ජනපතිගේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අංක 2218/68 දරන 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) නියෝග ගැසට් නිවේදනයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකා බැලීම අරඹමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය නිකුත් කර ඇත. ලබන 24 දා දක්වා මේ නියෝගය බලාත්මක වේ. රුවන් ලක්නාත් ජයකොඩි, කවින්ධ්‍ය ක්‍රිෂ්ටෝෆර් තෝමස්, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ ශ්‍රීන් සරූර් විසින් මේ පෙත්සම් ගොනු කර තිබේ.

නීතිපතිවරයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සහ pපොලිස්පතිවරයා මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචලා වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාග කෙරේ.

මාර්තු 12 ගැසට් පත්‍රය

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය මාර්තු 12 වැනි දින මේ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදි. මේ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි මගින් ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලියකින් තොරව පුනරුත්ථාපනය ලෙසින් නම් කරන ලද රඳවා තබාගනීමක් කළ හැකි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් පෙන්වා දෙති. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති පුද්ගලික නිදහසට මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ද මෙමගින් දැඩි තර්ජනයක් එල්ල වන බව පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 13.1, 13.2, 13.4, 13 .5, 13.6, 13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්ති සෘජුවම උල්ලංඝනය වන බවත්, එම නිසා මෙමගින් තමන්ගේත්, රටේ සමස්ත ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවන බවට ප්‍රකාශ කරන ලෙසත් අදාළ පෙත්සමේ සඳහන් ය. එසේ ම මේ රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නඩු පැවරීමට විකල්පයක්

අදාළ ගැසට් පත්‍රයේ 04 කොටසේ මෙසේ සඳහන් ය.
‘භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක්කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වැනි නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇද්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.’

නීතිපතිට වැරදුණොත් ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව පසුගිය මාර්තු 12දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අංක 2218/68 දරන ගැසට් නිවේදනයේ මෙසේ සඳහන් වේ. එනම් නඩු විභාගයකින් තොරව පුද්ගලයෙකුට දඬුවමක් ලබාදීමට තීරණය කිරීමේ බලය නීතිපතිවරයාට පවරා ඇත. නීතිපතිවරයා යනු අධිකරණය ඉදිරියේදී තවත් එක් නීතිඥවරයෙකි. ඔහුගේ මතය ඒ ආකාරයෙන්ම පිළිගැනීමට අධිකරණය බැඳී නැත. නීතිපති මතය වැරදි බව අධිකරණයෙන් තහවුරු කළ අවස්ථාවලට උදාහරණ රැසකි. 2018 ඔක්තෝබර් 26දා ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමේ කුමන්ත්‍රණයෙන් පසු අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වේ ඒ තීරණය නිවැරදි බවයි. එහෙත් අනෙකුත් පාර්ශ්වවල කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ නීතිපතිවරයා වැරදි බවයි.

ව්‍යවස්ථාවක් මොනවටද?

