තලේබාන් වරුන්ගේ හදවත් වුණත් සළිත කරන්න ඇති ඒ නික්මයාම Exodus

නෝවාගේ කතාව ආයෙත් මතක් වෙනවා. ඒක තියෙන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ. ලෝකය අවසාන වෙද්දී ආක් නම් වූ ආරක්ෂිත නැවට ගොඩවන මහා ජනකායක්. ඒ සිදුවීම ප්‍රතිනිර්මාණය වෙනවා රෝලන්ඩ් එම්රිච්ගේ 2012 චිත්‍රපටයේ. මහා සුනාමියකින් ලෝකය විනාශ වෙද්දී ආක් නම් නෞකාවට ගොඩ වීමට වාසනාව ලැබූ මිනිස්සු ඉතිරි මිනිස් සංහතියම විනාශ වෙන හැටි කම්පාවෙන් බලා සිටිනවා.
මිනිස්සුන්ට නිදහස කොයි තරම් වටිනවාද යන වග තේරෙන්නේ එය නැති වී ගෙන යන විට. උඩින් යන ගුවන් යානයක තටුවක එල්ලිලා ගිහින් බිමට වැටෙන මිනිස්සුන්ගේ දසුන් ඇෆ්ගනිස්තානය විතරක් නෙවෙයි මුළු ලෝකයම කම්පා කළා. සමහර විට මේ සිද්ධි තලේබාන් වරුන්ගේ හදවත් වුණත් සළිත කරන්නත් ඇති.
නෝවාගේ ආක් නෞකාව වගේ තමයි ඊයෙ කාබුල් ගුවන්තොටුපළේ නවත්වා තිබුණු C-17 කාගෝ යානය. ඇඳන් හිටපු ඇඳුම පිටින් දරු මල්ලනුත් කර ගහ ගෙන එකා පිට එකා වැටෙමින් මේ ගුවන් යානයට ගොඩ වුණු ඇෆ්ගනිස්තාන මිනිස්සු 640ක්.
ඇත්තටම මේ යානය සූදානම් කර තිබුණේ ඇමෙරිකානුවන් මුදාගැනීමෙන් පසුව ඇමෙරිකානු හමුදා රැගෙන යන්න. ඇමෙරිකානු හමුදාවට තිබුණා මේ මිනිස්සුන්ව එක්කෝ එළියට ඇදලා දාන්න. නැත්නම් එකෙකුට දෙන්නෙකුට වෙඩි තියලා සෙනග එළියට පන්නන්න.
ඒත් යානයේ කපිතාන් වරයා කාර්ය මණ්ඩලය සමඟ කතාබහ කළා. ඔහු හදිසි තීරණයක් ගත්තා. ඔහුට අයිතිය තියෙනවා එහෙම තීරණ ගන්න. මේ ගුවන් යානයේ කිටි කිටියේ තද වෙලා හිටපු මිනිස්සු බලාපොරොත්තු වුණේ ආරක්ෂාව විතරයි. කොයි මොහොතේ හෝ තමන්ට ආයෙත් තලේබාන් මකර කටට යන්න වෙන බව ඔවුන් නොදැන සිටියා නොවෙයි.
ඒත් ටිකින් ටික යානය ධාවන පථය දිගේ ඇදෙන්නට ගත්තා. මිනිස්සු තුෂ්ණිම්භූතව බලා සිටියා. යානය ටිකකින් අහසට නැංගා. ඒ මරණය වෙනුවට ජීවිතය. නිදහස එක්ක.
මහා අවදානම් තීරණයක්. 134ක් යන්න පුළුවන් යානයක 640ක්. ඊටත් වඩා මේ පිරිස අතර මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් වුණත් ඉන්න පුළුවන්. මෙය ලෝක ඉතිහාසයේ මෙච්චර සෙනඟක් එක්ක අහසට නැංඟ පළමු ගුවන් යානය විය හැකියි.
යානය කෙළින්ම කටාර් රටේ ඇමෙරිකානු කඳවුරකට ගොඩ බැස්සා. දැන් ඒ පිරිස එකී අතරමැදි ස්ථානයේ ඇමෙරිකා හමුදා ආරක්ෂාව යටතේ සිටිනවා. ඔවුන්ට හෙට අනිද්දාම දේශපාලන රැකවරණ ලැබේවි. සරණාගතය භාවයත් ලැබේවි. ඉන් පස්සෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවයත් ලැබේවි. හරියට පොරොන්දු දේශයට නික්ම ගියා වගේ. මෙය ඉතිහාසයේ නැවත නැවතත් ලියවෙන කතාන්දරයක් වේවි.
මේක ඇමෙරිකානු භූ දේශපාලන සැළසුම් වල එක්තරා නාට්‍යයක් බවට තර්ක හදන්නත් කෙනෙකුට පුළුවන්. ඒත් හුදකලාව ගත්තොත් මේක මිනිසුන් වෙනුවෙන් මිනිසුන් විසින් ගත් නිර්භීතම මානුෂික තීරණයක්.

(යානයේ කපිතාන් වරයා කාර්ය මණ්ඩලය සමඟ කතාබහ කළා. ඔහු හදිසි තීරණයක් ගත්තා. ඔහුට අයිතිය තියෙනවා එහෙම තීරණ ගන්න. මේ ගුවන් යානයේ කිටි කිටියේ තද වෙලා හිටපු මිනිස්සු බලාපොරොත්තු වුණේ ආරක්ෂාව විතරයි. කොයි මොහොතේ හෝ තමන්ට ආයෙත් තලේබාන් මකර කටට යන්න වෙන බව ඔවුන් නොදැන සිටියා නොවෙයි.)

– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

20 − 16 =