ගුවන් යානයෙන් වැටුණු ඇෆ්ගනිස්ථාන තරුණ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයා

ලෞකික නිදහස වෙනුවෙන් දිවි පරදුවට තැබීම
ඇෆ්ගනිස්ථානයේ බලය අල්ල ගන්න තලෙබාන් සංවිධානය කටයුතු කරන අස්සෙ කාබුල් ගුවන් තොටුපලට ආපු ඇෆගනිස්ථානයේ දහස් ගණන් ජනයා ඇමරිකානු හමුදා ගුවන් යානයක තටුවක හරි එල්ලිලා නිදහස හොයාගෙන යන්න ගත්ත උත්සහය ලෝකයම දැක්කා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ආගමික රාජ්‍යයක තමන්ගේ ලෞකික නිදහස අහිමි වන බව අත්දැකීමෙන් දන්න නිසා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර තලෙබාන් වටකරද්දි පලා යන අය අතර ඇමරිකානු හමුදා ගුවන් යානයක එල්ලුණු දෙදෙනෙක් බිමට වැටුණු බව ලෝකයම දැක්කා. එයින් එක් අයෙක් ඇෆ්ගනිස්ථානයේ ජාතික තරුණ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු 19 හැවිරිදි ෂකී අන්වාරි ( Zaki Anwari) බව බ්‍රිතාන්‍යයේ The Guardian වාර්තා කරනවා. ඇෆ්ගන් ප්‍රවෘත්ති ඒජන්සිය: Ariana උපුටා දක්වමින් තමයි මේ පුවත ද ගාර්ඩියන් වාර්තා කරන්නෙ. මේ ඇමරිකානු USAF Boeing C-17 යානය ඇතුලෙත් එහි ගෙන යා හැකි ප්‍රමාණයට වඩා පස් ගුණයක් ( 640) ඇෆ්ගන් වැසියන් ඉඳලා තියෙනවා.

මේ අහිංසක ඇෆ්ගන් තරුණයා ඇතුළු බොහෝ දෙනා දිවි පරදුවට තියා හෝ ඇෆ්ගනිස්ථානය හැර යන්න උත්සහ ගන්න ඇත්තෙ, මුලින් තිබූ තලෙබාන් පාලනය ( 1994 -2002) යටතේ ලැබූ කටුක අත්දැකීම් සහ පසු කාලීනව කිසියම් වූ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක ලැබූ ලෞකික නිදහස තුළින් ” මනුෂ්‍ය නිදහස” කුමක් ද යන්න තේරුම් ගත්ත නිසා වෙන්න ඇති. ෂකී අන්වාරි නමැති මේ තරුණයාගේ වයස අනුව ඔහු ඉපදී ඇත්තේ පළමු තලේබාන් පාලනය බිඳ වැටෙන කාලයේ ( 2002) . මේ නිසා මනුෂ්‍ය නිදහස කුමක් ද යන වටපිටාවක ඔහු හැදී වැඩුණු බව පැහැදිලියි. ඔහු රට වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඇමරිකානුවන් සහ බටහිර දියුණු රටවල් අධිරාජ්‍යවාදීන්ය, යටත්විජිත පවත්වාගෙන යන්නන්ය, නව යටත් විජිත පවත්වාගෙන යන්නේය, අරාබි ලෝකයේ සතුරන්ය, ‍ලෝකයේ ඇතැම් රටවල් ආක්‍රමණය කොට යුද්ධ ඇති කරන්නේය කියන ගමන් ඇමරිකාවට හරි දියුණු ‍යුරෝපෙ රටකට හරි දිවි පරදුවට තබා පැන ගන්න ලංකාව ඇතුළු බොහෝ තුන්වන ලෝකයේ රටවල වාමාංශිකයෝ සහ බොහෝ මුස්ලිම්වරු උත්සහ ගන්නවා. ඇමරිකන් ග්‍රීන් කාර්ඩ් හරි බැරිම නම් බෝට්ටුවෙන් වුණත් ඔට්ටුයි.

අර කියනවා වගේ වීසා නැතුව ඇමරිකාවට හෝ යුරෝපෙට යන්න දෙනවා කියලා කටුනායක ගුවන් තොටුපලේ ප්ලේන් එකක් ලෑන්ඩ් කරොත් ලංකාවේ රට, ජාතිය ආගම ගැන හොටු පෙරණ, බටහිරට බණින සිංහල බෞද්ධයෝ ඇතුළු කීදෙනෙක් මැරීගෙන පොරකයි ද ඒ රටවලට යන්න? ඒ අය වැරදිලාවත් කියුබාව, අරාබි රටවල්, උතුරු කොරියාව, අඩුම ග‍ානේ චීනයෝ රුසියාව වත් තෝරගන්නෙ නෑ. මේක තමයි හරිම උත්ප්‍රාසාත්මක දේ. ඊළඟට කොහොම හරි ගියාම මේ අය අර තමන්ගේ මුල් රටවල කුජීත වෙච්ච පසුගාමී දේශපාලන හෝ ආගමික ක්‍රම ඒ දියුණු රටවලත් ඇති කරන්න උත්සහ ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ මවු රටවල කුජීත අන්ත ජාතිකවාදී, දූපත් වාසී, ගෝත්‍රික වාදී පාලකයන්ට උදව් කරනවා. නැත්නම් ඒ පාලනයන් වෙනුවෙන් පෙනී ඉන්නවා.

ලෞකික නිදහස සහ දියුණුව අන් හැමටම වඩා උසස්. ඒ නිසා තමයි අනාගාමික ( ආගම රාජ්‍යයත් සමග ගැට නොගැහුණු) ලෞකික ප්‍රජාතාන්ත්‍රික සමාජයක්- රටක් ( Secular Democracy) වෙනුවෙන් පෙනී සිටින්න කියලා අපි කාටත් යෝජනා කරන්නෙ.
-අතුල දිසානායක  (සමාජ කතා)

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

fourteen + 15 =