නීතිපතිවරයාට මෙසේ තීන්දුවක් ලබාදීමට බලය පැවරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය වන බව නීතිවේදීහු පෙන්වා දෙති. අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතියක් ඇත. එහෙත් ඉහත ගැසට් පත්‍රයට අනුව එම අයිතිය නැති වන අතර, නඩු විභාගයකින් තොරව නීතිපති මතය පිළිගැනීමට බල කෙරේ. එසේම සාධාරණ නඩු විභාගයකින් තමන්ට යුක්තිය ඉටුනොවූ බව විත්තිකරුවෙකුගේ අදහස වන අවස්ථාවකදී, ඔහුට අභියාචනා අවස්ථා දෙකක් නීතියේ ඇත. ඒ අදාළ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ය. ඉහත ගැසට් පත්‍රය මගින් මූලිකව නඩු විභාගයක් නොපැවැත්වීමට බලකෙරෙන තත්ත්වයක් තුළ, පුරවැසියා සතු මේ අභියාචනා කිරීමේ අයිතිය ද උල්ලංඝනය වේ. එසේම සාධාරණ නඩු විභාගයකින් පසු පුද්ගලයෙකු වැරදකරුවකු බවට තීන්දු කරන තුරු, ඔහු හෝ ඇය නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. එය නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ලෙස හැඳින්වේ. ලංකාවේ නඩු විභාග කිරීමට ගතවන කාලය නිසා නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහිතව, වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගතව දඬුවම් විඳින අවස්ථා රැසකි. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එකම සැකකරු පසුගිය වසරේ මැයි මාසයේදී වකුගඩු රෝගයෙන් මිය ගියේය. වෙනත් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ ද නැත. ඔහු මියගිය පසු නඩුව අවසන් කෙරිණි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස මේ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. එම වගන්තියට අනුව ආරක්ෂක ඇමැතිවරයාට පනතේ මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග පැනවිය හැකිය. ඒවා ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, සම්මත කළ යුතුය. සරලව කිවහොත් මේ ගැසට් පත්‍රයෙන් සිදුකර ඇත්තේ මහේස්ත්‍රාත්වරයෙකු විසින් ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තාවක් මත නීතිපතිවරයා විසින් ලබාදෙන ලිඛිත කරුණු දැක්වීමකින් පුද්ගලයෙකු පුනරුත්ථාපන කඳවුරක රැඳවීමට අවශ්‍ය නීතිමය පසුබිම සැකසීම ය. මුල් වටයේදී එම කාලය අවුරුද්දකි. එය අවුරුදු දෙකක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාව ද තිබේ.

මහේස්‍ත්‍රාත්වරයාගේ වගකීම

මහේස්ත්‍රාත්වරයෙකු මේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වන නිසා අධිකරණ කටයුත්තක් සිදුවන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මුලින්ම සඳහන් කළේ නඩු විභාගයකින් තොරව යනුවෙනි. එනම් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ගනු ලබන්නේ නඩු විභාගයකින් පසු නොවේ. පුද්ගලයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අයිතිය ඔහු හෝ ඇය සතුවිය යුතුය. ඒ කරුණු සලකාබැලීමේ වගකීම අධිකරණයට තිබේ. සාධාරණ සැකයකින් තොරව අදාළ චෝදනා ඔප්පු කිරීමේ වගකීම පැමිණිලි පාර්ශ්වය සතු ය. එහෙත් මෙහිදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් එම වගකීම ඉටු කරන්නේ කෙසේද?
පොලිසිය කියන්නේ ඇත්ත විතරක් ද?

පොලිසිය යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු, පාපොච්ඡාරණ හෝ එවැනි කරුණු සියල්ල එක්කොට වාර්තාවක් සකස් කරයි. ඉන්පසු එය නීතිපතිවරයා වෙත යොමුකරයි. නීතිපතිවරයා විසින් එම කරුණු සලකා බැලීමෙන් පසු, ලිඛිතව අධිකරණයට දැනුම්දෙන්නේ අදාළ පුද්ගලයා පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකළ යුතු බවට විය හැකිය. ගැසට් පත්‍රයෙන් කරන්නට හදන්නේ ඒක ය. පොලිසියේ තාප්ප කඩා වටේට මල් වැව්වාට, ඇතුළේ සිදු වූ දේවල් ඒ ආකාරයෙන්ම සිදුවන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තවදුරටත් සැකකරුවන් ආයුධ පෙන්වන්නට ගොස්, මාංචු පිටින්ම ඒ ආයුධ ගෙන පොලිසියට පහරදෙන්නට උත්සාහ කරන්නේය. එවිට ආත්මාරක්ෂාව වෙනුවෙන් පොලිසිය වෙඩි තබයි. එයින් ඒ සැකකරුවන් මියයන්නේය. 1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලට එරෙහි පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වගකිව යුතුය. එහෙත් පසුගිය කාලයේ සිදු වූ මෙවැනි සැකකරු ඝාතන කීයකට එසේ වගකිව්වාද?

