ඇෆ්ගනිස්තානය නැවතත් තලේබාන් පාලනයකට…

තලේබාන් ප්‍රහාර නිසා පලා යන සිවිල් වැසියන් වෙනුවෙන් තමන්ගේ දේශසීමා විවෘත කර තබන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අද ඇෆ්ගනිස්තානයේ අසල්වැසි රට වලින් ඉල්ලා සිටියා. ඇමෙරිකානු හමුදාවන්ගේ ඉවත් වීමත් සමඟ තලේබාන් සංවිධානය නැවතත් එරට බලය අත්පත් කර ගනිමින් සිටිනවා. ගස්නි හා කන්දහාර් වැනි ප්‍රධාන නගර වල බලය තහවුරු කරගෙන ඇති තලේබාන් සටන්කාමීන් මේ වන විට එරට අගනුවර වන කාබුල් වෙත ළඟා වෙමින් සිටින බව වාර්තා වෙනවා.

ඇෆ්ගනිස්තාන රජයේ හමුදාව සටන් කාමීන්ට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කළත් එය තලේබාන් රැල්ල වැළැක්වීමට තරම් හේතුවක් වී නැහැ. කාබුල් නගරය තලේබාන් අණසකට යටත් වේයැයි බියෙන් බොහෝ බටහිර රටවල් තම තානාපති කාර්යාල වසා දමා නිලධාරීන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. තලේබාන් සංවිධානයේ ප්‍රබලම ඉලක්කයක් විය හැකි ඇමෙරිකානු තානාපති නිලධාරීන් ගලවා ගැනීම සදහා පිටත් වූ ඇමෙරිකානු හමුදා ඛණ්ඩ මේ වන විට කාබුල් වෙත ලඟා වී සිටිනවා.

මේ අතර ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදාව මුළුමනින්ම ඉවත් කර ගැනීමට ජෝ බයිඩන් ගත් තීරණය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.තලේබාන්වරු සමග සාම සාකච්ඡා අරඹමින් තමන් උපායශීලී ලෙස කරමින් සිටි වැඩ කොටස කණපිට පෙරලීමට බයිඩන් මහතා ගත් ක්‍රියාමාර්ගය සමස්ත ලෝකයටම සුබදායි නොවන බව ට්‍රම්ප් මහතා පවසා තිබෙනවා.

2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරයේ මහාමොළකරුවා වූ බින් ලාඩන් එවකට තලේබාන්වරුන්ගේ සහයෝගය ඇතිව ඇෆ්ගනිස්තානය තුළ ජීවත් වන බව CIA සංවිධානය වාර්තාකර තිබුණා. ඒ හේතුවෙන් ඇෆ්ගනිස්තානයට ඇතුළු වූ ඇමෙරිකානු හමුදාව වසර 20ක් එරට තුළ රැඳී සිටිමින් ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවට සහාය දැක්වූවා. ඊට සමාන්තරව නේටෝ හමුදාවන්ද එරට තුළ රැදී සිටියා.
මීට පෙර 1996 දීත් තලේබාන් සංවිධානය මේ ආකාරයෙන්ම කාබුල් නුවර බලය අල්ලා ගත්තා. එවකට සෝවියට් කඳවුරට අයත් රාජ්‍යයක් ලෙස ක්‍රියාකළ ඇෆ්ගනිස්තානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමඟ අරාජික වෙමින් පැවතියා. තලේබාන් සංවිධානය කාබුල්හි බලය අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු රාජකාරිය වුණේ හිටපු කීර්තිමත් ජනාධිපති මොහමඩ් නජිබුල්ලාව ප්‍රසිද්ධියේ මරා දැමීම.

තලේබාන් පාලනය යටතේ එරට කාන්තාවන්ට වැඩ කිරීම තහනම් වුණා.ගැහැණු ළමයින්ට පාසැල් යෑම තහනම් වුණා. සියළුම කාන්තාවන් නිවසින් පිටට යනවානම් තම පිරිමි නෑදෑයෙකු සමඟ යායුතු වූ අතර සම්පූර්ණයෙන් මුහුණු වසාගෙන යා යුතු වුණා.
එසේම,ප්‍රසිද්ධියේ ගල්ගසා මරාදැමීමේ හා අවයව කපා දැමීමේ දඬුවම් හඳුන්වා දුන්නා.ඉස්ලාම් නොවන අනෙකුත් ආගමික සංකේත විනාශ කෙරුණා. ලෝක උරුමයක් වූ දැවැන්ත බාමියන් බුද්ධ ප්‍රතිමා ඩයිනමයිට් දමා මුළුමනින්ම විනාශ කළා.
-ශානක ලියනගම(ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

1 × three =