වළක්වා ගත හැකි මරණ: ඝාතන !

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන තීරණ ගැනීම දිගින්දිගටම ප්‍රමාද කිරීම නිසා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබේ. මේ අතුරින් සියලු මරණ වළක්වා ගත නොහැකි වුව ද, අත්‍යවශ්‍ය තීරණ ගත්තේ නම්, සැලැකිය යුතු ප්‍රමාණයක් වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය විෂයය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කණ්ඩායම් විසින් දිගින්දිගටම අවධාරණය කරන ලද්දේ වහාම දින 14ක කාලයක් සඳහා රට වසා දැමීමක් සිදු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී ද කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් පෙන්වා දී තිබිණි. එහෙත්, එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, විශේෂඥයන්ට තමන් හමුවන්නැයි පවසන ලෙසයි. එහෙත් විශේෂඥයන් විසින් මේ පිළිබඳව අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, පුවත් පත මුද්‍රණයට යන අවස්ථාව වන විට එනම්, පසුගිය 12දා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය විශේෂඥයින් අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබිණි. එහි දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14කට රට වසා දැමීමක් හෝ එවැනි දැඩි තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට නියමිත බව විශේෂඥයෝ සාකච්ඡාවට පෙර පවසා ඇත.

කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිනිය විසින් පසුගිය සතියේ පවසා තිබුණේ, කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 33කින් සහ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සියයට 48කින් ඉහළ ගොස් ඇති බවයි. මේ අතර මේ තත්ත්වය අවධාරණය කරමින් සෞඛ්‍ය විශේෂඥයන් විසින් ද පෙන්වා දී තිබුණේ, කෙටි කාලයක් තුළ මරණ සංඛ්‍යාව 1,200කින් පමණ ඉහළ යනු ඇති බවයි.

එසේම ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති දෙකේ දී ප්‍රබලව ක්‍රියාත්මක වනු ඇති බවත්, මේ තත්ත්වය තේරුම් ගෙන සංචරණ හැකි තාක් සීමා කරන ලෙසත්, නව වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත්, කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත්, ඔක්සිජන් නැති වුවහොත් සිදු වෙන දේ පිළිබඳව සිතා ගැනීමට තමන් ජනතාවට යෝජනා කරන බවත් ඔහු සඳහන් කරයි.

ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ආරම්භ වූවා පමණක් යැයි පවසන ආචාර්ය ජීවන්දර, මෙහි භයානක බව හොඳින් දැනෙන්නේ ඉදිරියේ දී බව ද සඳහන් කරයි. මේ හේතුවෙන් ඉදිරි සති දෙක-තුන ඉතාම තීරණාත්මක බවද ඔහු පවසයි. චීනයේ වූහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වෛරස් ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ වේගයෙන් ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය පැතිරෙන බවත්, මුව ආවරණය තප්පර 5ක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය කාලය පුරා සෞඛ්‍ය විශේෂඥයන් විසින් අවධාරණය කළ විද්‍යාත්මක කරුණු බැහැර කොට වසංගතය පාලනය සඳහා අත්තනෝමතික තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර, එම නිසා අදාළ මරණ රැසක් අවස්ථාව කනගාටුදායක ලෙස මඟහැරී ගිය බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී. එම නිසා ප්‍රමාද වී හෝ අදාළ විශේෂඥයන්ගේ මතයට ඇහුම්කන් දී තීරණයක් ගන්නේ නම්, එය තවත් ජීවිත සිය ගණනක් ආරක්ෂා කරනු ඇතැයි ද එම අංශ පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.

eighteen − 2 =