පෞද්ගලිකකරණය හා පෝලිම්කරණය…

රට පුරා ගෑස් පෝලිම් ය. කිරිපිටි හිඟයකි. ඉන්ධන හිඟයක් ද එමින් තිබෙන බව කියැවේ. ඒ ඩොලර් හිඟය හේතුවෙනි. ඇමැති දිලුම් අමුණුගමලා මාධ්‍ය සාකච්ඡා තබමින් ගෑස් හිඟය නවතන උපායයන් පවසති. එහෙත් ‘ලාෆ්’ පෝලිමෙන්, ලිට්‍රෝ පෝලිමෙන් ද නොනැවැතී එයින් ද ඉදිරියට යමින් තිබේ. එදා පෝලිම් යුගය යැයි හැඳින්වූයේ 1970 – 1977 සමඟි පෙරමුණ ආණ්ඩු කාලය ය. ඒ එකල පැවැති රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය නම් ආර්ථික මොඩලයේ උච්චතම අවස්ථාව වන මුළුමනින් ආවෘත ආර්ථිකයේ අර්බුදය හේතුවෙන් ය. එදා කෙහෙළියලා, බන්දුලලා, මහින්දානන්දලා, රෝහිතලා නොවූහ. ඒ වෙනුවට ටී.බී. ඉලංගරත්නලා, කළුගල්ලලා, ඇන්. ඇම්. ලා, කොල්වින්ලා සිටියෝය. එදා සමගි පෙරමුණෙන් පසුව ආ එජාපය විවෘත ආර්ථිකය ගෙනාවේ ය. පෞද්ගලිකකරණය ඉහළින්ම සිදු විය.

සමාජවාදී රාජ්‍ය පද්ධතියෙන් ලැබී තිබූ මහා දායාදයන් වූ වානේ, රෙදිපිළි, ටයර්, කඩදාසි, සිමෙන්ති, සීනි ඇතුළු නිෂ්පාදන කර්මාන්ත සියල්ලම පාහේ කුණුකොල්ලයට විකුණා දැමිණි. මහා පරිමාණ රාජ්‍ය වතු විකුණා දැමුණේ ද කුණුකොල්ලයට ය.  ඇමැතිවරු කොමිස් කුට්ටි ගත්තෝ ය. ඉතිරි රාජ්‍ය ආයතන ද පාඩු ලබන්නේ යැයි පවසමින් විකිණීම ආරම්භ විය. ප්‍රේමදාස ද, චන්ද්‍රිකා ද, රනිල් ද, මහින්ද ද, ගෝඨාභය ද ඒ මඟෙහිම අඩුවෙන් නොව වැඩි වැඩියෙන් ගියෝ ය. ලෝකයට ණය වී ඇපල් ගෙනැවිත් පෝලිම් තිබූ වීදිවලට පිරවී ය. ලංගම වෙනුවට මගම ඇති කළෝ ය. අද ආපසු හැරී බලන විට නැවතත් පෝලිම් යුගයක ය.

මේ සියල්ල සිදුවෙද්දී, ලාෆ් සමාගම වගේ වගක් නැතිව සිටී. තමන්ගේ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් සමාගමට වගකීමක් නොමැත. ඒ නිසා පෞද්ගලිකකරණයේ බියකරු බව පෙන්වන්නට මේ කදිම උදාහරණයකි. පාඩම් ඉගෙන ගන්නේ නම්, රටකට මේවා හොඳ පාඩම් ය. . සේවාවන් පෞද්ගලිකකරණයේ ප්‍රතිඵල දැන් ජනතාව අත්විඳින්නේ පෞද්ගලික බස්රථ, පෞද්ගලික රෝහල් හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දී ය. 

