හදවත ට බොහෝ ළඟ කවි.”ඔබට නොවේ බටිත්තන්ට “

ඉන් පස්සෙ..
ඔව්
ඔබට පුළුවන්
රිදුම් දෙන පපුවකට
ගරහන්න
හරියට ම
අප හමුවුන දිනේදි ම වගේ
අර,
මංසන්ධි දෙබුක්කාවෙදි
වෙන්වුණ නිමේශෙදි වගේ
මගෙ පපුව පාගන්න
නගින දුම් ගොබ අතරෙහි
පෙනහලු හඬනවා කිස් කකා
මංසන්ධි පසුකරන්
ඇවිද යන්නෙත් දැන්
මම නෙවෙයි
ඔහේ පාවෙන
සුසුමක් විතරයි
ඔබ කොහොම කිව්වත්
ළඟින් ඉන්න්ම ඕනෙ නෑ
පපුවකට ගැස්සෙන්න
ගැස්සිලා ගැස්සිලා
නවතින්න..

සංජීව මූණමල්පේගේ ‘ ඔබට නොවේ බටිත්තන්ට ‘ කාව්‍ය සංග්‍රහය මෑතකදී කියවන්නට ලැබුණු හදවත ට බොහෝ ළඟ කවි ඇති, කවි පොතකි. මනුෂ්‍යයෙකු ලෙස ඉපිද හැදී වැඩී සමාජයේ ජීවත් වන කල්හි එකී වටපිටාවෙන් ලබන ජීවන අත්දැකීම් සේම රිදූම් සංකා බොහොමයක් පිළිබඳ කවි එහි අන්තර්ගත වේ. බොහෝ විට ජීවිතය, ප්‍රේමය මිනිසෙකු ට ළඟා කරන රිදුම් ජීවිතකාලය පුරා සංකාවන් විලසින් පසුපස හඹා එන බැව් නොරහසකි .ඒවා පොදු කාරණා වුවද ඒ රිදුම් කවි ලෙස එළියට දමන්නට සියල්ලන්ට හැකියාවක් නැත.සංජීව මූණමල්පෙ කවියෙකු ලෙස එම කාර්‍ය මනාව ඉටුකර ඇති බැව් හැඟෙන්නේ කවි කියවන විට හදවතට දැනෙන රිදුම් බොහෝ සංවේදී වන නිසාවෙනි.
‘ඔබට නෙවේ බටිත්තන්ට ‘ කවි පොත පුරා ගලා යන සාංකාවන් රිදුමන් සමගම ප්‍රේමණීය බවත් ඒත්තු ගන්වන කවි හමුවේ.එම අපූරුවත්වයෙන් යුතු කවි ලගන්නාසුළු කවි බසකින් ගෙනහැර දක්වා ඇති බැව් පෙනේ.හුරුපුරුදු වටපිටාව නිරතුරුව කවි වලින් පෙන්වීම කවියාගේ සුවිශේෂී බවක් ලෙස මම දකිමි.සිව්පද ආකෘතින්ගෙන් බැහැරව කවි පොත පුරාම දක්නට ලැබෙන හද බසකි.එය සරලය.සුගමය.
ප්‍රතිබිම්බ
” හේතූන්ගෙන් හටගන්නා වස්තූන් ඒ හේතූන්ගේ අභාවයෙන් නොහටගනිත් නම්,එම වස්තූන් ප්‍රතිබිම්බ සමානය.”

පැමිණ කැටපත වෙත
බැමි ලිහා කෙස් මුදා හැර
උනා ඇඳ සිටි වස්ත්‍ර
නරඹනා විට මගෙම නිරුවත
පිළිබිඹුව දරා සිටි කැටපත
හා මගේ නිර්වස්ත්‍ර සිරුර’තර
හිස් ඉඩක් මතු කරයි
මා නයන යුග්මයම
උපන් කඳුලුද ,දුක ද,සොම්නස ද
දරාගත් ශරීරය සහ ඇතුලු හදවත ද
බලාසිටියේය මුහුණට මුහුණ
නිමේශයකට
නොබිඳිය යුතුය කිසි විට
ජීවත ආගාධයේ ගැඹුර මතු කරන
හිස් ඉඩ,
බිඳ දැමිය යුතු ය කැටපත
දුටුව පසු දිවියෙහි
හිස් ඉඩ…

කවි පොතෙහි එන ඉහත කවිය ගැඹුරු ජීවන දෘෂ්ටියක් මතුකරන කවියකි.එය ජීවිතයේ හරය හඳුනා ගැනීමට කරන ආරාධනාවක් බඳුය.කැටපත ක් ඉදිරියේ නිර්වස්ත්‍ර වන මිනිසෙකුට ජීවිතයේ ගැඹුර මතු කරන හිස් ඉඩ දකින්නට ත් තමාට තමා හමුවන නිමේශයක් ලෙසත් එය හැඟේ.ඇතුලු හදවත හමුවන, දුක සොම්නස මුදාහල හැකි අවස්ථාව ක් ලෙස එය හැඳින්විය හැකිය.

