වසංගතය මැදත් සංවාදශීලී මැදිහත් වීම් සිදුවෙනවා ■ සුනිල් වික්‍රමසිංහ

ප සුගිය දා ප්‍රසිද්ධියට පත් කෙරුණු 2020 ගොඩගේ සාහිත්‍ය අත්පිටපත් තරගාවලියේ කෙටිකතා අංශයේ ජයග්‍රාහී සම්මානය දිනා ගත්තේ සුනිල් වික්‍රමසිංහ රචනා කළ ‘සංසාර කමටහන්’ කෙටිකතා සංග්‍රහයයි. ඔහුගේ ‘සියලු‍ දේ කාලයම අල්ලා ගැනීමක’ කාව්‍ය සංග්‍රහය ද එහි කාව්‍ය අංශයේ අවසන් වටයට තෝරා ගැනිණි. සුනිල් වික්‍රමසිංහ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යවරයෙක් ද වෙයි.

  • ඔබට අනුව කෙටිකතාව කියන්නෙ මොකක් ද?

කෙටිකතාව දිහා මා බලන්නේ විනිවිද දිය දහරාවක් දිහා බලනවා වගේ. ක්‍ෂුද්‍ර හෝ සියුම් ලෙස හෝ පෙනෙන දෙයක් අරගෙන සුළු කාලයකින් පාඨකයාට අල්ලා ගන්නා පුළුවන් ආකාරයට ඉදිරිපත් කිරීමට ඇති හැකියාව කෙටිකතාවේ ප්‍රධානම ලක්ෂණයක් විදිහට මා සලකනවා.

  • ඔබේ ඇතැම් ලියැවිලි – විශේෂයෙන් කෙටිකතා – මට සහේතුකව හෝ අහේතුකව සයිමන් නවගත්තේගමගේ ලියැවිලි සිහිපත් කරවනවා. සමාන කිරීමක් හෝ සැසැඳීමක් හෝ නෙවෙයි. නිකම් එහෙම හිතෙනවා. මගේ ඒ අදහස ගැන ඔබේ අදහස මොකක් ද?

එය මම අනුගමනය කරපු සාහිත්‍ය ප්‍රයෝගයක් විදිහට එය සලකන්න පුළුවන්. මම උත්සාහ කළේ සයිමනියානු ආඛ්‍යාන කලාව සමාන්තර කියැවීමකට හෝ අන්තර්-පඨිතමය අවකාශයකට ගෙන එන්නට. මම එයින් උත්සාහ ගන්නේ ඔහුගෙන් ආරම්භ වුණු දේශජ පශ්චාත්-යථාර්ථවාදය කෙටිකතා ව්‍යුහයට ඈඳා ගන්නට.

  • කවිය ගැනත් විවිධ නිර්වචන තියෙනවා. කොල්රිජ්ගෙ ඉඳල විමල් දිසානායක දක්වා පරාසයක සංවාද ගොඩනඟන්න අපිට පුළුවන්. ඔබට අනුව කවිය කියල කියන්නෙ මොකක් ද?

පොදුවේ මගේ විශ්වාසය නවකතාවට සාපේක්ෂව කෙටිකතාවට මෙන්ම පද්‍ය ශානරයකට තනි හුදු නිර්වචනයක් දීම තරමක් දුෂ්කර කාර්යයක් බවයි. නමුත්, මම විශ්වාස කරන්නේ කවිය කියන්නේ ලෝකය දිහා විදර්ශනා ඥානයකින් බැලිය හැකි විය යුත්තක්. අද ලියැවෙන බොහෝ කවි දිහා බැලු‍වහම මට හිතෙන කාරණයක් තමා මොකක් හරි විස්තරයක් ඉදිරිපත් කරන ස්වභාවයෙහි වැඩිවීමක් දක්නට පුළුවන් කියන කාරණය. එහෙත්, මම විශ්වාස කරනවා කවිය යමක් කාව්‍යාත්මකව දාර්ශනික පසුතලයකින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක විශිෂ්ට කවියක් කියලා. පොදුවේ ලෝකය, බාහිර දේ හා තමන් දිහා දුරින් ඉඳලා බලාගෙන ඉන්න පුළුවන් නම්, හුදෙක් විස්තරයක් කවියකින් නොකියා දාර්ශනික අර්ථයකින් කවියක් ලියන්න පුළුවන් හැකියාවක් ඕනෑම කෙනෙකුට ලැබෙයි.

