රටට ගැලපෙන ප්‍රවාහන පද්ධතියක් හදනවා – අනුර කියයි

මේ වන විට සියයට පනස් දෙකක් දක්වා බිඳ වැටී ඇති පොදු ප්‍රවාහන සේවාව සියයට අසූව දක්වා වර්ධනය කිරීමටත්, වාහන තදබදය අවම කිරීමට සහ මහමග සිදු වන කාලය අපතේ යාම වලක්වා ගැනීමටත් විධිමත් සැලැස්මක් ජාතික ජන බලවේගය සතුව ඇති බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) කලුතරදී පැවති ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයේදීය.

එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

”රටේ යම් දියුණුවක් අත්පත් කරගන්නනම් සහ ජනතාවට ගමනාගමනයේදී යම් ගරුත්වයක් අත්පත් කර ගන්නනම් ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෙ. ඒ නිසා තමයි මීට වසර දෙකක පමණ කාලයක සිට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා කරන ලද විශාල අධ්‍යයනයකින් පස්සෙ මේ ප්‍රවාහන වැඩපිළිවෙල සකස් කළේ. එහිදී අවධානය යොමු කරල තියෙන එක ප්‍රධාන සාධකයක් තමයි පොදු ප්‍රවාහන සේවය නගා සිටුවීම. ඒ අනුව දැනට සියයට පනස් දෙකක් වෙලා තියෙන පොදු ප්‍රවාහනය භාවිතා කිරීම අවුරුදු පහක් ඇතුළත සියයට අසූවක් දක්වා වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉලක්කය හුදු ගණන් වලින් හදපු ඉලක්කයක් නෙමෙයි.

අද නාගරික තදබදයට උත්තරයක් නැහැ. ලෝකයේ දියුණු රට වල පොදු ප්‍රවාහනයට විශේෂ තැනක් දීල තියෙනවා. පෞද්ගලික වාහන වලින් ගමනාගමනය සිදු කරනවාට වඩා පොදු ප්‍රවාහනය යොදාගන්න විශාල පෙළඹුමක් ඇති කරනවා. මේ තියන මාර්ග තදබදය අවම කර ගන්නනම් අපිටත් පොදු ප්‍රවාහනය ගැන හිතන්නම වෙනවා. අනෙක් පැත්තට රථ වාහන නිසා වායු දූෂණය වැඩි වෙලා තියෙනවා. අපිටත් ඒ ප්‍රශ්නය විවිධ අයුරින් බලපෑම් කරමින් තියෙනවා. මේ වෙනකොටත් මහනුවර ආශ්‍රිතව වායු දූෂණය ඉතාමත් වැඩි අගයක් ගනිමින් තියෙනවා. ඒකට විසඳුමක් දෙන්නනම් රථවාහන භාවිතය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. පොදු ප්‍රවාහනය දියුණු කිරීම හරහා ඒකටත් විසඳුමක් ලබා ගන්න පුළුවන්.

පොදු ප්‍රවාහනයේ කඩා වැටීම නිසා අද අපේ රටේ පෞද්ගලික වාහන මිලදී ගැනීමේ විශාල පෙළඹුමක් ඇති වෙමින් තියෙනවා. අපේ රට කියන්නෙ වාහන නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. ඒ නිසා විශාල වශයෙන් වාහන මිලදී ගන්නව කියන්නෙ රටේ වත්කම් ඒ හා සමානවම එළියට ඇදිල යනව කියන එකයි. ඒක රටේ ආර්ථීකයට විශාල බලපෑමක් කරනවා. ඒ වගේම රටේ ජනතාව ප්‍රවාහනයට වැය කරන පිරිවැයත් ඉහළ ගිහින් තියෙනවා. විවිධ වර්ගයේ වාහන ලක්ෂ හැත්තෑ තුනත් අද රටේ තියෙනවා. ඒ වගේම යතුරු පැදි ලක්ෂ දා හතක් තියෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ආර්ථීක වශයෙන් හැකියාවක් ඇති නිසා කරපු වාහන මිල දී ගැනීම් නෙමෙයි. ඒ නිසා දිසා අධිකරණ වල විභාග වෙන නඩු වලින් සියයට අනූවක් ලීසිං නඩු. ඒකෙන් කියන්නෙ ප්‍රවාහනයේ ඇති ගැටළුව නිසාම තමයි බොහෝ දෙනෙක් පෞද්ගලික වාහන මිල දී ගන්න යොමු වෙලා තියෙන්නෙ කියන එකයි. ඒ පිරිවැය දරා ගන්න බැරි නිසා තමයි ලීසිං ගෙවා ගන්න බැරි වෙලා අර කලින් කිව්ව වගේ අධිකරණ වන නඩු වැඩි වෙමින් තියෙන්නෙ.
තවත් එකක් තමයි, ප්‍රවාහනයේදී අපතේ යන කාලය. පොදු ප්‍රවාහනයේදීත්, පෞද්ගලික වාහනයකින් ගමනාගමනයේ යෙදෙද්දිත් විශාල කාලයක් නාස්ති වෙමින් තියෙනවා. ඒක රටක ආර්ථීකයට විශාල බලපෑමක් ඇති කරනවා.

මේ සියල්ල ගැනම අපි අවධානය යොමු කරමින් තමයි අපේ ප්‍රවාහන සැලැස්ම සකස් කරල තියෙන්නෙ.”

ආචාර්ය දිලීප විතාරණ, මහාචාර්ය උපාලි පන්නිල ඇතුළ පිරිසක් ද මෙහිදී අදහස් දැක්වීය.

Leave A Reply

Your email address will not be published.

2 × two =