‘ශ්‍රමය’ යන්නට මීට වඩා වෙනස් වටිනාකමක් දෙන ක්‍රමයක දැඩි අවශ්‍යතාවයක් අපට අද ඇත

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස නම් වෙනස් කොට ඇත
2021 අප්‍රේල් මස, නැවත ශ්‍රී ලංකාවට ඒමට බලා සිටින ජෙඩාහි රැඳවුම් ස්ථානයක සිටින සිය සහෝදරිය පිළිබඳව නිහාල්* ගෙන් ලිපියක් ආචාර්ය හරිනි අමරසුරියට ලැබුණි. සිය සහෝදරියගේ කොන්ත්‍රාත් සේවා කාලය ඉකුත්වී ඇති බව ද නැවත සිය නිවෙස් කරා ඒමට බලා සිටින තවත් ස්ත්‍රීන් බොහෝ පිරිසක් සමඟ එම කඳවුරේ ඇයට රැඳී සිටීමට සිදුවී ඇති බව ද ඔහු විසින් ලියා තිබුණි.

ඔහු අපට ලියු අවස්ථාව වන විටත් ඇය එහි වසර එකහාමාරක කාලයක් ගතකර ඇත.
ඒ වන විට, ආණ්ඩුව නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ගමන් සංවිධානය කර නොතිබුණි.
තැපැල් සේවා වසා තිබු නිසා අපට මේ ලිපිය ලැබුණේ 2021 මැයි මසයි. ඒ වන විට විදෙස්ගත ශ්‍රමිකයන් විශාල කණ්ඩායමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සෞදි ගුවන් සේවයේ සහයෝගය ඇතිව මෙරටට එවා තිබුණි.
කෙසේ වුවත්,කොවිඩ් ආසාධිත ස්ත්‍රීන් 8 දෙනෙකුගේ කණ්ඩායමකට එම ගුවන් ගමන්වලට සහභාගී වීමට නොහැකි වීම නිසා තවදුරටත් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදු වී ඇත.
මෙම ස්ත්‍රීන් කණ්ඩායම ත්‍රිකුණාමලය, පොළොන්නරුව, කොළඹ ආදී දිවයිනේ විවිධ පෙදෙස්වලින් පැමිණි අයගෙන් සමන්විත විය. ඔවුහු සිංහල, දමිළ සහ මුස්ලිම් වුහ.
ඔවුන් සියලු දෙනා දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන සිය පවුල් නඩත්තු කිරීම සඳහා මැදපෙරදිග යෑමට තීරණය කළ අයයි.
ඥානවතී* කලින් සේවය කළ නිවසෙහි ස්වාමියා විසින් ඇයගේ අත කඩා තිබුණි. ඉන්පසු ඇය එම නිවසින් පලා ගොස් ඇත.

ඇය සෞදියට පැමිණියේ කිසිදු අබාධයක් රහිත ස්ත්‍රියක් ලෙසටයි. නමුත් දැන් ඇයට තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට නොහැකිව සුළු දේටත් කඳවුරේ සිටින අනෙක් අයගේ උදව් මත යැපීමට සිදුව ඇත.
කාන්ති* සිය වැටුප සම්බන්ධයෙන් ඇය සේවය කළ නිවසේ ස්වාමියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත. ඇයගේ පවුල වෙත මුදල් යැවීම ඔහු විසින් ප්‍රතික්ෂේප කළ විට ඇය පොලිස් ස්ථානයට යෑමට දැඩිව ඉල්ලා සිට ඇත. ඔහු ඇයව සිය වාහනයෙන් කාන්තාරයට ගෙන ගොස් වාහනයෙන් බහින ලෙසට අණ කර ඇත. ඇයව එතැන දමා ඔහු යන්නට ගොස් ඇත. ඇය අතේ කිසිදු ලියකියවිල්ලක් හෝ මුදලක් තිබී නැත. කිසිදු අයුරක උපකාරයක් නොමැතිව ඇය ද ඉහත කී රැඳවුම් කඳවුරට පැමිණියාය.