පෞද්ගලිකකරණයේ ආනිශංස පෙන්වමින්, ලාෆ් සමාගම ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලී ය. ආණ්ඩුව එය වළකා පමා කළේ ය. දැන් ලාෆ් සමාගම ගෑස් බෙදන්නේ නැත. ආණ්ඩුව අසරණ ය. ඔහේ බලා සිටී. ලාෆ් ගෑස් හිඟයක් ඇති විය. ලිට්‍රෝවලට ඉල්ලුම වැඩි විය. ලාෆ් ගෑස් සිලින්ඩරවලට ලිට්‍රෝ ගෑස් පුරවන බව පැවසුවත්, එය වැළැකිණ. ලිට්‍රෝ අලෙවිය වැඩි විය. දැන් ලිට්‍රෝ ද හිඟය. ලිට්‍රෝ පෝලිම් ද වැඩි විය. ගෑස්  හිඟයකි. තේ කඩ, හෝටල්, බත් කඩ වැසෙනු ඇත. ආදාහනාගාර ද අර්බුදයට යනු ඇත.

මේ සියල්ල සිදුවෙද්දී, ලාෆ් සමාගම වගේ වගක් නැතිව සිටී. තමන්ගේ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් සමාගමට වගකීමක් නොමැත. ඒ නිසා පෞද්ගලිකකරණයේ බියකරු බව පෙන්වන්නට මේ කදිම උදාහරණයකි. පාඩම් ඉගෙන ගන්නේ නම්, රටකට මේවා හොඳ පාඩම් ය. රජයට හිමි විය යුතු ලාභය පෞද්ගලිකව කිසියම් ධන කුවේරයකුට හෝ බහුජාතික සමාගමකට ඇදී යයි. අනෙක් පැත්තෙන් පාරිභෝගිකයන් හෝ සේවකයන් සම්බන්ධව ඔවුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. සේවාවන් පෞද්ගලිකකරණයේ ප්‍රතිඵල දැන් ජනතාව අත්විඳින්නේ පෞද්ගලික බස්රථ, පෞද්ගලික රෝහල් හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දී ය.

වත්මන් ආණ්ඩුවේ ද පිළිවෙත වී ඇත්තේ, ඉතිරිව ඇති යමක් වේ නම්, ඒවා විකුණා දැමීම ය. කෙරවලපිටිය බලගාරයේ 40%ක් ඇමෙරිකානු සමාගමකට විකිණීමටත්, ඛනිජ තෙල් ගෙන්වීම, පිරිපහදුව හා බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමටත්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හා ඉඩම් ඇමෙරිකාවට පැවරීමටත්, වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට විකිණීමටත්, වරායේ තවත් අක්කර 13ක් චීන සමාගමකට පැවරීමටත්, කොළඹ නගරයේ වටිනා ඉඩම් විකිණීමටත් ආදී වශයෙන් විකිණිල්ල දිගටම කෙරීගෙන යයි. දශක ගණනාවක් පුරාම ආ විකිණිල්ලේ ආර්ථික ප්‍රතිපත්තියෙන් අප දිනාගෙන ඇත්තේ මොනවා දැයි මෙරට ජනතාව කල්පනා කළ යුතු ය. එදා ‘ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි රම්‍ය වූ ජය භූමිය’ යි කී රට අද මහා ණය කන්දකට යට වූ අපායක් බවට පත් කර නොමැති ද?

ජනතාව ආණ්ඩුවක් පත් කර ගන්නේ රටේ සම්පත් විකිණීමට නොව ආරක්ෂා කිරීමට ය. රටේ සම්පත් විකිණීමට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ නැත. එහෙත්, මෙතෙක් බලයට ආ ආණ්ඩු ගමන් කළේ විනාශය පෙනි පෙනී තිබිය දීත් මේ නව ලිබරල් ආර්ථික මාවතේ ය.

රට ගැන ජනතාව ගැන වගකීමක් ඇති සැබෑ විකල්ප වැඩපිළිවෙළක් වෙත හැරීමට තවමත් පමා නොමැති බව ගෑස්වල ගෑස් බලද්දීවත් ජනතාව තෙරුම් ගත යුතුව තිබේ●

Leave A Reply

Your email address will not be published.

ten − 10 =