ඒ වියළි බෝ පත
ගසකින් මිදුණු මේ බෝ පත
පොතක පිටු අතර රඳවා වියලාගෙන
ඒ මත ඔබේ නම කැටයම් කොට
තබා ගත්තා හදවතට සමීපව
ජීවිතේ අත තැබූ අයිස් කැටයක් විලස
දියවී ගියා මහපොළොව වෙත
නොකියාම දිනෙක වෙන්වෙලා ගිය
ඔබේ නම දුර ගියා දුහුවිල්ලක් ලෙස
මතකයක් පවා ඉතිරි නොකරම
නැවතුනා ඔබ දුටුව විට නැග්ග හද ගැස්ම
එයින් මතු කිසි දිනෙක
සිතුනෙ නෑ තිබුණු බව
ආදරය පිරුණු හදවතක් මට
යනෙන විට මාවතේ කන්තෝරුවට
සිතුණෙ නෑ හමුවේවි කියා ඔබ යළිත් මට
තනිවෙද්දි තනිකමේ මා එක්ක
ඇති වුනේ හුදෙකලාවක් මිසක
මතකයක් නොවේ අතීතය ගැන
පෙරළද්දි තිබී දිනපොත් අතර
හමුවුනා ඒ වියළි බෝ පත
කෙටූ සේ ගලක රූපත් ව
මම දුටිමි හද බිතේ තැන්පත්ව
ඔබ සිටී තාම මා අත් නොහැර…

ප්‍රේමය කල් ඉකුත්ව නොයන බවත් මතකය හදවතේ කොහේ හෝ මුල්ලක නිදා සිට කොයියම් හෝ මොහොතක අවදිවන බවත් කියාපාන ඉහත කවිය ‘ඔබට නොවේ බටිත්තන්ට ‘ පොතෙහි මා සිත් ගත්ම කවියකි. ඒ සියුම් ප්‍රේමනීය අත්දැකීම් බොහොමයක් පොදුවේ අප අත්විඳ ඇත්තාට සැක නැත. සමහර ප්‍රේමනීය මතක යළි සිහිකැඳවෙන්නේ යම් යම් උත්තේජන හමු වූ විට පමණී.ඉහත කවියේ බෝ පත එලෙස ප්‍රේමයේ අතීත මතක යළි කැඳාවාගෙන ආ අවස්ථාවකි.
තවද එහි එන ‘ආදරයට තිබෙනවා එහිම සුවඳක්’ කවියේ සිත් ගත් එක් කොටසකි

“ආදරය විස්මයක්
එයට ඇත එහිම සුවඳක්
අත්විඳ නිමා නොකළැකි
නිම නොවන අගයක්..”

සමහර ප්‍රේම කවි වල දකින ආශ්වාදජනක හැඟීම හෝ වියෝවන් පිළිබඳ හැඟීමට වඩා ගැඹුරක් රිදුම් ස්වභාවයක් මූණමල්පෙ කවියාගේ කවි වලින් හඟින බව මම දකිමි. ඔහුගේ කවි පමණක් නොව කෙටිකතා වලද ඒ බැව් හඳුනාගත හැක.පොදුවේ ගත් කළ කවියාගේ සමස්ථ කවි පොත පුරා ගලා ආ රිදුම් සාංකාවන් හදවතේ සියුම් සීරීම් ඇති කරයි. ඒවා විඳිය හැකිවේ. සමහර විටෙක තවත් සිතන්නට අපව යොමු කරනවා විය හැකිය . “ඔබට නොවේ බටිත්තන්ට ” කවි පොත කියවන්නටත් විඳින්නටත් ඔබට ඇරයුම් කරන අතර සංජීව මූණමල්පෙ කවියාගේ ඉදිරි සාහිත්‍ය ගමනට සුබ ප්‍රාර්ථනා එක් කරමි.

– චමිලා මැණික්ගමගේ 

කංචුකය – Susantha Moonamalpe
‘සන්ථව’ ප්‍රකාශනයක්

 

Leave A Reply

Your email address will not be published.

three × 1 =