නූතන කළුකඩකාර ඉගැන්වීම් මාෆියාව

අද ඉපදෙන දරුවා හෙට දින නිසි සමාජානුයෝජනයකින් යුත් වැඩිහිටියකු ලෙස සමාජගත වීම සඳහා අවශ්‍ය විධිමත් මඟපෙන්වීම ලැබෙනුයේ ඔහු හෝ ඇය ලබන නිසි අධ්‍යාපනය තුළිනි. ඒ අනුව අධ්‍යාපනය වනාහි පුද්ගල ජීවිතයෙහි දැනුම, කුසලතා, ආකල්ප, හැසිරීම් සකසන බලවත් යෙදවුමක් ලෙස දැක්වීම වඩා සුදුසු ය. එහෙත්, මෙය මනාව වටහා ගත් කන්නන්ගර වැන්නවුන් විසින් එදා සුරැකි නිදහස් අධ්‍යාපනයේ පිහිට ලබා ඉන්ම යැපී,  ඊටම වළ කපන ගුණමකු මිනිසුන් ලාංකීය දරු දැරියන් මංමුළා කරන අයුරු වඩ වඩාත් දකින සමයක ‘කළුකඩකාර අධ්‍යාපන වෙළෙඳාමේ’ නවතම ස්වරූපයන් තත්ත්වානුසාරයෙන් දැන සිටීම දෙමාපිය, දූ-දරු සැමට එකහෙළා වැදගත් වනු ඇත.    

‘නූතන කළුකඩකාර අධ්‍යාපන වෙළෙන්දා’ දිසාපාමොක් ගුරු පරපුරක අවසානයකට ආවඩනායුරු ඛේදනීය දුර්දාන්තයක දෘශ්‍යමාන සාක්ෂිය බව පැහැදිලි ය. දියුණු අධ්‍යාපන සංස්කෘතියක නොදියුණු ආගමනය හතු මෙන් පිපෙන අධ්‍යාපන කඩ කාමර ය. එවැනි පසුබිමක ගමෙන් නගරයට පැමිණ සිය උසස් අධ්‍යාපනික අරමුණු ඉටු කරගනුවස් විශ්වාසදායී ඉගෙනුම් ස්ථාන සොයන්නන් ලෙස ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව සැලැකිලිමත් විය යුතු  කාරණා බොහෝ ය.

නූතන ලාංකීය කළුකඩකාර අධ්‍යාපන වෙළෙන්දෝ  සිය කූට වාණිජ අරමුණු සඵල කරගනුවස් විවිධ ස්වරූපයේ අලෙවි උපක්‍රම යොදා ගනිති. ‘පොරොන්දු වටිනාකම් මත ඉර දෙන්නම් හඳ දෙන්නම් න්‍යායේ’ මැවුම්කාර ප්‍රචාරණ අතර අද වන විට ලාංකීය අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක්ව වෙන්දේසි වන තරමට බල්ලාට ගොස් තිබෙනායුරු ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් කොරෝනා ලෝක වසංගත තත්ත්වය හේතුවෙන් කරළියට පැමිණි මාර්ගගත (online) අධ්‍යාපන ආගමනය තුළ ෆෙස්බුක්, වට්සැප් වැනි සමාජ මාධ්‍ය හරහා සූක්ෂ්ම ලෙස සිසු සිසුවියන් බිලිබාන කළුකඩකාර ගුරු හොරු අතිශය සුලබ විය. මාර්ගගත අධ්‍යාපන ආගමනය හතු මෙන් පිපෙන කඩකාර ගුරු වෙළෙන්දන්ට වෙස්වලා ගත් ආශීර්වාදයක් බව විවාදයෙන් තොරව එකහෙළා පිළිගත හැක්කකි. ඒ අනුව වඩාත් මෑත කාලයේ දී ලාංකීය අධ්‍යාපනය වාණිජ වෙළෙඳපොළේ ප්‍රසිද්ධියේ, ලාබෙට වෙන්දේසි කළ, බොහොමයක් දෙමාපිය, සිසු ප්‍රජාවට නොවැටහුණු කූට අලෙවි ක්‍රම අතර ප්‍රමුඛත්වයේ පවතින උපක්‍රම කිහිපයකි.

