අල්ලලා. මස් කැඩිලා, දියවෙලා යනවා. ඒ හින්දා බොහෝම ප්‍රවේසමෙන් එම්බාම් කරන එක්කෙනා සුද්ද කරා. සුද්ද කරලා හොඳට, පිහදාලා තෙත මාත්තු කළා. මස් දියවෙලා, පරාල ඇණ ගහලා, මූණ හිල්වෙලා, ඇස් නෑ. මිනිය දිහා බලනකොට පේනවා දීලා තියෙන වධ. හරි හිතට අමාරුයි අපිට ඒක දකින කොට.

ඔළුවේ තුවාළ කොහොමද තිබුණේ ?

ඔළු‍වේ තුවාළ තදේටම තිබුණා. ඒ තුවාළ සමහර විට මෝචරියේ දී, මරණ පරීක්ෂණය කරද්දී, කපන කොට වුණු ඒව ද කියන්නත් අපිට තේරුමක් නෑ. නමුත්, ඉතිං ගොඩක් තුවාළ ශරීරයේ තිබුණා. පස්සේ ඒ ගමන මිනියට සුදු රෙද්දක් දාලා මේස් දෙකක් අන්දලා බොඩිය පෙට්ටියෙන් තියලා පෙට්ටිය වැහුවා. පියන වහපුවාම හරියට දැන් පේන්නේ මූණ විතරයි. මූණ කිව්වට මූණක් නෑ, මූණේ මස් දියවෙලා ගිහින්.

මූණ හැදුව ද?

නෑ නෑ… මොකුත් හැදුවේ නෑ. කිසිම දෙයක් හැදුවේ නෑ. කිසිම දෙයක් කරන්න එපා කිව්වා. ඊට පස්සේ මොක ද කරන්නේ ? පෙට්ටියෙන් තියලා වීදුරුවෙන් මූණ බලන්න පුළුවන් විදිහටත් තියලා, අපි යන්නං කියලා අපි ආවා.

රෑ වැඩේ ඉවර කරලා ?

ඔව්. රෑ වැඩ ඉවර කරලා පාන්දර වෙන කොට අපි ආවා. අපේ වැඩ ඉවරයි නේ. ඉතිං ඒ මහත්තයල අපෙන් නොයෙක් දේවල් ඇහුවා. අපිට අවශ්‍ය දේවල් මොනව ද කියලා ඇහුවා. අපි අපිට මොනවත් එපා කියලා ආවා. ඊට පස්සේ දැන් ඔන්න පහුවදා. මට මතක හැටියට පහුවදා අවසන් කටයුතු කළේ නෑ. ඒ තරම් සෙනඟ. අපිත් ඉතිං සැරින් සැරේ යනව නේ බොඩියේ තත්ත්වය බලන්න. ගියා, බැලු‍වා, අනික් අතට ආවා. සෙනඟ එනවා, එනවා අඬනවා, ඉවරයක් නැහැ.

ඊට පහුවදා තමා අවසන් කටයුතු කරන්න මිනිය බොරැල්ල කනත්තට ගෙනියන්න සූදානම් කළේ. ඒකට හර්ස් එකක් ඕනෙ නේ. අපි අපේ හර්ස් එකක් ලෑස්ති කරල යැව්වා. ඒ වෙලාවෙ මට යන්න විදියක් තිබුණේ නෑ. මම කිව්වා කොඩිතුවක්කුට, අපේ එම්බාම් කරන එක්කෙනාට, ඩ්‍රයිවර් මහත්තයා එක්ක ගිහින් ප්‍රවේසමෙන් එයාලා කියන විදිහට බොඩිය කනත්ත ළඟට ගිහින් බාර දීලා එන්න කියලා.

හැබැයි එදා මෙහෙම සිද්ධියක් වුණා. ඒ ගොල්ලෝ ඇවිදින් කිව්වා, බොඩිය කනත්ත ළඟට ගෙනියන කොට රෑ 7.00යි, බොරැල්ලට යන කොටම ලයිට් නැතුව ගිහින් සම්පූර්ණ කරුවල වුණා කියලා. ඊට පස්සේ මං ඇහුවා, කොහොමද ඉතිං කරගත්තේ කියලා. වාහනවල හෙඩ්ලයිට් ගහලා තමයි, අවසන් කටයුතු ටික කළේ කියලා කිව්වා. කොහොම වුණත් ඉතිං අවසන් කටයුතු විශාල සෙනඟක් මැද්දේ මැරුණු කෙනාට ගෞරවයෙන් කරලා තිබුණා.