එවැනි තත්ත්වයක් තුළ පොලිසියෙන් ලබාදෙන වාර්තාවක් පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් අවසාන තීන්දුවක් ගැනීම කොතරම් සාධාරණ විය හැකිද? පුනරුත්ථාපන ක්‍රියාවලියක් යනුවෙන් හැඳින්වුවද, මෙය පුද්ගලයන්ගේ නිදහස ඇහිරීමක්, හිරකර තැබීමක් නොවන්නේද? අධිකරණ ක්‍රියාවලියකින් තොරව එසේ තීන්දු ගෙන, හිරකිරීම යනු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියක් නොවෙන්නේද?

ඔබත් අන්තවාදියෙක් ?

මෙමගින් තීන්දු ගැනෙන්නේ අන්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ය. ගැසට් පත්‍රයේ අන්තවාදීන් යන්න මෙසේ පැහැදිලි කර තිබේ.
‘කියනු ලබන නැතහොත් කියවීමට අදහස් කරනු ලැබූ වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘෂ්‍ය නියෝජන මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ හෝ ඇති කිරීමට අදහස් කරන්නා වූ හෝ තැනැත්තෙකු ලෙස සැකකරන යම් තැනැත්තෙකු…’මේ පැහැදිලි කිරීමට ඕනෑම අවස්ථාවක ඔබව ඇතුළත් කිරීමේ ඉඩක් නැද්ද? ශක්තික සත්කුමාර විසින් ලියන ලද අර්ධ නම් කෙටිකතාව මගින් ආගමික අපහාසයක් සිදුවන බවට ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් පොල්ගහවෙල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගැනුණු ශක්තික සත්කුමාර නම් ලේඛකයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ චෝදනා ගොනුකෙරිණි. මේ පනත යටතේ චෝදනා ගොනු කළ විට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකිය. එම නිසා ශක්තික සත්කුමාරට දින 130ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ ඇප අයැදුම්පත සලකා බැලීම ද අවස්ථා ගණනාවකදී කල්දැමුණේ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් එය අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය බව දැනුම් දුන් නිසා ය. පසුව නඩු විභාගයෙන් ශක්තික නිදොස් කොට නිදහස් කෙරිණි.

වාසියට පමණයි !

ඉහත ගැසට් පත්‍රයට අනුව ඔහුට එරෙහි තීන්දුව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගත්තේ නම්, ඔහුට වසරක් හෝ දෙකක් අනිවාර්යෙන්ම දඬුවම් විඳීමට සිදු වේ. නඩු විභාග නැත. අනෙක් අතට ගැසට් පත්‍රයේ අන්තවාදී යන්න පැහැදිලි කර ඇති ආකාරයට ශක්තිකව ඒ තුළට දැමීම අසීරු කරුණක් නොවේ. අහ්නාෆ් ජාසීම් කවියා සිරකරගෙන සිටින්නේ ද මේ ආකාරයට චෝදනා ඉදිරිපත් කරමින් ය. පසුගිය ජනවාරි මාසයේදී ෆසාල් මොහොමඩ් නිසාර් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාතීන් අතර සුහදතාව බිඳවැටෙන ආකාරයට, ආගමික පාර්ශ්වවලට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ය. මේ ආකාරයේ උදාහරණ රැසකි.
එහෙත් 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු නිකවැරටිය, පඬුවස්නුවර, කුලියාපිටිය, නාත්තන්ඩිය යන ප්‍රදේශවල සැලසුම් සහගතව සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවූවන්ගෙන් බහුතරයකට චෝදනා ගොනු කෙරුණේ දේපොළ අලාභහානි කිරීම සම්බන්ධයෙන් ය. එහිදී මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත හෙවත් අයිසීසීපීආර් යොදාගැනුණේ නැත. එම ප්‍රහාර මෙහෙයවූ දේශපාලනඥයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද සාක්ෂි සහිතව අනාවරණය කෙරිණි. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වූයේ නැත. 2018 මාර්තු මාසයේ සිදු වූ මහනුවර, දිගන, අකුරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද මේ පනත භාවිත කෙරුණේ අවම වශයෙන් ය. මෙවැනි උදාහරණ සහිත තත්ත්වයක් තුළ, ජනාධිපතිගේ අලුත් ගැසට් පත්‍රයෙන් මොනවා නොකරාවිද?