සහන මිල හා ශිෂ්‍යත්ව

ප්‍රමිතියෙන් තොරව කලින් කලට තැනින් තැන බිහි කර ගන්නා විවිධාකාර අධ්‍යාපනික යැයි කියනු ලබන පාඨමාලාවලට සිසු පරපුර ඈඳා ගැනීමේ සුප්‍රසිද්ධ කලාව නම් ඇදහිය නොහැකි සහන මිල සහ ශිෂ්‍යත්ව ප්‍රදානයි. වැඩි සිසුන් පිරිසක් එකවර ඈඳා ගනිමින් විශාල මූල්‍ය ලාභයක් ලබන මෙවැනි ස්ථානවල ඉගෙනුමට යාමට පෙර මිලට වඩා විෂය අන්තර්ගතය සහ නියමිත ගුරුවරුන්ගේ වපසරිය පිළිබඳ පූර්ව අධ්‍යයනයක් කොට ප්‍රමිතිය තහවුරු කර ගැනීම ගුණාත්මක අධ්‍යාපනයක් සහ ඕනෑම තැනක පිළිගනු ලබන අධ්‍යාපනයක් ලබා ගැනීම කෙරෙහි වැදගත් වනු ඇත. මෙහි දී සෑම විටම සිහි තබා ගත යුත්ත නම් ‘ලාබ බඩුවේ හිලක් ඇත’ යනුවෙන් ජනවහරේ එන කතාව හිස්මුදුනේ තබා පිළිගත යුත්තක් බවය.

ප්‍රසිද්ධ චරිත

රටම හඳුනන චරිත යොදවා ප්‍රචාරණය සිදු කිරීම  සාම්ප්‍රදායික පෝස්ටර්, දැන්වීම්, වීඩියෝ ප්‍රචාරණවලින් ඔබ්බට ගිය අලෙවි උපක්‍රමයකි. ඒ බව දැන ප්‍රසිද්ධ චරිතයක් වූ පමණින් හා ඔහු හෝ ඇය සහතික කළ පමණින් පිළිගැනීමට තරම් හදිසි නොවී පූර්ව පරික්ෂා කිරීම් සහිතව අධ්‍යාපන මධ්‍යස්ථාන තෝරා ගැනීමට තරම් වගබලා ගැනීම සුදුසු වෙයි.

පොරොන්දුව

සන්නාමයක්ව ඇති රටේ පිළිගත් පුද්ගල චරිතවල අත්සන යෙදූ සහ පිළිගත් අධ්‍යාපන ආයතනවල මුද්‍රාව යෙදූ සහතික පිරිනමන බවත්, අදාළ පුද්ගලයන් හා ආයතන සමඟ අනුබද්ධ බවත් දැක්වීම අධ්‍යාපනය ලාබෙට විකිණීමේ ‘නංගි පෙන්වා අක්කා දීමේ’ ක්‍රමයයි. එවැනි සහතිකයක් ලබා ගැනීමට පේළිගැසී සැදීපැහැදී යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තේරුම් ගත යුත්ත නම් ‘මුත්තාගේ ළඟ ඇති අත්දැකීම් පිරි දැනුම් ගබඩාව ලේ බැඳීම තිබූ පමණින් ඔහුගේ මුණුපුරු අතදරුවා ළඟ කිසිසේත් නොවන බවයි.’ හතු මෙන් පිපෙන අනුබද්ධිත ආයතන හා ඒවායෙහි ගුරු ප්‍රජාව ද මුත්තාට ලේ නෑකම් පාන මුණුපුරු අතදරුවා මෙන් වන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.

