කුල්ල කුජීතව ඇති ආණ්ඩුව රට වහයිද?

සෞඛ්‍ය අංශ කියනා ආකාරයට මෙන්ම පැහැදිලිව පෙනෙනා ආකාරයටද රටෙහි තත්වය බරපතලය. මේ තත්වය යටතේ ගත හැකි ඥානාන්විත එක් පියවරක් වනුයේ රට සති දෙකකට හෝ ලොක්ඩවුන් කිරීම බව සෞඛ්‍ය අංශ කියති. එහෙත් ආණ්ඩුව කියන්නේ එවන් අදහසක් නැති බවයි. යම් හෙයකින් ආණ්ඩුව මැදිහත්ව ලොක් ඩවුන් කිරීමකට යතහොත් රටෙහි ජනයාගේ අවශ්‍යතා ගැන වගකීම දරන්නට වනුයේ ආණ්ඩුවටය. පවත්නා ආර්ථික අර්බුදය හමුවේ බන්දුල ගුණවර්ධන ගේ වදන් වලින් කියන්නේ නම් කුල්ල කුජීතව ඇති තත්වයක් යටතේ ආන්ඩුව එවන් දෙයක් ගැන සිතනු ඇතැයි කියා කල්පනා කළ නොහැකිය. ආර්ථිකය පවත්වා ගැනීම යන තේමාව යටතේ රට විවෘතව තැබෙනුයේ එහෙයිනි. එහි අරුත තමන්ගේ පත තමන් විසින්ම සොයා ගැනීම යනුයි.

මේ තත්වය යටතේ ජනතාවට ඇති දෙවන විකල්පය වනුයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් පවසන ආකාරයට ස්වයං ලොක් ඩවුන් කිරීමකට යාමය. පුවත් වලින් පැවසෙන පරිදි ඇතැම් කඩ සාප්පු වසා දමමින් යම්යම් ස්ථානයන්හී එය සිදුවෙමින් පවතී. මෙවන් පියවරකදී ජීවනෝපාය අහිමිවීම් වැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් නැත. මන්ද යත් තීරණය ගන්නේ ජනතාව වන හෙයිනි. එය හරියට ඌරාගේ මාළු ඌ පිට තබා කැපීමක් වැනිය. දැන් යළිත් තීරණය ජනතාව අතය. හෙවත් ජේ ආර් තියරිය පරිදි තමන්ගේ ආරක්ෂාව තමන්ටමය.

කළමණාකරන කෝණයෙන් මේ තත්වයට අපූරු යෙදුමක් තිබේ. ඒ ආපදා කළමණාකරනය යන්නයි. එහි සම්මත අර්ථය කුමක් වුව මහ පොලවේ අර්ථය මෙසේ විය යුතුය. එනම් තම වාසියට ආපදාවක් කළමණාකරනය කිරීමයි.
අනෙක් අතින් ජනතාව ස්වයං ලොක් ඩවුන් වීමකට යන්නේ නම් එවිට ඇතිවන තත්වය විස්තර කිරීමටද වදනක් තිබේ. ඒ අරාජිකත්වය යන්නයි.
අමරදේවයෝ වරෙක මෙසේ ගැයූහ. ‘ඒ වු නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.”
නිදහස කෙසේ වෙතත් අප දැන් ඉන්නේ නම් ස්වර්ග රාජ්යයේ දොරටුව ආසන්නයේ බව ඉතා පැහැදිලිය.
– චුලානන්ද සමරනායක(fb)

Leave A Reply

Your email address will not be published.

nineteen + 3 =