කේවල් කිරීමේ මෙවලමක්

එසේම මේ ගැසට් පත්‍රය නිසා ආගමික සහ ජනවාර්ගික ප්‍රජාවන් වෙනස් කොට සැලකීමට භාජනය වන බව නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම පෙන්වා දී තිබිණි.
‘නව රෙගුලාසි කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට ඉඩ ඇත. එහිදී රැඳවියෙකුට නීත්‍යනුකූල චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වෙනුවට වසරක් හෝ දෙකක් පුනරුත්ථාපනයේ සිටීම හෝ අවිනිශ්චිත කාලයක් රැඳවුම් බාරයේ සිට නඩු කටයුතුවලට මුහුණ දීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් කිරීමට සිදු වේ.’
එම කොමිසම මතුකරන මේ කාරණය අතිශයින් වැදගත් ය. දේශපාලන පළිගැනීම් කොමිසම වැනි අත්තනෝමතික ක්‍රියාවලි හරහා අපරාධ නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කළ යුතු බවට සමාජ මතයක් ගොඩනැගූ ආණ්ඩුවක් පවතින අවස්ථාවක, අනෙක් පැත්තෙන් වෙනස් මත දරන පුද්ගලයන් මර්දනය කිරීම සඳහා මේ නියෝග යොදාගත හැකිය. එවැනි මත දරන්නෙකු කරනු ලබන ප්‍රකාශයක් වාසි පැත්තට හරවාගැනීමේ ඉඩක් මෙහි ඉහතින් දැක්වූ අන්තවාදීන් යන්න නිර්වචනය කිරීමේ ම තිබේ. පොලිසිය ඉදිරිපත් කරන කරුණු මත, නීතිපතිවරයාට ඔහුව අවුරුදු දෙකක් දක්වා පහසුවෙන්ම නිහඬ කළ හැකිය.
නිදහස අහිමි කිරීමේ පටිපාටි නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

‘ශ්‍රී ලංකාව එකඟ වී සිටින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (අයිසීසීපීආර්) 9 වන වගන්තිය මගින් ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ නිදහස අහිමිවූවන්ට ක්‍රියා පටිපාටීය සහතික ගණනාවක් ලබා දී ඇති අතර, ඒවායින් බොහොමයක් මෙම නව රෙගුලාසියේ ඇතුළත් නොවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් නැවත-නැවතත් තහවුරු කර ඇති පරිදි පරිපාලනමය රඳවා තබා ගැනීමකට අවසර නැත.

නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට පෙර පවා ශ්‍රී ලංකා බලධාරීන් විසින් සුළුතර ප්‍රජාවන්ට හිංසා කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයිසීසීපීආර් රෙගුලාසි භාවිත කර තිබිණි. නමුත් සුළු ජාතීන්ට එරෙහිව වෛරය හෝ ප්‍රචණ්ඩත්වය අවුස්සන අයට එරෙහිව බලධාරීන් විසින් සුළු හෝ ක්‍රියාමාර්ග ගෙන නොමැත.

වෙනස්කම් කොට සැලකීමට, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකමට හේතුවන වෛරී කතා වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන අයිසීසීපීආර් පනතේ 3 (1) වගන්තිය මෙතෙක් සුළුතර ප්‍රජාවන්හි සාමාජිකයන් ඉලක්ක කිරීම සඳහා අනිසි ලෙස භාවිත කර ඇත.