වැඩකටයුතු ඉවර වුණාට පස්සේ අපිට හිත ඇතුළේ බයකුත් තියෙනවා. කියන්න බෑ නේ මොන තත්ත්වයක් එයි ද කියලා. ඒ වුණත් කමක් නෑ, ඕනෙ දේකට මූණ දෙන්නම් කියලා අපි ඉතිං හිටියා. අවසන් කටයුතු කරපුදාට පහුවදා උදේ දහයට විතර මට මතක හැටියට වෛද්‍ය ශිෂ්‍යයෝ පස්දෙනෙක් හෝ හයදෙනෙක් අපේ කඩේට ආවා. එනකොට ඉතිං අපි දන්නවා මේ ගොල්ලෝ කවුද කියලා. වාඩිවෙන්න කියලා අපි ඇහුවා මහත්තයලා ආවේ මොකද කියලා. ඒ පාර මේසේ උඩින් තිබ්බා පාර්සලයක්.

“ඔයාලා අපිට කළේ, අපිට කර ගන්නම බැරුව තිබුණ ලොකු වැඩක්. ඔයාලා මේක නිර්භීතව අතට අරගෙන වැරැද්දක් නොවෙන්න අපිට මේ වැඩේ කරලා දුන්නා. ඔයාලගේ ආයතනය බාර මහත්තයාටත්, මැනේජර් මහත්තයාටත්, අපිට උදවු කරපු හැම දෙනාටමත් අපි ස්තූති කරනවා. මේකේ තියෙන්නේ ත්‍රිමාට අවසන් ගෞරව කරන්න ආපු මිනිස්සු දාපු ඔක්කොම සල්ලි. මහත්තයලා ගන්න තරමක් මේකේ සල්ලි ගන්න” කිව්වා.

අපේ මහත්තයාට මම කතා කරලා ඒ ගැන කිව්වා.

“එක සතපහක්වත් ගන්න එපා මඩවල. අපි කරන්න ඕනෙ වැඩක් අපි කළේ. ඒ මුදල් ඔක්කොම ඒ මැරිච්ච මහත්තුරු වෙනුවෙන් කරන වැඩකට යොදා ගන්න කියන්න. ඔයාලට මම පඩි දෙනව නේ. ඒක මම දෙන්නම්. සල්ලි ආපහු ගෙනියන්න කියන්න” කිව්වා.

මං කිව්වා ඒ ගමන “සර්ලා ඒ සල්ලි ගන්න බෑ අපට. අපේ මහත්තයා ගන්න එපා කිව්වා. මේක සම්පූර්ණයෙන්ම අපි පරිත්‍යාගයක් විදිහට කළේ කියලා.

ඒ මහත්තුරු අපිට බොහොම ස්තූති කළා. කරන්න පුළුවන් තරම් ස්තූති කළා. යන්න කලින් අපිට කිව්වා “ඔයාලට අපෙන් උදව්වක්, උපකාරයක් ඕනෙ නම්, ඕනෙ වෙලාවක වෛද්‍ය විද්‍යාලයට ඇවිත් අපිව මුණගැහෙන්න; අපිට කතා කරන්න. අපි ඕනෙ උදව්වක් ඔයාලට කරන්නම්” කියලා.

ඊට පස්සේ මම ඒ මහත්තුරුන්ගෙන් “මහත්තයෝ, මමයි එයාගේ මිනියට රතුපාට මල් මාලය තිබ්බේ. ඒ මල් මාලය මහත්තයල ගාව තියෙනව ද?” කියල ඇහුවා.

“අපි තියාගෙන ඉන්නවා”.

“අනේ මට ඒක දෙනව ද? මමයි තිබ්බේ” කිව්වා.

මට ඒක ගෙනැවිත් දුන්නා. ගෙනැවිත් දීලා සතියයි ගියේ. ආයේ මහත්තුරු කට්ටියක් ඇවිත් කිව්වා, අර මල් මාලය අපේ මැරිච්ච සහෝදරයාගේ පිළිරුවකට දාන්න අපිට ගන්න පුළුවන් ද කියලා ඇහුවා. මම බොහෝම සන්තෝසෙන් ඒක බාර දුන්නා. ඒ මහත්තුරුන්ට ඒක මතක ඇති. ඒත් ඊට පස්සේ මට ඒ කවුරුත් හම්බ වුණේ නෑ.