ඉශානි දැඩි මානසික ආතතියකින් පෙළෙන අයෙකු වූ අතර අපට ලිව්වේ ඇයගේ සොහොයුරායි. සිය පවුලේ ආදායම් උපයන එකම පුද්ගලයා වූ ඇය, වසර පහකින් සිය පුතුන් දැක නැත. 2021 අගෝස්තුවට රැඳවුම් කඳවුරේ වසර 2ක් සම්පූරණ කරන ඉශානිට එම කාලය පුරාවට සිය පවුල නඩත්තු කිරීමට නොහැකි වීම නිසා, ඇයගේ වයස්ගත මවට මුණුපුරන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා රැකියාවක නිරත වන්නට සිදු විය.
සෑම ස්ත්‍රියකටම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කතාවක් අප හා බෙදා ගැනීමට ඇත. සිය නිවෙස් වෙත යාමට බලා හිඳිමින් දිගු කලක් තිස්සේ රැඳවුම් කඳවුරුවල රැඳී සිටීමට සිදු වීම ඔවුන්ගේ දුෂ්කරතා තවත් උග්‍ර කරන්නට හේතු විය. ක්‍රමක්‍රමයෙන් නරක අතට හැරෙන කායික සෞඛ්‍ය පිළිබඳව බොහෝ ස්ත්‍රීන් පැමිණිලි කළහ. ඔවුහු අසනීප ගණනාවකින් පෙළුනු අතර කිසිදු අයුරක අනුකම්පාවක් හෝ ඉක්මන් අවධානයක් ඔවුනට බොහෝ විට නොලැබුණි.

අප ඔවුන්ව සම්බන්ධ කරගත් අවස්ථාව වන විට ඔවුන් මාස 7 – 20 අතර කාලයක් කඳවුරේ රැඳී සිට තිබුණි. ‘රැඳවුම් කඳවුර’ යන නමින් හැඟවෙන පරිදිම, එය බන්ධනාගාරගත කිරීමකට සමාන වේ. නිල ලේඛන වල ඔවුන් හැඳින්වීමට භාවිතා කර තිබුනේ ‘රැඳවුම්කරුවන්’ යන්නයි. තම කාමරවල සිර වී සිටි ඔවුනට පිටත ලෝකයට නිරාවරණය වීමක් නොතිබුණු තරම් විය. වීඩියෝ පහසුකම් සහිත දුරකථන සඳහා අවසර නොලැබුණු අතර ඔවුන්ගේ පවුල් සමඟ කතා කිරීම සඳහා ඔවුනට තිබුනේ උපාංග 2 ක් පමණි. සෑම විටම වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට රැඳවුම් ස්ථානයෙන් පිටතට ගෙන ගියේ අත් සහ කකුල් වලට විලංගු දමාය.
මෙය ආයතනය මෙහෙයවූ ආකාරයේ වරදක් මිස ආයතනයේ වරදක් නොවන බව ඔවුන් වටහාගෙන තිබුණි. නමුත් ඔවුනට දැනුණු ලැජ්ජාව, තරහ, සහ දුකෙහි අඩුවක් නොවීය. සිර වුණු අවකාශයක දීර්ඝ කාලයක් ජීවත්වීමෙන් ඇතිවන චිත්තවේගී සහ මානසික කම්පනය සහ සිය පවුල්වලින් වෙන්ව සිටීම නිසා දැනෙන පාළුව, කාන්සිය හේතුවෙන් මෙම ස්ත්‍රීන් විශාල ආතතියකින් සහ සාංකාවකින් පෙළුනහ. එක් ස්ත්‍රියක් සිය දිවි නසා ගැනීමට ද තැත් කොට ඇත.