  • ආගමික ආභාසයත් බොහෝ තැන්වල පෙනෙන්නට තිබෙන දෙයක්. බොහෝ නාමකරණයන් පවා ඊට නිදසුන් සපයනවා. මේ ආභාසය ඔබට ලැබෙන්නෙ කොහොම ද සහ ඔබ ලිවීම ඇතුළට එය ආයෝජනය කළේ කොහොම ද?

කුඩා කාලයේදී සිට මම සවිඥානිකව හෝ අවිඥානිකව හෝ බුද්ධ දර්ශනයට අදාළ, විශේෂයෙන් මහායානය, ථෙරවාදය, තන්ත්‍රයානය වැනි ගැඹුරු ඉගැන්වීම්වලට අදාළ කාරණා පිළිබඳ ගවේෂණය කරන්න ගන්නවා. ඇත්තටම ලෝකය කියන්නේ මොකක් ද, සංසාරය කියන්නේ මොකක් ද, මම කියන්නේ කවුද, වැනි බෙහෝ කාරණාවලට උත්තර ඒවා ඔස්සේ මම ඉගෙන ගන්නවා. ඒ සඳහා මට ලැබුණු හොඳම දායාදය පෙරදිග දර්ශනයට අදාළ ඥානය නිසා මම ඒවා මගේ ලිවීම සඳහා යොදා ගන්නවා. හැබැයි, පැහැදිලිව මම කියනවා ඒක ආභාසයක් නම් නෙමෙයි. මම ඉගෙන ගත් දේ සාහිත්යික අර්ථයෙන් ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි මම සිද්ධ කරන්නේ. එයට තව හේතුවක් තමයි, පෙරදිග දර්ශනය සාහිත්‍ය ශානරවල කේන්‍ද්‍රීය හරය වශයෙන් ගෙන ඒමට මම දක්වන රුචිකත්වය. එහි තියෙන ගැඹුරු ඥානය නව පාඨකයන්ට හඳුන්වා දීම.

  • වර්තමාන විශ්වවිද්‍යාල ඇතුළෙ – විශේෂයෙන් ශාස්ත්‍ර පීඨ තුළ – ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සාහිත්‍යමය මැදිහත් වීම ගැන ඔබේ තක්සේරුව මොකක් ද?

මම කියන්නේ නෑ ඒ මැදිහත් වීම ඉතාම විශිෂ්ටයි කියලා. නමුත් සාපේක්ෂ වශයෙන් කොරෝනා සමයත් එක්ක ඒ මැදිහත් වීමේ ඉහළ ප්‍රවණතාවක් තියෙනවා. විවිධ සාහිත්‍යය පිළිබඳ විවිධ කතිකා ඇති වෙලා තියෙනවා. එක් නිදසුනක් මම දක්වන්නම්. දර්ශන අංශයෙහි හිටපු සහාය කථිකාචාර්යවරයෙක් වන නිමේෂ් නිරංජන කියන සාහිත්‍ය මිතුරා ‘දුර දුවන මිනිස්සු’ කියලා, ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සිදු කරන සංවාදශීලී සමාජ කතිකාවක් ඇති කරලා තියෙනවා. කවිය හා ගීතය වැනි ක්‍ෂේත්‍ර දිහා එතුළින් බලන බැල්ම ඉතාම විශිෂ්ටයි. ලියන්නට කියන්නට, විචාරය කරන්නට පුළුවන් ශිෂ්‍ය පරපුරක් එමඟින් හදනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර සහ එතුළ සාකච්ඡාවට ලක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළාම අපි තක්සේරු නොකරන ආකාරයෙන් කථිකාචාරයවරුන් සේම ශිෂ්‍යයන් සාහිත්‍ය මැදිහත් වීම සිදු කරනවා කියලා මම මහත් අභිමානයෙන් කියනවා. කොරෝනා රැල්ල ඇති කරපු හොඳ දායාදයක් විදිහට මම මෙය සලකනවා.

  • ඇතැමුන් කියන්නෙ සිංහල කවිය තාම මහගම සේකරගෙන් මෙහාට ඇවිත් නැහැ කියලා. නවකතාව මාර්ටින් වික්‍රමසිංහගෙන් මෙහාට ඇවිත් නෑ කියනවා. ඔබේ අදහස මොකක් ද?