කොවිඩ් -19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව දෘෂ්ටිවාදාත්මක ‘ජිහාඩයක්’ ඉල්ලා සිටිමින් ෆේස්බුක් සටහනක් පළ කළැයි 2020 අප්‍රේල් මාසයේදී විශ්‍රාමික රජයේ සේවකයෙකු වන රම්සි රසීක් අත්අඩංගුවට ගනු ලැබීය.

අයිසීසීපීආර් පනත යටතේ මාස පහකට වැඩි කාලයක් රඳවා සිටි ඔහු 2020 සැප්තැම්බර් මාසයේ වෛද්‍ය හේතූන් මත ඇප මත මුදා හැරිණි.

2020 මැයි මාසයේදී තරුණ මුස්ලිම් කවියෙකු වන අහ්නාෆ් ජසීම් දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කවි එකතුවක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම කවිවල අන්තවාදී පණිවුඩ අඩංගු බවට බලධාරීන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරනු ලැබ ඇත.
මානව හිමිකම් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ ලෙස රඳවා තබා ගැනීම පිළිබඳව අප සංවිධානය මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් තිස්සේ කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ වෙනත් අපයෝජනයන්ට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරනු ලබන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස අප සංවිධානය නිරන්තරයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව යමින්, මෙම නොපැහැදිලි සහ පුළුල් ත්‍රස්ත විරෝධී නීතිය සහ ඒ යටතේ ගෙන එන රෙගුලාසි අවලංගු කර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන ඉල්ලීම අප සංවිධානය යළිත් අවධාරණය කරයි.

ප්‍රජාවන් අතර ප්‍රචණ්ඩත්වය, අසමගිය ඇති වීමට හේතුවන වචන හෝ සංඥා භාවිතා කළ බවට සැකයක් මත බාරවන වන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු පැය 24 ක් ඇතුළත ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු අතර සැකකරු තවදුරටත් රඳවා තබා ගත යුතුද යන්න සලකා බැලීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක අමාත්‍යවරයා වෙත (එම තනතුර දැනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරනු ලැබේ) වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

2019 අංක 1 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රෙගුලාසි සහ 2019 අංක 1 දරන හදිසි (විවිධ විධිවිධාන හා බලතල) රෙගුලාසි යටතේ බාර වූ හෝ අත්අඩංගුවට ගත් අයට ද මෙම රෙගුලාසි අදාළ වේ.
නිශ්චිත වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකුට නඩු විභාග කළ යුතුද නැතහොත් විකල්පයක් ලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යැවිය යුතුද යන්න තීරණය කිරීමට නීතිපතිවරයාට බලය ලබා දී ඇත.
පුනරුත්ථාපනය කිරීමට තීරණය කරන්නේ නම්, නීතිපතිවරයාගේ ලිඛිත අවසරය ඇතිව සැකකරු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරනු ඇත. එහිදී මහේස්ත්‍රාත්වරයාට සැකකරු වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස නියෝග කළ හැකිය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්ගේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් එවැනි කාල සීමාවක් මාස හයක කාලයකින් තවත් වසරක් දක්වා දීර්ඝ කළ හැකිය.

රෙගුලාසිවල තවදුරටත් සඳහන් වන්නේ රැඳවියා නැවත සමාජගත වීම සහතික කිරීම සඳහා කොමසාරිස් ජනරාල් විසින් රැඳවියාට මනෝ-සමාජ සහය සහ වෘත්තීය හා වෙනත් පුහුණුව ලබා දිය යුතු බවයි.
එවැනි රැඳවියන්ට මධ්‍යස්ථානය භාර නිලධාරියාගේ අවසරය ඇතිව සති දෙකකට වරක් ඔවුන්ගේ දෙමව්පියන්, ඥාතීන් හෝ භාරකරු හමුවීමට අවසර හිමිවෙයි.’

