මහේස්ත්‍රාත්වරුන්ගේ සම්මන්ත්‍රණය ගැන නීතිඥ සංගමයෙන් ලිපියක් !

මහේස්ත්‍රාත්වරුන් සඳහා පවත්වන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයක් මගින් යුක්තිය පසිඳලීමේ කාර්යයට යම් බලපෑමක් සිදු වී තිබේ නම්, වහාම එය නිවැරදි කිරීමට වගකිවයුතු පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී.

එම සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ සහ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් ඊයේ (16) අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකරන ලද ලිපියක මේ බව සඳහන් කර ඇත. ‘කොවිඩ් 19 අධි-වසංගත සන්දර්භය තුළ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධ කාරණා මැයෙන් අධිකරණ නිලධාරීන් සඳහා පවත්වන ලද වෙබ් සම්මන්ත්‍රණයක් / රැස්වීමක් සම්බන්ධව වාර්තා වන කරුණු සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමු කර ඇති මේ ලිපිය මගින් නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ රැස්වීම පවත්වනු ලැබුවේ යම්-යම් නියෝග නිශ්චිත ආකාරයකින් ලබාදීම සඳහා විනිසුරුවරුන් පෙළඹවීම සඳහා යැයි අධිකරණ නිලධාරීන් තුළ හෝ ජනතාව තුළ අදහසක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බවයි. එසේ අධිකරණ නිලධාරීන් විසින් ස්වාධීනව තීරණ ගැනීමට යම් බලපෑමක් එල්ල වී ඇති බවට අදහසක් ඇති වීම බරපතළ කාරණයක් බව ද එමගින් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය මගින් පසුගිය 13දා මේ සම්මන්ත්‍රණය පවත්වන බවට විනිසුරුවරුන්ට ලිඛිත ව දැනුම් දී තිබුණේ අගෝස්තු 09 දා ය. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.සංජීව සෝමරත්නගේ අත්සනින් එම ලිපිය යොමු කර තිබූ අතර, විනිසුරුවරුන්ගේ උසස්වීම්, වාර්ෂික වැටුප් වර්ධක, විදේශ පුහුණු සහ මහාධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේදී මේ සම්මන්ත්‍රණයට සහභාගි නොවීම පිළිබඳව විශේෂයෙන් සලකා බලනු ඇති බව ද අදාළ ලිපියේ සඳහන් විය. මේ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් කතාබහක් ඇති වූ අතර, පසුගිය කාලයේදී උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන ලෙස පොලිසිය පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීම්වලදී විනිසුරුවරුන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙමගින් සමාජයේ අවධානය යොමු විය.

Leave A Reply

Your email address will not be published.

20 + 6 =