ඒ අදහසට නම් මම එකඟ වෙන්නේ නෑ. කවිය, නවකතාව වාගේම කෙටිකතාව කියන සාහිත්‍ය ශානර තුනම යථාර්ථවාදය පසුකරමින් පශ්චාත්-යථාර්ථවාදය, පශ්චාත්-නූතනවාදය වැනි න්‍යායික කලාපවල ලියැවෙන අවධියක් වශයෙන් මම නූතන සාහිත්‍ය සංස්කෘතිය හඳුන්වනවා. නමුත්, එහි අඩු-වැඩි බව පිළිබඳ ප්‍රශ්න තියෙන්නට පුළුවන්. නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, ලියනගේ අමර්කීර්ති, අජිත් තිලකසේන, ටෙනිසන් පෙරේරා, පියල් කාරියවසම් යන අයගේ නම් මට මේ වෙලාවේ සිහි වෙනවා. ඔවුන් සාහිත්‍යය තුළ භාවිත කරන අර්ථ පරාස සහ ව්‍යුහීය වෙනස්කම් මහගම සේකර සහ මාර්ටින් වික්‍රමසිංහගෙන් නූතනයට අපිව රැගෙන එනවා.

  • සමකාලීන සාහිත්‍ය අවකාශය වෙනුවෙන් ඔබට කරන්න යෝජනාවක් තියෙනව  ද?

පැහැදිලිව තියෙනවා. බොහෝ සාහිත්‍ය නිර්මාණ, විශේෂයෙන් ආධුනික කෙටිකතා හා පද්‍ය නිර්මාණ මුද්‍රණ ධානවාදයට අහුවෙලා කියලයි මට හිතන්නේ. මම පෙර සඳහන් කළ ආකාරයට ඔහේ විස්තර ටිකක් ලියන කවි තමයි සුලභව අපි දකින්නේ. ඉන් පස්සේ මොනව හරි ලියලා පොත් ලියලා පළ කරලා, ලොකු උත්සවයක් තියලා ජනගත කරලා සතුටට පත්වෙන අය එපමණයි. ඒක එහෙමම වෙන එක වළක්වලා එතැනින් එහාට ඇවිත් ලෝකය දිහා දකින ආකාරයෙන් යම් දර්ශනික හරයක් නිර්මාණ රචනයකට ප්‍රවේශ කර ගන්නා ආකාරයට හිතන්නට පුළුවන් පිරිසක් හදන්න පුළුවන් නම්, ඒකයි අපි කළ යුත්තේ. සාහිත්‍ය සංවාද, සාකච්ඡා වැනි දෙයකින් අපි කරන්නට ඕනෙත් එහෙම දෙයක්. කෙනෙක් ලියන්නට පොළඹවනවා කියන්නේ, මොනවා හරි අකුරු ටිකක් නිර්මාණ රචනයකට දාලා පොතක් කරන්නට ඔහු දිරිගැන්වීම නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඊට වඩා ලෝකය දිහා ගැඹුරු පරිකල්පනයකින් බලන්නට නව ලේඛකයන් යොමු කරන්නට ඕනෑ. එහෙම නැතිව දැන් පවතිනවා සේ මුද්‍රණ ධනවාදයට යොමු කරන ආකාරයේ සාහිත්‍ය අවකාශ ගොඩනැඟෙන එකට මම පෞද්ගලිකව රුචි නැහැ.

  • ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් යමක් කියමු?

මේ වකවානුවේ අන් ආචාර්යවරුන් වාගේ මමත් සූම් තාක්ෂණයට ඔස්සේ ළමයින්ගේ මොළ හදන්නට උත්සාහ කරනවා. මොකද පන්ති කාමර ඉගැන්වීමට වඩා වෙනත්ම ඉගැන්වීම් සංස්කෘතියකටයි අපි වැටිලා ඉන්නේ. ඉතින් කාර්යබහුලයි. ඒත් නවකතාවක්, තව කෙටිකතා සංග්‍රහයක් සහ පද්‍ය සංග්‍රහයක් අවසාන කරමින් ඉන්නවා. වැඩ අධික ජීවිතය මැද නිර්මාණ අපේක්ෂාවන් දැල්වෙනවා.

සංවාදය කසුන් සමරතුංග

 

 

Leave A Reply

Your email address will not be published.

15 − one =