පුරාජේරුව විකිණීම

මෙය කළුකඩ අධ්‍යාපනයේ වඩාත් සියුම් නවතම ක්‍රමෝපායයි. එය කොතෙක් සූක්ෂ්ම ද යත්, ඔබ, ඔබේ හොඳම යහළුවා හෝ යෙහෙළියගේ ද පාරිභෝගියකු වීමට වුව බැරි නැත. උසස් අධ්‍යාපනයේ නිරත සමාජශීලී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොරොන්දු මුදලට හෝ වෙන යම් පොරොන්දු පිට සිය අලෙවි නියෝජිතයන් කර ගැන්ම අන් කවරකටත් වඩා කළුකඩ ගුරු හොරුන්ට වාසි සපයන්නක් වී ඇත. තමා ද අදාළ පාඨමාලාව හදාරා ‘හඳ ඇල්ලූ, ඉර ඇල්ලූ බවට වන පුරාජේරුව’ තම මුහුණු පොතේ හා වට්සැප් වැනි සමාජ මාධ්‍ය සමූහයන්හි ස්ටේටස්වල දිගහැරුම මෙකී නවතම අලෙවි නියෝජිතයන්ගේ ස්වභාවයයි. මිනිසා තුළ සහජයෙන්ම පිහිටා ඇති ‘අරයා කළ නිසා මාත් කරනවා’ යන අනුකරණ න්‍යාය ඉලක්ක කොට හීන් නූලෙන් ගේම ගසන මෙම අලුත්ම ප්‍රචාරණ උගුලට ඇතැම් විට ඔබ මේ මොහොතේ පවා හසු වී සිටිය හැකි ය.

මුදලක් ගෙවා අධ්‍යාපනය ලැබීම අපේක්ෂා කරන්නකු ලෙස ඔබට අදාළ ආයතනය, විෂය අන්තර්ගතය, ඉගැන්වීම් රටාව, උගන්වන පිරිසේ වන සුදුසුකම් පූර්වයෙන් සෘජුව විමසා බැලීමේ හා සනාථ කර ගැනීමේ සම්පුර්ණ අයිතිය හිමි අතර, කළුකඩකාර ගුරු හොරුන්ට හසු වී නිකරුණේ කල්මරනු වෙනුවට සුදුසුම ඉගෙනුම් ස්ථානය සොයා ගැනීමට භාවිත කළ හැකි වඩාත් ප්‍රායෝගික විශ්වාසදායී ක්‍රමය ලෙස එම අයිතිය භාවිතය දැක්විය හැකි ය.

තවද තැනින් තැන හතු පිපෙනු මෙන් වන ආයතනවලට ගොඩවැදී ගෙන් ගෙට මෙන් ගොස් විමසීමේ වෙහෙසකර කටයුත්ත සරල කොට වඩා නිවැරැදි ඉලක්කගත ආයතන කිහිපයක් සුදුසුකම් සංසන්දනය සඳහා තෝරා ගැනීමට ඔබට උපකාර කර ගත හැකි පහසුම ක්‍රමවේදයක් වේ. එනම් අදාළ ආයතනවල සමාජ මාධ්‍ය සමූහයන් සඳහා (Fb පිටුව, Fb group යනාදී) ඒකරාශි වී සිටින අනුගාමික පදනම කෙරෙහි අවධානය යොමු කිරීමයි. සිය Fb පිටුවේ අනුගාමිකයන් දහසක්වත් නැති ඇතැම් කළුකඩකාර ගුරු හොරු විවිධ සහන දීම් මුවාවෙන් ඒකරාශී කර ගන්නා සිසුන් සිසුවියන්ට සිය පුරාජේරුව වනන අයුරු විමර්ශනශීලී ඔබ ඕනෑ තරම් දැක ඇතිවාට සැක නැත.

ගුණාත්මක පළපුරුදු අධ්‍යාපන සේවයක් වාණිජකරණය වූ අධ්‍යාපනය තුළ බලාපොරොත්තු විය හැක්කේ, බොහෝ විට එහි දිගුකාලීන අත්දැකීම් සහිතව පුළුල් සිසු පදනමකට සිය සේවය විහිදුවා ඇත්නම් පමණි.

 

■ ටානියා සමන්ති
කැලණිය විශ්වවිද්‍යාලය
Leave A Reply

Your email address will not be published.

ten + eleven =