අපගේ මැදිහත්වීම සිදුවන අවස්ථාව වන විටත් මෙම ස්ත්‍රීන් සිටියේ මීළඟට කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඉතාමත් ව්‍යාකුල තත්වයකය. ඔවුන් ලෝකයට අදෘශ්‍යමාන විය. ඔවුන් කෙතරම් අදෘශ්‍යමාන වී ද යත් ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවට නැවත පැමිණි අය වශයෙන් අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාශ වෙත දැනුම් දී තිබුණි. මෙය ඔවුන්ගේ පවුල්වල අය මහත් කලබලයට පත් කරන්නට හේතු විය.
සෞදි ගුවන් සේවය විදෙස්ගත ශ්‍රමිකයන්ව ශ්‍රී ලංකාවට එවීමේ කටයුතු වල තවදුරටත් නිරත නොවන නිසා ඔවුන් විසින්ම සිය ප්‍රවේශපත්‍ර සඳහා ගෙවීම් සිදුකල යුතු බවට ද යෝජනා වී තිබුණි. මෙයින් අදහස් වුයේ මාස ගණනක් වැඩ නැතිව සිටි මෙම
ස්ත්‍රීන් සහ නිසි ආදායම් මාර්ගයක් නොමැති ඔවුන්ගේ පවුල් තවත් ණය බරට හා දුක්ඛිතභාවයට පත්වන බවයි.
මෙම තොරතුරුද සහිතව අප කම්කරු අමාත්‍යවරයා හා සම්බන්ධ වූ විට ඔහු මෙම ස්ත්‍රීන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත්තේය. මෙම කාර්යය ඉටු කිරීමට කටයුතු කළ අමාත්‍යංශ නිලධාරීන් සහ අමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයට අපි ස්තුතිවන්ත වෙමු. මෙම ස්ත්‍රීන් (එක් අයෙකු හැර) ඉකුත් සතියේ මෙරටට පැමිණි අතර, ඔවුන්ට සිය ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ගෙවීමක් කිරීමට සිදු නොවීය.
එසේ වුවත් මෙම අත්දැකීම නිසා, මේ තරම් හෝ සුබදායී ඉරණමක් අත් නොවුණු අනෙකුත් බොහෝ විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව නැවත සිතන්නට අපව සිදු වේ. මෙලෙස ඔවුන් වෙනුවෙන් මැදිහත් වීමට කිසිවෙක් නොසිටින බොහෝ දෙනෙකු ඉන්නවා විය හැක. ඔවුන්ට සිය ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ගෙවීම් කරන්නට සිදු වූවා නම් කුමක් වන්නට ඇත්ද? මෙම ස්ත්‍රීන් මෙන් අදෘශ්‍යමානව තව කොපමණ දෙනෙක් සිය නිවෙස් වෙත යාමට බලා සිටිනවා ඇත්ද? තමාගේම රටෙන් පිළිගැනීමක් සහ සැලකිල්ලක් ලැබෙන තෙක් විඳවමින් සිටින මෙම ස්ත්‍රීන් සහ පුරුෂයින්ට සහය වීමට අපට ඇත්තේ කුමන ක්‍රමවේද ද?

‘ශ්‍රමය’ යන්නට මීට වඩා වෙනස් වටිනාකමක් දෙන ක්‍රමයක දැඩි අවශ්‍යතාවයක් අපට අද ඇත. හුදෙක් ආදායම් උපයන්නන් ලෙස නොව, ඉලක්කම් හා දත්ත ලෙස පමණක් නොව, සිය පවුල්වල බර කරගසනා මනුෂ්‍යයින් ලෙස ඔවුන්ව හඳුනාගන්නා ක්‍රමයක අවශ්‍යතාවයක් ඇත. එම ගැහැනුන් සහ මිනිසුන් රට වෙනුවෙන් විදේශ විනිමය “උපයා” දෙනු ඇතැයි අපේක්ෂා කරනමුත් ඔවුනට අවශ්‍යම මොහොතේදී ඔවුන්ව අත් නොහරින ක්‍රමයක අවශ්‍යතාවයක් අප රටට ඇත.
– ව්‍රායි බල්තසාර්,
(ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සාමාජිකා)

ඉෂාරා දනසේකර.
(මෙම ඡායාරූපය ගෙන ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයින්ට තම මව්බිමට පැමිණීමට ඇති අයිතිය ආරක්ෂා කරන ලෙස රජයට බලකරමින් 19/01/21 දින ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයේ දී ය.)

Leave A Reply

Your email address will not be published.

six − three =