මම මේ කියන්නේ අවුරුදු ගාණකට කලින් කතාවක්. ත්‍රිමා… මේ ඊයේ පෙරේදා මම දැක්කා ෆොටෝ එකක් පත්තරවලින්. කදුළු වැටුණා මට. අනේ පුතේ ඔයාගේ මිනියේ කටයුතු මම නේ කළේ. ඔයා ඒක දන්නේ නැහැ නේ පුතේ, කියලා මම පත්තරේ දිහා බලාගෙන තනියම කියෙව්වා.

මේ කටයුතුවලට මැදිහත් වුණා කියලා මොනවා හරි ප්‍රශ්න ආව ද?

මෙහෙම ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නයෙන් පස්සේ තමා මම මල් ශාලාවෙන් ආවේ. හැබැයි ඒකම ද දන්නේ නෑ. ඕක වෙලා සති දෙකකට විතර පස්සේ, ෆුට් බයිසිකලයකින් ආවා පුද්ගලයෙක් පෝස්ටරයක් අරගෙන, මල් ශාලාවට. මිනිහා මට පෙනුණ විදිහට, කට් එකේ හැටියට හමුදාවේ කෙනෙක්. මිනිහා මටම කතා කළා. තව හතර පස් දෙනෙක් හිටියා කඩේ. මට ම කතා කළා “ඔයා එන්න” කියලා. මං ගියා. “මෙන්න මේ පෝස්ටරේ හේලීස් එකේ කෙළවරේ තාප්පේ, කඩේ ළඟ අද රෑ අලවන්න ඕනෙ” කිව්වා.

“මොකක් ද පෝස්ටරේ…?

පෝස්ටරේ තියෙනවා ‘ආරක්ෂක අංශයේ සාමාජිකයන් ඉල්ලා අස්වුණේ නැත්නම් මරණය’ කියලා. ඒකේ මොකක් ද දිනයක් දාලා ඒ දිනයට කලින් අස් වෙන්න කියලා ලියලා තිබුණා.

පෝස්ටරය මම අතට ගත්තා. දෙන එක ගන්න එපැයි. හැබැයි ඒ ආපු කෙනා ගැන මට සැකයි. මගේ හිත අදටත් කියන්නේ ඒ හමුදාවේ කෙනෙක්, මුං මාව අඹරන්නද දන්නෙත් නෑ මේ වැඩේ කෙරුවේ කියලා මට අදත් හිතෙනවා.

ඒ පෝස්ටරේ යට වගකීමක් තිබ්බේ නෑ?

ඊට පස්සේ මහත්තයා ආවට පස්සේ මම පෝස්ටරේ පෙන්නුවා. මහත්තයත් ටිකක් කලබල වුණා. මං හිතන්නේ. මහත්තයාට දැන් මතක නැතුව ඇති. මං කිව්වා මහත්තයා මට දැන් නොච්චියාගම යන්නත් බෑ, මෙතැන ඉන්නත් බෑ. මම පොඩ්ඩක් මඟෑරලා ඉන්නම් සතියක් දෙකක් කියලා. මම මොක ද කරන්නේ ? මම පෝස්ටරය පිච්චුවා. පුච්චලා අපේ අක්කා කෙනෙක් ඉන්නවා බියන්වල. මම එයාටවත් මොකුත් කිව්වේ නෑ. මං හිමින් සැරේ එහේ ගිහින් සති දෙකක් විතර හිටියා. සති දෙකක් හිටියත් මට කඩේට යන්න බයයි. මේක හිතේ කැරකෙනවා. ඇයි මේක මෙතනම ගහන්න ඕනෙ කිව්වේ කියලා. ඒ පාර මහත්තයාට කියන්නේ නැතුව මං හීන්සැරේ ගෙදර ආවා. ගෙදර ආවත් එළියට බහින්නේ නැතුව හැංගිලා හිටියා. ඊට පස්සේ මාසයක් දෙකක් ගියාට පස්සේ මහත්තයා මට කිව්වා,

“මඩවල බයවෙන්න එපා. දැන් එන්න කියලා. ඒත් මම මහත්තයාට කිව්වා, මම තව මාස දෙක තුනක් බලන්නම් කියලා. කොහොම හරි එදා ඉඳන් තාමත් වැඩට නම් යන්න බැරි වුණා.

දිලේකා දිසානායක
Leave A Reply

Your email address will not be published.

4 + six =