කාබුල් නුවරින් ඇසෙන නූතන නෝවාගේ කතාව

අද ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළ දහස් ගණන් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියා. ගුවන් ගතවීමට නියමිත යානා වලට ඇතුළු වීමට පොදිකන මිනිසුන් දකින විට රෝලන්ඩ් එම්රිච්ගේ 2012 චිත්‍රපටය සිහිවෙනවා. ලෝක විනාශයට පෙර ආක් නම් ආරක්ෂිත නෞකාවට ගොඩවීමට උත්සාහ කරන මහා ජනකායෙන් විශාල පිරිසක් විනාශ වෙනවා.ඉතිරි පිරිස් දැවැන්ත නෞකාවේ සිට ලෝකයේ ඉරණම විසඳෙන හැටි බලා සිටිනවා. බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ දැක්වෙන නෝවාගේ කතාවේ ආක් නම් නෞකාව ආශ්‍රයෙන් තමයි එම්රිච් මේ මුදාගැනීමේ මෙහෙයුම චිත්‍රපටයට ඇතුළු කර තිබෙන්නේ.

සමස්ත ඇෆ්ගනිස්තානයම තලේබාන් මූල්ධර්මවාදීන්ගේ ග්‍රහණයට නතු වෙද්දී කාබුල් ගුවන් තොටුපළ පමණක් අති විශාල ඇමෙරිකානු හමුදා සේනාංකයක් විසින් තම ආරක්ෂාව යටතේ තබා ගත්තා. ඒ කාබුල් නුවර සේවය කළ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, තම පුරවැසියන් හා අනෙකුත් බටහිර රටවලට අයත් පිරිස් මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක නිසා.

මේ අතර තලේබාන් මූලධර්මවාදී පාලනයෙන් බේරීමට දහස් ගණන් ඇෆ්ගනිස්තාන වැසියන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමඟ ගුවන් තොටුපළට ඇතුළු වී තිබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකානු කඳවුරු තුළ සේවය කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් කුමන ක්‍රමයකින් හෝ රටින් පිටවීමට උත්සාහ දරන්නේ තමන්ගේ ඉරණම ගැන ඇති වූ අවිස්වාසය නිසයි.

තමන්ව ගුවන් යානා වලට නංවා ගන්නා මෙන් බලකරමින් ඇෆ්ගනිස්තාන සිවිල් වැසියන් ඇමෙරිකානු මැරින් භටයන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමට උත්සාහ දැරූ බවද වාර්තා වෙනවා. මේ අවස්ථාවේ ඇමෙරිකානු නාවික භටයන් විසින් තබන ලද වෙඩි පහර වලින් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා.
කාබුල් නුවරින් ගුවන් ගත වීමට නියමිතව තිබූ මඟී ගුවන් යානා සියල්ලම අත් හිටවීමට බලධාරීන්ට සිදුවුණේ ඒවාට ඇතුළු වීමට හා ආසන අල්ලා ගැනීමට විශාල තදබදයක් ඇති වූ නිසයි. ඊට පෙර ගුවන් ගත වූ ගුවන් යානා වල එල්ලී රටින් පිටවීමට උත්සාහ දරණ මිනිසුන්ගේ සංවේදී දසුන් ජාත්‍යන්තර මාධ්‍ය වල විකාශය වුණා. ගුවන් ගතවන යානා වල රෝද වලට හසු වී තවත් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගුවන් යානයේ පිටත එල්ලී ගොස් ඉහළ අහසේ සිට පුද්ගලයන් දෙදෙනෙකු බිමට ඇද වැටී තිබෙනවා.

අප ජීවත් වන දකුණු ආසියානු කලාපයේ අළුත් වටයකින් දිග හැරෙන මානව ඛේදවාචකය මෙලෙස අපේ ඇස් පනාපිට දිග හැරෙමින් තිබෙනවා.
– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

 

Leave A Reply

Your email address will not be published.

eighteen − fifteen =