අධිකරණයේ සහ නීතිපතිගේ වෙනස

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් අවධාරණය කළේ අධිකරණයක් මගින් යම් සිදුවීමක දෙපාර්ශ්වයේ කරුණු විමසා බලා තීන්දුවක් ගත්තද, නීතිපතිවරයා කරනු ලබන්නේ එවැන්නක් නොවන බවයි. නීතිපතිවරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයා පිළිබඳව ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා සිය තීරණය ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන බවත්, එම තීරණය සාධාරණද යන්න සම්බන්ධයෙන් අධිකරණය තීරණය කරනු ලබන්නේ සාධාරණ නඩු විභාගයකින් පසුව බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය. එහෙත් මේ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති ආකාරයට නීතිපතිවරයාගේ අදාළ මතය පිළිබඳ දෙපාර්ශ්වයේ කරුණු විමසීමක් හෙවත් නඩු විභාගයක් නොපැවැත්වෙන තත්ත්වයක් මතුවන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය උල්ලංඝනය කෙරෙන බවත් පැවසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ්, මේ ගැසට් නිවේදනයේ අදාළ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනය කෙරෙන ක්‍රමවේදය පැහැදිලිව සඳහන් නොවීම ද බරපතළ කරුණක් බව පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ විරාන් කොරයා පෙන්වා දී තිබුණේ මේ ගැසට් නිවේදනය මගින් පුද්ගල නිදහස පිළිබඳ බරපතළ ගැටළුවක් මතුවන බවයි. ඊට හේතුව පිළිගත් විනිසුරුවරයෙකුට ඊට අදාළ තීන්දුවක් ගැනීමට ඇති ඉඩ නැතිවීම බව ද ඔහු පෙන්වා දී තිබිණි. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පිළිබඳව නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම්, එය සුළුවෙන් තැකිය නොහැකි කරුණක් බවයි.

මීට පෙර මත්ද්‍රව්‍ය වැරදිවල ස්වභාවය සම්බන්ධයෙන් ද මෙවැනි නියෝගයක් පැනවුණු අතර, එහි සඳහන් වූයේ සැකකරු සතුව ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමුකළ හැකි බවයි. එමගින් ද ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය උල්ලංඝනය වන බවත්, මෙවැනි අත්තනෝමතික නියෝග මගින් පුද්ගලයන් ඉලක්ක කොට, ඔවුන් පීඩාවට පත්කිරීමේ අවස්ථාව ලබාගැනීමේ අවදානමක් ඇති බවත් නීති විශාරදයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

ජනවාරි 25 පොරොන්දුව

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පසුගිය ජනවාරි 25 දා යුරෝපා සංගමයට දැනුම් දී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බලන බවටයි. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කීරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව මෙහිදී යුරෝපා සංගමයට එකඟ වී තිබිණි. එසේ තිබියදී මාර්තු 12 දා ජනාධිපතිවරයා විසින් මේ ගැසට් පත්‍රය නිකුත් කරන ලදි.

ජුනි 10 යෝජනාව

එසේම පසුගිය ජුනි 10 දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය නොකිරිමේ සහ එම පනත යට⁣තේ අත්අඩංගුවට ගැනීම් ඉහළ යෑම ද හේතුවක් ලෙස දක්වමින් ජීඑස්පී සහනය අත්හිටුවීම පිළිබඳව සලකා බැලීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කළේය.
ජුනි 21 පොරොන්දුව
එම යෝජනාවෙන් පසු යළිත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය ජුනි 21 දා යුරෝපා සංගමයට දැනුම් දී තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බලන බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ එම අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන්ගේ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව යුරෝපා සංගමයට දැනුම් දුන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යංශය ජුනි අවසන් සතියේ නිකුත් කරන ලස නිවේදනයක සඳහන් විය.
මේ සඳහා වූ නිලධාරීන්ගේ කමිටුව අධිකරණ, ආරක්ෂක, විදේශ කටයුතු, මහජන ආරක්ෂාව යන අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජන සහිතව ජූනි 24 වැනි දින පත් කරනු ලැබූ බව ද එම නිවේදනයේ සඳහන් විය.

– ශාලික විමලසේන

 

Leave A Reply

Your email address will not be published.

seventeen + 7 =